ජවිපෙ මේ කරන්නේ මහා භයානක විහිළුවක්
Posted on June 4th, 2018

හර්ෂනී අර්සකුලරත්න  උපුටාගැණීම  මව්බිම

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මැදිහත් වන බව පැවැසූ අනුර කුමාර දිසානායකගේ යෝජනාවේ කිසිදු තැනක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් සඳහන් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (31දා) පිටකෝට්ටේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක විධායක ජනාධිපති ධුරය කියලා තනතුරක් නැහැ. එහි 7 පරිච්ඡේදයේ 30 වගන්තිය යටතේ ජනරජයේ ජනාධිපතිවරයා කියලා යෙදුමක් තියෙනවා. ඒ වගන්තියේ තියෙනවා ‘ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන්නේය’ කියලා. විධායක ජනාධිපති කියලා සුළු හරි හැඟවීමක් තියෙන්නේ මේ වගන්තියෙ. එහෙම නැතිව විධායක ජනාධිපති කියලා වචනයක් ව්‍යවස්ථාවෙම නැහැ. ඒක සංශෝධනය කරන්න අනුර කුමාර යෝජනා කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා කියන එක ඉවත් කිරීමට පමණයි. එතැන තියෙන අනෙක් කරුණු එහෙම්මමයි. ඔහු මෙතැනදී උත්සාහ දරන්නේ ආණ්ඩුවේ ප්‍රධානීත්වයෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට පමණයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් මේකේ ඇත්ත අරමුණ මේ සංශෝධනයේදී විධායකයේ ප්‍රධානියා කියන කොටසයි ඉවත් විය යුත්තේ. හැබැයි ඒකට අත තියන්නෙ නැහැ. ඔහුට හදිසි ජනාධිපතිව ආණ්ඩුවේ ප්‍රධානීත්වයෙන් ඉවත් කිරීමටයි.

මොවුන්ගේ ප්‍රධාන අරමුණු 3ක් තියෙනවා. එහිදී පේන්න තියෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් කිසිදු තැනක සඳහන් නොවීම. දෙවැන්න ජනාධිපතිවරයාට දැනට තියෙන බලතලවලින් අතිශය බහුතරයක් අගමැතිවරයාට ලබාදීම. තුන්වැන්න තමයි අප මුල පටන් අනතුරු අඟවපු රට ෆෙඩරල් කරණය කිරීමේ මාර්ගයට යා හැකි ආකාරයේ හිස් තැන් ගොඩක් මෙහි පැවතීම.

මේ යෝජනාවෙ හැටියට 2020දී ජනවාරි 09 වැනිදා ඉඳලා පත්වෙන මේ ජනාධිපති කොහෙන් හරි එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔහු රටට හිතැති කෙනෙක් කියලා හිතන්න බෑ. ඔහු වෙනත් න්‍යාය පත්‍රයකට ඉත්තෙක් වීම අනිවාර්යයි.

ඒ නිසා මේක එක පැත්තකින් විහිළුවක්. අනෙක් පැත්තෙන් අතිශය භයානක විහිළුවක්. මොකාටද එන්න හදන්නෙ කියලා අප පැහැදිලි කරගන්න ඕන.

මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුමයි. කොහොම වුණත් මේක ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතාම අවමයි. ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා තියෙන්නේ මේකට නිල වශයෙන් සහාය නොදී ඉන්න. එතකොට 2/3 ලැබෙන්නෙ නෑ. ජනමත විචාරණයකට ගියත් ඒකාබද්ධ සහාය නැතිව ඒක ජයග්‍රහණය කරන්න බැහැ.

මං හිතන්නෙ නැහැ ඔවුන් මේක නොදැනයි ආවේ කියලා. ඔවුන් දන්නවා. ඔවුන්ගේ අරමුණ තමයි ඊළඟ ජනාධිපතිවරණයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන සටන් පාඨය නැවත කර තබාගෙන යන පොදු අපේක්‍ෂකයකු ගෙන ඒමට පසුබිම සැකසීම.

ජ.වි.පෙ. නායකයා පසුගිය මාර්තු 2 එක්තරා පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියනවා මේ ව්‍යවස්ථා කෙටුම්පත ගෙන ඒම ප්‍රමාද වෙන නිසා එතකන් ඉන්න බැහැ. ඒ නිසා අපි ඊට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ඒකටයි මේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන්නෙ කියලා.

මේකෙන් පැහැදිලි වෙන්නේ එදා සම්මත කර ගන්න බැරිවුණු ෆෙඩරල් යෝජනා ටික වෙන වෙන ක්‍රමවලින් ලහි ලහියේ කරගන්න උත්සාහ දරන බව. කවුරුත් දන්නවා ජ.වි.පෙ.ට ඓතිහාසික නෑකමක් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඔවුන් මේ සටන් පාඨය කරේ තියාගෙන යන්න සුදුසු පුද්ගලයන් එහෙම සුදුසුකමක් තියෙන කෙනෙක් ලව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කියන සටන් පාඨය පෙන්නලා වෙනත් යමක් කරගැනීම තමයි අද වන විට සතුරාගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ.

One Response to “ජවිපෙ මේ කරන්නේ මහා භයානක විහිළුවක්”

  1. Ananda-USA Says:

    The JVP drafted 20th Amendment requires the vote to select the non-Executive President by SECRET BALLOT! NO ONE CAN FIND OUT HOW the 118 (now reportedly 164 according to CaFFE) MPs who took BRIBES from Perpetual Treasuries have voted to ELECT the President!

    I ALSO wonder HOW HOW the 118 (now reportedly 164 according to CaFFE) MPs who took BRIBES from Perpetual Treasuries voted to DEFEAT the NO-CONFIDENCE MOTION against the the Ali-Baba Ranil Wikunanasinghe!

    I think Perpetual Treasuries fell a little SHORT in that PTL failed to buy the ENTIRE 225 MPs in PARLIAMENT!
    A little inefficiency there, don’t you think??

    Pana-Nathi Jana-Pathi SIRISENA! DISSOLVE this CROOKED Parliament …. NOW, and CALL FOR NEW PARLIAMENTARY ELECTIONS … RIGHT NOW!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress