ජාතික භාෂා ඇමතිගේ මනෝ ව්‍යාධිය බෙදුම්වාදයද?
Posted on June 1st, 2018

මතුගම සෙනෙවිරුවන්  

           ජනතා විමුක්ති පෙරමුණට ඇති තදියම නම් විධායකය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ගැනීමයි. නිසි අධ්‍යාපනයක් නොමැති සල්ලි වලට විකිණෙන අල්ලසට නැමෙන හෘද සාක්ෂියක් නැති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වත්මන් අගමැති ගේ අත් අඩංගුවේ පවතින බව කවුරුත් දනී.එවැනි ව්‍යුහයකට රටේ විධායකය භාර දීමෙන් ඇති වන අස්ථාවරත්වයෙන් ප්‍රයෝජන ගැනීමට නැතිනම් බොර දියේ මාලු බෑමට ජ.වි.පෙ .සැරසෙනවා විය හැකිය.මේ කලබගෑනි අස්සේ ජාතික භාෂා ඇමති ගෙන්ද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් කරළියට එන බවට ඉඟි පළ වෙයි. මේ ඇමතිවරයාට පමණක් නොව යහපාලනයට උපදෙස් සැපයූ චන්ද්‍රිකා මැතිණියටත් තිබෙන ලොකුම හිස රදය නම් 1956 වසරේදී සිංහලය  රාජ්‍ය භාෂාව කිරීමයි.

          පණස් හයේ විප්ලවය නමින් සිදු වුණු ජනතා ජයග්‍රහණය 1948 න් පසු නොලද නිදහස යම් කිසි මට්ටමකින් තහවුරු කර ගැනීමකි. වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ ඓතිහාසික භාෂාවක් වූ සිංහල භාෂාව රටේ ප්‍රමුඛතම භාෂාව බවට පත් කර ගැනීමට සිංහල ජනතාවට තිබූ අභිලාශය ට ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාව මත බරපතල වටිනාකමක් හිමි විය. මේ  ජයග්‍රණය නිසා සිංහල බස යොදා ගනිමින් ඉගෙන ඉහළ ගිය රාජ්‍ය තනතුරු වලට ගිය උගතුන් සංඛ්‍යාව සුලු පටු නැත. ගමේ අහිංසක ගොවියාගේ කම්කරුවාගේ දරුවාටද විශ්ව විද්‍යාල වරම් ලැබූවේ මේ ජයග්‍රහණය නිසාවෙනි.මේ රටේ ජනගහනයෙන් සියයට නමයක් පමණ වූ දෙමළ ජනතාවට විශේෂයෙන්ම දෙමළ නායකයන්ට එතෙක් ඉංග්‍රීසි ආන්ඩුවෙන් ලැබී තිබූ වරප්‍රසාද අඩුවන බව දැන ගත් කල්හි ඔවුහු මේ රජ බස් පණතට විරොධය පෑහ. වාහන වල ශ්‍රී අකුරට තාර ගෑහ.සත්‍යග්‍රහ කළහ. රජයේ ඉහළ තනතුරු වලට පත් වීමට තිබූ විශේෂ වරප්‍රසාද ඔවුන්ට අඩු වුණ බව සැබෑය. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේදී ලැබූ අවස්ථා අඩු වූ බව හැබෑය. නමුත් ඔවුහු ද රටේ පුර වැසියන් ලෙසට කල්පනා කලා නම් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු විය යුතුවා නොවේ. මේ සුලු තරඟය විශාල රණ්ඩුවක් බවට පෙරලා ජාතිවාදය කුළු ගන්වා උතුර වෙන් කරලීමට කැස කවා රටම ලේ විලක් කලේ වරප්‍රසාද අහිමි වූ දෙමළ නායකයන් අතලොස්සකගේ අභිලාශයන් ඉටු කරගැන්මටයි.

        අද වන විට ඔඩු දුවා ඇති දෙමළ ජාතිවාදයට මුල මෙයයි. රටක් වශයෙන් අපේ ඉදිරිගමන ආපස්සට ඇද දැමූ මේ දෙමළ ජාතිවාදය අපේ සිංහල නාකයන්ටද රට ඇවිස්සීමට හොඳ මාතෘකාවක් විය.දෙමළ සුලු තරයේ චන්ද සඳහා විශේෂ වටිනාකමක් දී සිංහල දෙමළ භේදයට  පිදුරු දැමූවේ ඔවුහුය. අද එය මුස්ලිම් අන්තවාදය වර්ධනය වීම දක්වා ඔඩු දුවා තිබේ. දැන් මනෝ ගනේෂන් ජාතික භාෂා ඇමති තප්පුලන්නේ 1956 දී දෙමළ භාෂව රාජ්‍ය භාෂාව නොකිරීමේ වරද සිංහල ජනතාව පිට පටවමිනි. නමුත් බණ්ඩාරනායක මහතා දෙමළ භාෂාවට සාධාරණ තැනක් දීම සඳහා පණතක් ගෙනවුත් උතුරු නගනෙහිර ප්‍රධාන භාෂාව (පරිපාලන )දෙමළ බවට පත් කළ හැටි ඔහුට අමතකය. ඉන්පසු ඩඩ්ලි සේනානායක මහතා එය තවත් තහවුරු කරමින් 1965 දී උතුරු නැගනහිර පළාත්වල සිංහල භාෂාවට හිමි තැන නැති කොට දෙමළ චන්ද ලබා ගැන්මට  කප්පම් දුන් හැටි (කියවන්න රට බෙදුණු හැටි සහ යුග පෙරළියක් සටහන්) අපට මතක් වේ. මේ වරප්‍රසාද ගත්තේ ජාතිවාදයෙන් මිස සංහිඳියාවෙන් නොව්. දෙමළ භාෂාවට ද ස්වභාෂාවක් වශයෙන් නිසි තැන හිමි විය යුතු යයි ද එය ස්වයං තීරණ අයිතිය මත පදනම්ව වෙනම දෙමළ රාජ්‍යක ප‍්‍රධාන භාෂාව විය යුතු යයි ද 1949 දී බිහිවූ චෙල්වනායගම් මහතාගේ දෙමළ රාජ්‍ය පක්ෂයේ(ෆෙඩරල් පක්ෂය ) මතවාදය වූ බවද මෙහිදී මතක් කළ යුතුය.

       මනෝ ගනේෂන් ජාති භාෂා ඇමතිවරයා ගේ අභිලාශයද මෙය බව නිසැකය.දැනටමත් දෙමළ බසට රටේ පිළිගැනීමක් හිමිව පවතින අවස්ථාවක(ජාති භාෂාවක් වශයෙන්) ඔහු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම වුවමනාව කරළියට ගෙන එන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුවය. ඔහු යටතේ තිබෙන ජාතික භාෂා අමාත්‍යංශයේ  ප්‍රධාන වගකීම 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පණතේ පරමාර්ථ ඉටු කිරීමයි. එම පණතේ  අංක හත දහ අට සිට විසිපහ දක්වා ප්‍රතිපාදන වල පැහැදිලිව සඳහන් වන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වීමේදී  ගත යුතු ක්‍රියාමාර්ග ගැනයි.නමුත් එම අමාත්‍යංශය එවැනි ප්‍රතිප්තියක ට මුල්ව ක්‍රියා නොකරන බව තිබෙන නිදසුන් බොහෝය.

       ලංකාවේ දරුවන්ගේ විභාග කටයුතු වලදී අධ්‍යාපන අමාත්‍යංශය දැරිය යුත්තේ පොදු මතයකි.යම් ලකුණු මට්ටමක් නිර්දේශ කරන විට එය සැමට සාධාරණ ලෙසට ස්ථාපිත කල යුතුය. නමුත් පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කරන විට එය එසේ සිදුව නැත. එහි සිංහල මාධ්‍ය ලකුණු වෙනමත් දෙමළ මාධ්‍ය ලකුණු වෙනමත් විෂමතාවයක් සහිතව ප්‍රකාශයටපත් කොට තිබේ. එයට අමතරව මන්නාරම මඩකලපුව කිලිනොච්චිය යාපනය සහ මුලතිවු යන් දිස්ත්‍රික්කයන්හි සිංහල ලකුණු කිසි සේත්ම් ප්‍රකාශයට පත් කොට නැත. මෙම ගැටළුව දැනට වර්ෂ පහක පමණ සිට එකලෙස ක්‍රියාත්මක වෙයි.මෙවැනි විෂමතාවයක් ඇති කිරීමට පදනම් වූ හේතුව විමසා කීප වරක්ම අධ්‍යාපන අමාත්‍යංශයට අප කරුණු ඉදිරිපත් කළෙමු.අවසාන වශයෙන් වර්තමාන අධ්‍යාපන ලේකම් තුමගෙන් එය ප්‍රශ්ණ කොට ලිපියක් ඉදිරිපත් කළෙමු. එහෙත් එම විමසීම් වලට කිසිම පිළිතුරක් ලබා දීමට අධ්‍යපන අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයා කටයුතු කර නොමැත. පසුව තොරතුර දැන ගැනීමේ පණත යටතේ නීතීඥ ප්‍රසාදීනී මුදුන් කොටුව මහත්මිය ගේ නමින් කරන ලද ඉල්ලීමට අද වන තුරු එම අමාත්‍යංශයේ තොරතුරු දැන ගැනීමේ ඒකකය විසින් පිළිතුරු ලබා දී නොමැත.

       අපගේ ඊළඟ පියවර වූයේ තොරතුරු දැන ගැනීමේ පණත යටතේ ජාතික භාෂා අමාත්‍යංශයට මෙම ගැටළුව පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමයි. මෙම ලිපියට එම කොමිෂන් සභාවෙන් 2017/12/06 දරන දාතම යටතේ නීතිඥ ප්‍රසාදිනී මුදුන්කොටුව මහත්මියට ලැබුණු පිළිතුර මෙසේය.

1/ භාෂාව සම්බන්ධ ප්‍රතිපාදනයන් ඇතුලත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 6 වන පරිඡෙදයේය. මෙම පරිඡෙදයේ ඇතුලත් 18 සිට විසිපහ දක්වා ව්‍යවස්ථාවලින් දැක්වෙන භාෂාව සම්බන්ධ ප්‍රතිපාදනයන් නියාමනය කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යයි.ඔබ විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අයදුම්පත්‍ර යෙන් විමසා ඇති පරිදි ශිෂ්‍යත්ව විභාගයේ සිංහල සහ දෙමළ මාධ්‍ය ලකුණු අතර විෂමතාවයක් පැවතීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය නොහැක.

2/ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ යාපනය කිලිනොච්චිය මන්නාරම හා මඩකලුපුව යන දිස්ත්‍රික්ක තුනේ ලකුණ මට්ටම සිංහලයෙන් ලබා නොදීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධ තොරතුරු මෙම කොමිෂන් සභාව සතුව නොමැත.එහෙත් එමගින් රාජ්‍ය භාෂා ප්‍රතිපතතිය උල්ලංඝනය වීමක් සිදු ඇත.එබැවින් මේ සම්බන්ධයෙන් 1991 අංක 18 දරණ රජ්‍ය භාෂා කොමිෂන සභා පනත  ප්‍රකාරව විභාල දෙපාර්තමේන්තුව වෙතින් විමර්ශනයක් සිදු කරන බව දන්වමි.

      මෙම විමර්ශනයෙන් පසුව නැවත 2018/03/07 දාතම යටතේ නීතිඥ ප්‍රසාදිනී මුදුන්කොටුව වෙත එවන ලද ලිපියේ සඳහන් කරුණු මෙසේය.

1/ කිලිනොච්චිය යාපනය හා මඩකලුපුව යන දිස්ත්‍රික්ක වලින් පාසල් වලට සිසුන් තෝරා ගැනීමට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පවැත්වෙන විභාගය සඳහා සිංහල මාධ්‍ය යෙන් කිසිම අයදුම්කරුවෙකු පෙනීසිටියේ නැති බව සහ ඒ අනුව එම දිස්ත්‍රික්ක වලට සිංහල මාධ්‍ය යෙන් ලකුණු මට්ටම තීරණය කිරිමට හැකියාවක් නොමැති බව.

     ප්‍රශ්ණය පැහැදිලිව අසන විට අසා ඇති මූලික කරුනු වලින් කීපයක් හලා රජ්‍ය භාෂා කොමිෂන් සභාව උත්තර දෙන හැටි මෙසේය. කඩයිම් ලකුණ වලට තිබෙන විෂමතාවය  ඇති වීමට  හේතුවූ ප්‍රතිපත්ති ය ගැන කිසිම සඳහනක් නොකරන ඔවුන් දිස්ත්‍රික්ක හතරෙන් මුලතිවු දිස්ත්‍රික්කය හලා අනෙක් දිස්ත්‍රික්ක වල සිංහල ළමුන් නැති බව පවසා තොරතුරු ලබා දීම සම්පූරණ නො කරයි. මන්නාරම මඩකලපුව යාපනය යන දිස්ත්‍රික් වල තිබූ සිංහල පාසල් සියල්ල ත්‍රස්තවාදී සටනේදී විනාශ කරන ලද අතර එම ඉඩම් පවා කොටි සංවිධානයේ සාමාජිකයන්ට බෙදා දී ඇත. එම පාසල් නැවත ගොඩ නන්වා නොමැත. මුලතිවු දිස්ත්‍රික්කයේ සිංහල බහුතරයක්  ජීවත් වන අතර උත්තර දීමෙන් මග හැර ඇත්තේ එම දිස්ත්‍රික්යේ දරුවන්ට  පාසල්  තිබෙන බැවින්ය.

        සැබවින්ම මෙම ප්‍රශ්ණයෙන් පැහැදිලි වන්නේ අසාධාරණ කම් සිදුව තිබෙන්නේ පැහැදිලව සිංහලයන්ට බවයි. උතුරු සහ නැගනෙහිර පළාත් වල වෙසෙන සිංහලයන් පළවා හැර ඔවුන් ජීවත් වූ ඉඩම් කොල්ල කන ලද අතර ඉතිරිව සිටින පිරිසටද මෙවැනි අකටයුතුකම් කරමින් සිංහලය් බහුතරයක් වෙසෙන  තැන් වලට පලා යන ආකාරයට කටයුතු සිදු කරමින් ඇත.රාජය භාෂා කොමිෂන් සභා වේ පණත අනුව එහි 18 වනවගන්තියේ (අ) ඡේදයෙහි සඳහන් පරිදි යම් රාජ්‍ය භාෂාවක තරාතිරම පිලිගැනීම සිදුනෙවන බව හෝ පිළිගැනීම සිදු වී නොමැතිබව යන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිෂන්  සභාව බැඳී ඇත. නමුත් අප විසින් කරන ලද පැමිණිල්ල මත විභාගයක්ද නොපවත්වා තොරතුරුද වසන් කරමින් රජ්‍ය භාෂා කොමිෂන් සභාව කර ඇත්තේ බරපතල වරදකි. ජාතික භාෂා ඇමතිවරයා තම විෂයයන් මගහරිමින් දෙමළ අභිලාශය පමණක් එනම් වෙනම රාජ්‍යක් සඳහා වෙනම භාෂවක් ඇති කරගැනීම පිණිස පමණක් කටයුතු කිරීමට තැත් දැරීම සත්‍යයක් බවට වෙනත් උදාහරණයක් අවශ්‍ය නැත.මේ දෙමළ නායකයන් ගේ මනෝ ව්‍යාධිය ඉතා ඉක්මනින් සමනය නොකළහොත් රටම නැවතත් ලේ වලක් බවට පත් වීම වළක්වා ලිය නොහැකිය.

මතුගම සෙනෙවිරුවන්     

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress