එදා ඒකාබද්ධ විපක්ෂය කියපු කතාව අද ජනාධිපතිතුමා කියනවා
Posted on June 3rd, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රය රත් කරමින් කතාබහ වෙනවා. මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය කුමක්ද?

මෙම ප්‍රකාශයට කරුණු රැසක් අඩංගුවෙලා තියෙනවා. සමහර කරුණු ඇත්ත. සමහර කරුණු පරස්පරයි. සමහර කරුණු පිළිගන්න බැහැ. මෙම ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාම කෙටි පිළිතුරක් ලබාදීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ ආණ්ඩුවක් මේ මොහොතේ නැහැ කියලා. එම නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වලා, තමන් කැමැති ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ජනතාවට ලබාදිය යුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියපු එම ප්‍රකාශය තමයි ජනාධිපතිතුමාට ලබාදීලා තියෙන හොඳම පිළිතුර.

ජනාධිපතිතුමාගේ කතාවේ කරුණු ගැන හිතෙන්නේ මොනවාද?

ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ලකාපු කතාව පිළිගන්න පුළුවන්. රාජ්‍ය බැංකුවල තිබුණු රජයේ ගිණුම් පෞද්ගලික බැංකුවලට ලබාදීමට ගෙනාපු කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ කතාව පිළිගන්න පුළුවන්. ඒ වගේම දින 100 වැඩපිළිවෙළ කරපු මෝඩම වැඩේ කියපු කතාවත් පිළිගන්න පුළුවන්. තවත් පිළිගන්න පුළුවන් යම් යම් කරුණු තියෙනවා.

දින 100 වැඩසටහන තමන් දන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කියපු කතාව ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද?

මේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහන දින 100 වැඩසටහනයි. දින 100 වැඩසටහන කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඡායාරූපය දාලා පොත් ගහලා බෙදුවා. එතකොට ජනාධිපතිතුමාට ඒක නොදැනෙන්න හේතුවක් නැහැ. දින 100 වැඩසටහන ජනාධිපතිතුමා දැනගෙන ඉන්න ඇති. නමුත් ඒ වැඩසටහන මෝඩ වැඩක් කියලා ජනාධිපතිතුමා කියපු කතාව ඇත්ත. මේක හදලා තියෙන්නේ මෝඩයන් කියලා ජනාධිපතිතුමා කිව්වේ අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට වෙන්න ඇති. මේක ඉතා බරපතළ තත්ත්වයක්. රටේ ප්‍රධානතම වැඩසටහන රටේ රාජ්‍ය නායකයා දන්නේ නැත්නම් ඒ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ සියලුම දේවල් නීති විරෝධී විය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු සියලු දේවල් මෙහිදී අභියෝගයට ලක් කෙරෙනවා.

නමුත් ඔබ දින 100 ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දැරුවා නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයක් අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් දැනුවත් කරලයි මං දින 100 ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දැරුවේ. මාසයක් යනකොටම මට තේරුණා මේ යන්නේ මට එකඟවෙන්න බැරි ගමනක් කියලා. ඇත්තටම ඒක මෝඩ වැඩක්. ජනාධිපතිතුමාගේ කතාව හරි. මා දින 100 ආණ්ඩුවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ ඒ නිසායි. මං ගත්තු තීරණය හරි කියලා ජනාධිපතිතුමාගේ කතාවෙන්ම පේන්න තියෙනවා. මේ දින 100 වැඩසටහන වැඩක්ම නැති දෙයක්. මේ නිසා රට ආපස්සට ගියා කියලා ඒකාබද්ධ විපක්ෂය එදා ඉඳලම කිව්වා. එදා ඒකාබද්ධ විපක්ෂය කියපු කතාව අද ජනාධිපතිතුමා කියනවා. මාත් එක්ක පවිත්‍රා, මහින්ද යාපා, ඩිලාන් යන අයත් එදා ආණ්ඩුවෙන් එළියට බැස්සා.

ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ තිබුණු පරස්පර කරුණු මොනවාද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තංගල්ලට යන්න හෙලිකොප්ටර් ලබාදුන්නා කියන කතාව පරස්පර එකක්. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දිනයේදී තංගල්ලට යන්න හෙලිකොප්ටර් දෙන්න යම් කිසිවකු තමන්ගේ නම භාවිත කරලා ගුවන් හමුදාපතිවරයාට නියෝග කරලා තියෙනවා කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නමුත් 2016 වසරේදී අප්‍රේල් මාසයේදී මොනරාගලදී පැවැත්වුණු උත්සවයකදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තංගල්ලට යෑම සඳහා තමන් හෙලිකොප්ටර් 2ක් ලබාදුන් බවයි. එතකොට මේ කතාව පරස්පරයි. අනෙක් කරුණ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නව ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනතුරු මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ජනාධිපතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමා තංගල්ල බලා පිටත්ව ගියේ ජනාධිපති හැටියටමයි. ඒක නිසා ජනාධිපති වශයෙන් ඒ අවස්ථාවේදී හෙලිකොප්ටර් ලබාගන්න කාගෙන්වත් අවසර ලබාගන්න ඕන නැහැ. අනෙක රට ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකයා ආරක්ෂාකාරීව තංගල්ලට ගියා නම් ඒකේ තියෙන වැරැද්ද මොකක්ද?

ජනාධිපතිතුමාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද?

ලැජ්ජා බයක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මෙම ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන මෙම බරපතළ චෝදනාවලට ආණ්ඩුව වහාම ප්‍රතිචාර දැක්විය යුතුයි. අග්‍රාමාත්‍යවරයා රටට වහාම ප්‍රකාශයක් කළ යුතුයි. ජනාධිපතිවරයා කියනවා නම් රටේ වෙන දේවල් තමන් දන්නේ නැහැ කියලා රටේ තත්ත්වය මොකක්ද? තමන්ට නොදන්වා අගමැතිතුමා රට ඉතා අහිතකර ආකාරයට පාලනය කරනවා කියන කතාවක් තමයි මේ ජනාධිපතිතුමා කියන්නේ. රටේ රාජ්‍ය නායකයා මෙහෙම කතාවක් කියනකොට රටේ තත්ත්වය ඉතා බරපතළ බව මෙරට සිටින තානාපතිවරුන් විසින් දැනටමත් ඒ රටවලට දැනුම් දීලා ඇති. මේ රටට මේ තත්ත්වය යටතේ ආයෝජකයෝ ඒවිද? ඒක නිසා ජනාධිපතිතුමා මේ බරපතළ චෝදනා එල්ල කිරීම පිළිබඳව අවධානය යොමුකරමින් එහි තිබෙන සත්‍ය තත්ත්වය තේරුම් අරගෙන වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කළයුතුයි.

නමුත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ දින 100 වැඩසටහන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්වෙලා හැදුවයි කියලා

දැන් එක්සත් ජාතික පක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමා කියන්නේ මේ දින 100 වැඩසටහන මහ මෝඩ වැඩක් කියලා. අවුරුදු 3 1/2ක් මෝඩ වැඩේ කරලා ඉතිරි අවුරුදු 1 1/2ත් ඒ මෝඩ වැඩේම කරන්නේ නැතිව රට හරියට කරන්න පුළුවන් පිරිසකට භාරදෙන්න කියලයි මේ රටේ පොදු මහජනතාව කියන්නේ.

නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ රටට සහ ජනතාවට අති විශාල සේවාවක් මේ දින 100න් සිදුවුණා කියලයි

ඒක තමයි ජනාධිපතිතුමා කියන්න ඇත්තේ මේක මහා මෝඩ වැඩක් කියලා. රට අස්ථාවර කරන, රට ආපස්සට යන, රාජ්‍ය දේපළ විකුණන, ජාතික ආරක්ෂාවට අහිතකර වන, සංහිඳියාව මුවාවෙන් බෙදුම්වාදයට කඩේ යන මේ සේරම සිදුවීම ආරම්භ වුණේ මෙම දින 100 වැඩසටහන තුළ.

නමුත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සහ රට තුළ විනය ඇති කිරීම, නීතිය හා සාමය ක්‍රියාත්මක වීම කියන කරුණු දින 100 තුළ සිදුවුණා කියලා එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා.

මොන බොරු කතාවක්ද? එහෙම වුණා නම් අද පාතාලය රජ කරයිද? පාතාලය අද රජ වෙලා. ජනාධිපතිතුමාම කිව්වා, පාතාලය මර්දනය කිරීමට අසමත් වෙලා කියලා. පොලිස්පතිට හා පොලිසිය භාර අමාත්‍යවරයාටත් ජනාධිපතිතුමා රතු එළියක් දැල්වූවා.

නමුත් හොරු ඇල්ලුවා කියලා එක්සත් ජාතික පක්ෂය කියනවා
අල්ලපු හොරෙක් කොහේද ඉන්නේ. මහ බැංකුව කඩපු ලොකුම හොරා දැන් සිංගප්පූරුවේ නිදැල්ලේ ඉන්නවා. කෝ ඇල්ලුවාද? එදා කිව්වේ ගුවන්තොටුපොළ වහලා හොරු අල්ලනවා කියලයි. ශ්‍රී ලංකා මහ බැංකුව මහ දවල් කොල්ලකාලා අර්ජුන මහේන්ද්‍රන් කටුනායක ගුවන්තොටුපොළෙන් නිදහසේ සිංගප්පූරුව බලා පිටත්වුණා. කෝ ගුවන්තොටුපොළ වැහුවාද? ජ්ඛ්ධ්ච් එක කියලා එකක් හදාගෙන දේශපාලන පළිගැනීම් සිදුකරනවා. ආණ්ඩුවට එරෙහි වන අයව අභූත චෝදනා හදලා ජ්ඛ්ධ්ච් එකට කැඳවනවා. ටී. බී. ඒකනායක හිටපු ඇමැති ආණ්ඩුවෙන් එළියට ගියාම වාහනයක් ගැන ප්‍රශ්න කරනවා.

මේවද හොරු අල්ලනවා කියන්නේ. මේවා මොනතරම් පහත් පෙළේ දේශපාලන පළිගැනීම්ද? මේ ජ්ඛ්ධ්ච් එක සිදුකරන දේශපාලන පළිගැනීම් ගැන මේ ආණ්ඩුව නිහඬ මුනිවතක් රකිනවා. මෙම ජ්ඛ්ධ්ච් නීති විරෝධී ආයතනය මේ තනිකරම සිදුකරන්නේ දේශපාලන පළිගැනීමක්.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට බරපතළ චෝදනා එල්ලවෙලා තියෙන්නේ කියලා මේ ආණ්ඩුව කියනවා නේද?

මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ බොරු චෝදනා එල්ල කරලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරගත කරන්නයි. ආණ්ඩුවේ එම සිහිනය සැබෑ වෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුවේ සැබෑ වංචනිකයන් බොහෝ දෙනකුට ඉදිරියේදී සිරගත වීමට සිදුවෙනවා.

කොළඹ ඇතුළු ප්‍රදේශ බොහෝමයක දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වෙද්දී ඔබ නියෝජනය කරනු ලබන සීතල නුවරඑළිය දේශපාලනයෙන් උණුසුම් වෙලා නැද්ද?

දේශපාලනයෙන් කෙසේ වෙතත් වතුකරයේ වතුකම්කරු අහිංසක ජනතාව බඩගින්දරෙන්ම හොඳටම පිච්චිලා ඉන්නේ. සහල්, පොල්, තිරිඟු පිටි මේ තුනේම මිල වැඩිවෙලා. පසුගියදා භූමිතෙල් මිලත් වැඩිවුණා. බඩගින්නට රොටියක් කාලා, තේ එකක් බොන්න බැරි තත්ත්වයක් තමයි මේ යහපාලන ආණ්ඩුව යටතේ වතුකරයේ ජනතාවට උදාවෙලා තියෙන්නේ. වතුකරයේ පමණක් නොව මුළු රටේම ජනතාව ආර්ථික පැත්තෙන් පිච්චෙමින් ඉන්නේ.

ඔබ ආණ්ඩුවට එසේ චෝදනා නඟනවා නම් ජනතාව ඉන් බේරාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද?

පසුගිය අවුරුදු 3 1/2 තුළ මේ ආණ්ඩුව ගමන් කරන ප්‍රජාතන්ත්‍රවාදී නොවන වැඩපිළිවෙළ ගැන මුලින්ම රටට හෙළිදරව් කළේ ඒකාබද්ධ විපක්ෂයයි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මෙම කාර්යය තවමත් සිදුකරමින් යනවා. විපක්ෂ නායක ධුරයේ සිටින දමිළ ජාතික සන්ධානයවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය උසුලන ජනතා විමුක්ති පෙරමුණවත් මේ ආණ්ඩුවට එරෙහිව කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ මෙම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්දය ලබාදී මෙම ආණ්ඩුව රැකීම පමණයි. අඩුම ගණනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව පිළිබඳව තිබෙන විවේචනයවත් දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට නැහැ. එම නිසා ඒකාබද්ධ විපක්ෂය පුළුල් බලවේගයක් ලෙස මේ ආණ්ඩුව පලවා හැරීමට එරෙහිව දිගින් දිගටම කටයුතු කරනවා. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සහායත් උපරිම ලැබී තිබෙනවා.

ප්‍රධාන මැතිවරණවලට තව තියෙන්නේ අවුරුදු 1 1/2යි නේද? මේ ටිකත් ඔහොමම ගියොත් ආණ්ඩුව පෙරළන්න වෙන්නේ නැහැ නේද?

අපි ඉන්නේ ඉතා හොඳ අවධානයෙන්. ලැබෙන පළමු මොහොතේදීම මෙම ආණ්ඩුව පෙරළීමට කටයුතු කරනවා. මේ ආණ්ඩුවට එච්චර දුරක් යන්න බැහැ කියලා අපි විතරක් නොවෙයි එකසත් ජාතික පක්ෂයේ ඇතැම් ප්‍රබලයන් පවා කියනවා. ජනාධිපතිතුමාගේ ආන්දෝලනාත්මක කතාවෙන් ඒ බව තවත් තහවුරු වුණා. ඒක නිසා මීළඟ මැතිවරණවලට පෙර ආණ්ඩු පෙරළියක්, දේශපාලන බල පෙරළියක් වැඩිකල් ගතවෙන්නට කලින් පාර්ලිමේන්තුව තුළ සිදුවෙන්න පුළුවන්. ඊට ප්‍රථම යම් යම් අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගන්නත් පුළුවන්. යම් අවස්ථාවක් ඉදිරියේදී ලැබෙනවා. එතකොට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී වගේ නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනෙන්නේ නැතිව හරි කෙළින් හිටගත්තොත් මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවංකවම වැඩේ හිටියොත් මේ ආණ්ඩුව පෙරළන එක වැඩක් නොවේ. එදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 47ක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා නම් ඒ වගේ අගමැති ධුරයේ වෙනසක් කිරීමට ජනාධිපතිතුමාට හැකියාව තියෙනවා.

එහෙම කරන්න බැරිවුණොත් වෙන්නේ මොකක්ද..?

මං කිව්වේ ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවංකව හිටියොත් එහෙම කරන්න පුළුවන් කියලා තදබල විශ්වාසයක් අපට තියෙනවා. මේ රට අවුරුදු 3 1/2ක් තිස්සේ හැම පැත්තකින්ම විනාශ වුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ කතාව යම් ආකාරයකට කියනවා. ඉතිරි අවුරුදු 1 1/2ත් මේ වගේම රටේ ඉතිරි ටිකත් විනාශ කරන්න එපා කියලයි අපි කියන්නේ. ඒක නිසා පාර්ලිමේන්තුව වහාම විසුරුවලා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. නැත්නම් අඩුම ගණනේ මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි. එහෙමත් නැති වුණොත් රටේ පොදු මහජනතාව මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මේ ආණ්ඩුව වෙනස් කරනවාමයි.

නමුත් ළඟදීම “ගම් පෙරළිය” වැඩසටහන හරහා ගම දියුණු කරලා ජනතාවගේ ආර්ථිකය හදලා අතමිට සරු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියලා තිබෙනවා.

ගම්පෙරළිය නොවේ, රට විනාශ කරලා එක්සත් ජාතික පක්ෂය කරපු රට පෙරළිය ගැන ජනාධිපතිතුමා හොඳට ලුණු ඇඹුල් ඇතුවම කිව්වා නේද..? ඒක නිසා ගමට යන්න කියන්නකෝ. ඉලපත් පාරවල්, කොහු ඉදල් පාරවල් තමයි මංගල සමරවීර ඇමැතිතුමාලා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට ජනතාවගෙන් කන්න සිදුවෙන්නේ. මොන ගම්පෙරළියද..? අපේ ආණ්ඩුවෙන් හදපු ඒවා තමයි මේ ආණ්ඩුව තවදුරටත් විවෘත කරමින් ඉන්නේ. මං මූලික වෙලා හදපු නුවරඑළිය මහ රෝහල මේ ආණ්ඩුවට තවම විවෘත කරගන්න බැරිවෙලා තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලෙදි හදපු සමහර ගොඩනැඟිලිවල වැඩ ඉවර කරගන්න මේ ආණ්ඩුවට අවුරුදු 3 1/2ක් තිස්සේ බැරිවෙලා තියෙනවා. තව මොන කතාද..?

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිතුමාට යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයකට යන්න කියලා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එම යෝජනාව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය යුතුයි නේද..?

ලබ්බ ඇතුළේ තොවිලය වගේ මේ හැම දෙයක්ම සිදුකරන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේදී. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ අඩුපාඩුකම් තිබෙනවා. රට අස්ථාවර වුණොත් අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මෙහි පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ. දින 100 මෝඩ වැඩක් කියලා ජනාධිපතිතුමා කිව්වේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්කයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දින 100 වැඩසටහනෙහි ප්‍රධානතම කරුණක් බවට පත්වෙලා තිබුණා.

ජනාධිපතිවරණය ගැන දැන්ම කතා කිරීමෙන් රට අස්ථාවර වන බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. දැන්ම ඒ ගැන කතා කිරීම අවශ්‍ය නැද්ද..?

ජනාධිපතිවරණයට හැමෝම දැන් සිටම සූදානම් වුණාට වරදක් නැහැ. දේශපාලන උපක්‍රම ප්‍රසිද්ධ නොකර ඒකට සූදානම් වෙලා අවශ්‍ය වෙලාවට ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්න ඕන. පසුගිය ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මැතිතුමා කලින් කැඳෙව්වේ නියමිත කාලයට වඩා අවුරුදු 2ක් විතර කලින්. මේ අවස්ථාවේදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා සෞඛ්‍ය ඇමැති දැන් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා ජනාධිපතිවරණය කලින් තියන්න එපා කියලා. එහෙම කරපු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වෙනකොට අපි හීනෙකින්වත් හිතුවේ නැහැ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා බවට පත්වෙයි කියලා. ඒක නිසා ක්ෂණිකව කෙනකු එන්නත් පුළුවන්. ඒක කාලයට භාරදීලා ඉමු. නමුත් ජනාධිපතිවරණයට සූදානම් වීම සිදුවෙනවා.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම, පොදු සන්ධානයක් ඇති කරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවලියක් භාරදීලා තියෙනවා. මේ ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද..?

පහුවෙලා හරි ඥානය පහළ වීම ගැන එම 16 දෙනාගේ කණ්ඩායමට අපගේ ගෞරව ප්‍රණාමය පුදකර සිටිය යුතුයි. මේක අපි කලින්ම කිව්වා. වසර 3 1/2ක් ගිහිල්ලාවත් ඒක තේරුම් ගත්තු එක ලොකු දෙයක්. මේ කණ්ඩායම අපට අලුත් කණ්ඩායමක් නොවෙයි. අපිත් එක්ක එකට හිටපු කට්ටිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එකට අරගල කළ කට්ටියයි. ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලිය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කරමිනුයි ඉන්නේ.

ඔබ කියන ආකාරයට 16 දෙනාගේ කණ්ඩායමට ඥානය පහළ වීමට බලපෑවේ කුමන කාරණයද..?

කාරණා කිහිපයක්ම බලපාන්න ඇති. රටේ ජන විඥානය හඳුනාගත්තා නම් මේ කණ්ඩායම එන්නේ මීට වඩා කලින්. නමුත් පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ජන විඥානය පෙන්වා දුන්නා. පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙම කණ්ඩායම තේරුම්ගෙන තියෙනවා නැවත මේ රට ගොඩගත හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමයි කියලා.

ඔබට නම් මාසෙන්ම වැඩේ හරියන්නේ නැහැ කියලා තේරුණාද..?

ඔව්. දින 100 වැඩසටහනේ ඇමතිකමක් ගත්තු මට නම් දින 30ක් යනකොටම තේරුණා මේ ගමන යන්න බැහැ කියලා. අවුරුදු 3 1/2ක් ගියාට පස්සේ දැන් හුඟ දෙනකුට වැඩේ වැරදුණා කියලා තේරෙනවා. ඒක නිසා යකෙක් එක්ක හරි රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට සිදුවෙනවා.

16 කණ්ඩායම විපක්ෂයට පැමිණීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම් වැඩිවෙලාද..?

එහෙම දෙයක් වෙලා නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ සහ 16 කණ්ඩායමේ එකම අරමුණ විය යුත්තේ මේ ආණ්ඩුවෙන් මේ රට කඩිනමින් බේරාගැනීමයි. ඒකට ප්‍රධාන අරමුණ යොදවනවා මිස පසුගිය කාලයේ සිදුවුණු දේවල්වල අලගිය තැන් මුලගිය තැන් සෙවීම ප්‍රයෝජනවත් දෙයක් නොවෙයි. “රට පෙරට” යන තේමාව යටතේ ගමන් කළොත් ප්‍රශ්න හුඟක්ම අඩුවෙයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුණේ ඇයි..?

ඊට හේතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳින් පැහැදිලි කළා. තමාට පෙර රට ගැන සිතා මීට විරුද්ධ වුණා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා. අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා සිදුකළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ වුවමනාවයි. ඊට අමතරව කොටි ඩයස්පෝරාවට ඇතැම් එන්.ජී.ඕ. කල්ලිවලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට අරාජික කිරීමට. ඒ සඳහා ඔවුන්ට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අවශ්‍යයි. ඒකට අපි ඉඩදෙන්නේ නැහැ.

 

2 Responses to “එදා ඒකාබද්ධ විපක්ෂය කියපු කතාව අද ජනාධිපතිතුමා කියනවා”

  1. Christie Says:

    සෝබිත හිමි ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන ඉන්දියාවට කත් ඇදපු කෙනෙක්. පිටකොටුවෙ ඉන්දියානු කෙලින්වීදියෙ ඉන්දියානු පරපෝසිත ෆේවරිට් මුදලාලිගෙ පක්කලි වැඩ්කල කෙනෙක් .
    මිනිහ සින්හලයන් බෙදන්න තමයි යහපාලන ගේම දුන්නෙ. සින්හලය බෙදල ඉන්දියානු පරපෝසිත චන්දයෙන් සිරිසේනව වෙල්ලවට නැග්ගුව.

    අන්තිමට ඉන්දියානු පරපෝසිත ඇතුල් කෙශාප් වැඩේ දුන්න.

    .ඉතින් සිරිසෙනත් සොබිතයම තමයි. වෙනස එකෙක් පරලොව.

  2. Ananda-USA Says:

    EXCELLENT QUESTIONS & ANSWERS!

    In Particular:

    CRISIS SOLUTION: පාර්ලිමේන්තුව වහාම විසුරුවලා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි.

    PATRIOTS OBJECTIVE: ඒකාබද්ධ විපක්ෂයේ සහ 16 කණ්ඩායමේ එකම අරමුණ විය යුත්තේ මේ ආණ්ඩුවෙන් මේ රට කඩිනමින් බේරාගැනීමයි.

    LAST DITCH ENEMY THREAT: ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා සිදුකළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ වුවමනාවයි. ඊට අමතරව කොටි ඩයස්පෝරාවට ඇතැම් එන්.ජී.ඕ. කල්ලිවලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට අරාජික කිරීමට. ඒ සඳහා ඔවුන්ට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අවශ්‍යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress