හවුලේ කළත් නොකළත් බැරි එකාට බෑමය
Posted on June 11th, 2018

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

ලංකාවේ ආර්ථික වර්ධන වේගය පළමු වරට සෘණ අගයක් ගත්තේ 2001 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේය. 1996 වසරේදී වසර 19ක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් 62.28%ක අති විශාල ඡන්ද ප්‍රතිශයකින් ජයග්‍රහණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ගැන රටේ විශාල බලාපොරොත්තුවක් තිබුණද අවාසනාවකට මෙන් ඇය ඉතිහාසයට එක්වූයේ ආකාර්යක්ෂම නායිකාවක් ලෙසය.

විශේෂයෙන්ම වෙලාවට වැඩ කළ අතිශයින්ම කාර්යක්ෂම ජනාධිපතිවරයකු වූ ආර්. ප්‍රේමදාස වසර 3ක කෙටි කාලයක් තුළ සිදුකළ වැඩකටයුතු සමඟ සසඳන විට ඇගේ වසර 11ක පාලන කාලය රටට මෙලෝ වැඩක් සිදු නොවූ යුගයක් ලෙස නම් කළ හැකිය. එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් නම් රටේ සංවර්ධනය වේගවත් වනු ඇත යන මිථ්‍යාව රටේ මුල්බැස ගත්තේ චන්ද්‍රිකාගේ මේ දුර්වල පාලනය නිසාය.

වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලංකාවේ ආර්ථික කළමනාකරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් වඩා දුර්වල බව අද ලංකාවේ ආර්ථිකය ගැන සුළු හෝ අවබෝධයක් ඇති අයකුට නම් වැටහී යා යුතුය. චන්ද්‍රිකා බණඩාරනායක 2004 බලයට එනවිට මේ රටේ යුද්ධයක් තිබිණි. රටේ ආර්ථික ගැටලු රැසක්ද තිබිණි. ඇගේ නොහැකියාව නිසා ඒවාට විසඳුම් සෙවීමට නොහැකි වූ බව සැබෑවකි.

එහෙත් වත්මන් ආණ්ඩුව බලයට එනවිට යුද්ධය අවසන් වී තිබිණි. සෑම ආර්ථික දර්ශකයකින්ම වාගේ ලංකාව ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටවල් කිහිපය අතර සිටියේය. සංවර්ධන වේගය ආසියාව තුළ දෙවැනි වූයේ චීනයට පමණි. විදේශ ආයෝජන විශාල වශයෙන් රටට ගලා එමින් තිබිණි. කොළඹ නගරය පුරා විවිධ ඉදිකිරීම් සිදුවෙමින් එය දිස්වූයේ කාර්යබහුල වැඩපොළක් මෙනි. රටපුරා යටිතල පහසුකම් ඉදිවී තවත් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙමින් තිබිණි. අලුත් ආණ්ඩුවට තිබුණේ එතැනින් පටන්ගෙන සංවර්ධන වැඩපිළිවෙළ තවත් වේගවත් හා කාර්යක්ෂම කිරීම පමණි.

පසුගිය වසර 3 1/2 තුළ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් රජය සම්පූර්ණයෙන්ම අවුල් කරගත්තේ එවැනි ස්වර්ණමය අවස්ථාවකි.

2017 වසර වනවිට ලංකාවේ සංවර්ධන වේගය 3.1%ට පහත වැටී තිබිණි. මේ ආසියාවේ දළ සංවර්ධන වේගය 6%ක් පමණ වන අවස්ථාවකය. ලංකාවේ මුදල් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වත්මන් රජය යටතේ 20%කින් බාල්දු වී ඇත. නොපියවූ විදේශ ණය වසර 3ක් වැනි කෙටි කාලයක් තුළ 40%කින් ඉහළ ගොස් තිබුණු අතර මේ වන විට තත්ත්වය තවත් බරපතළය. ජනතාවගේ ජීවන වියදම අතිශයින් ඉහළ ගොස් තිබියදී රජයද ජනතාව මත විශාල බදු බරක් පටවා ඇත. 2014ට සාපේක්ෂව රජයේ බදු අයකිරීම් 100%කින් ඉහළ යෑමට නියමිත අතර අවසානයේ එහි බර දරන්නට වන්නේ සෘජු හා වක්‍ර මාර්වලින් රටේ පුරවැසියන්ටය.

මේ අර්බුදයට හේතුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට වැඩ කිරීමට බාධා කිරීමය යන අලුත් මිථ්‍යාවක් ජනගත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන් උත්සාහ කරන්නේ මීළඟ ඡන්දය ඉලක්ක කරගෙනය. තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නම් ආර්ථික දියුණු කළ හැකිය යන මතයක් ජනතාවට ඒත්තු ගැන්වීම ඔවුන්ගේ අරමුණයි.

රටේ ආර්ථික අර්බුදයට හේතුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇඟිලි ගැසීම නොවන බව තේරුම් ගත යුතුමය. වත්මන් රජය බලයට ආ පසු රටේ මුදල් ඇමැති තනතුර දිගටම දැරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුය.

ආර්ථික ප්‍රතිපත්ති සකස් වන්නේ අගමැතිවරයා යටතේය. ආර්ථිකයට වැඩිම බලපෑමක් එල්ල කරන අමාත්‍යාංශ සියල්ලම වාගේ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු යටතේය. හවුල් ආණ්ඩුව තුළ සිටින දෙපිරිසටම වැඩ බැරි බව මේ වන විට පැහැදිලි වුවත් ආර්ථික කළමනාකරණය අනාගැනීමේ මූලික වගකීම හවුල් ආණ්ඩුව මත පටවා නිදහස් වීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට කිසිසේත්ම නොහැක.

උදාහරණයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණය අවසන් වී දින 50ක් ගතවන්නටත් පෙර මහ බැංකු මංකොල්ලය කරන්නය කියා දින 100 වැඩපිළිවෙළේ ලියා තිබුණේ නැති බව පසුගියදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාම සෝභිත හිමි අනුස්මරණ උත්සවයේදී පැවැසීය. බැඳුම්කර කොල්ලයෙන් රටට වූ පාඩුව රුපියල් කෝටි ලක්ෂය පනින බව මුලින්ම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයකු වන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.

රුපියල් කෝටි ලක්ෂයක් යනු එසේ මෙසේ මුදලක් නොවේ. 2014 වසරේ ලංකා රජයේ සමස්ත ආදායම රුපියල් කෝටි ලක්ෂයක් විය. 2015 බැඳුම්කර මංකොල්ලයෙන් රටට වූ පාඩුව ඒ හා සමානය. මෙය ලංකාව වැනි රටකට දැරිය හැකි පාඩුවක්ද?

එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ව්‍යාපාරිකයන්ට හොඳ කලක් උදාවනු ඇති බවට තිබුණු බලාපොරොත්තුව බිඳ වැටීමට වත්මන් රජය පත්වී මාස 3ක් ගත නොවිණි. 2015 මාර්තු මාසයේ නව රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අය-වැයෙන් ඉතිහාසයේ කිසිවිටක අසා නැති අසාධාරණ බදු රැසක් ව්‍යාපාරිකයන් මත පැටවිණි. උදාහරණයක් ලෙස අතීතයට බලපාන ලෙස පැනවූ සුපිරි ආදායම් බද්ද නම් කළ හැකිය. ඊට පෙර වසරේ ඕනෑම සමාගමක් රුපියල් බිලියන 2කට වඩා ලාභයක් ලබා ඇත්නම් එය අයුතු ලෙස ඉපයූ ආදායමක් ලෙස නම් කළ මුදල් ඇමැති රවි කරුණානායක ඒ සෑම සමාගමකින්ම අතීතයට බලපාන ලෙස 25%ක බද්දක් ඔවුන් එතෙක් නීත්‍යනුකූලව ගෙවා තිබූ බදුවලට අමතරව පැනවීය.

සියලුම ජංගම දුරකථන සමාගම් මත කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා එකවරක් පමණක් ගෙවිය යුතු රුපියල් මිලියන 250ක බද්ඳක් පැනවිණි. ක්‍රීඩා ප්‍රචාරක නාළිකා මත එකවරක් පමණක් ගෙවන රුපියල් මිලියන 1000ක බද්දක් පැනවිණි. පිටරටක පදිංචියට යන ශ්‍රී ලාංකිකයන්ගෙන් 20%ක බද්දක් ඔවුන් රැගෙන යන මුදල් මත පැනවිණි. මෙවැනි අත්තනෝමතික බදු පැනවීමේ ප්‍රතිඵලය වූයේ සමස්ත ව්‍යාපාර ක්‍ෂේත්‍රයම මවිතයට හා තැතිගැන්මට ලක්වීමයි. පිස්සන් රැළක් බලයට පැමිණ ඇත්දැයි සැක පහළ කිරීමට පළමු සංඥාව ඒ වූ බැවිනි. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ නව රජය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම ආරම්භ වූයේ එතැනිනි.

පසුගිය ආණ්ඩුව යටතේ බොහෝ කෘෂි නිෂ්පාදනවලින් රට ස්වයංපෝෂිතව තිබිණි. රටේ හාල් අතිරික්තයක් පවා තිබිණි. නමුත් වත්මන් රජය බලයට ආ සිටම කළේ කෘෂිකර්මාන්තයට කෙනෙහිලි කිරීමය. පළමු අය-වැයෙන්ම පොහොර සහනාධාරය කපා දමන ලදී. විකල්ප විසඳුමක් සෙවීමට කල් නොදී යම් රසායනික පොහොර වර්ග තහනම් කරන ලදී. වී වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩියි. කියා කෘෂිකර්මාන්ත ඇමැතිවරයාම කර්මාන්තයට අපහාස කළේය. 2016 දී කෘෂිකර්මාන්ත 3.8%කිනුත් 2017 දී තවත් 0.8% කිනුත් කඩා වැටිණි. පසුගිය දශකය තුළ අඩුම වී නිෂ්පාදනය වාර්තා කරමින් වසරක් තුළ වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 2.4ක් දක්වා සියයට 46.1කින් පහත වැටිණි. 2016/17 මහ සහ යල කන්න දෙකෙහි වාර්ෂික වී නිෂ්පාදනය සහල් මෙටි්‍රක් ටොන් මිලියන 1.7කට සමාන වූ අතර එය ප්‍රමාණවත් වුණේ මාස අටකට ආසන්න කාලයක දේශීය පරිභෝජනය සඳහා පමණි. කෘෂිකර්මාන්තයට කුඩම්මාගේ සැලකිලි දැක්වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ සහල් ආනයනයට රටට විශාල වියදමක් දරන්නට සිදුවීම හා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමයි.

රජයේ සමහරක් මෝඩ තීරණ නිසා රටට වූ පාඩුවද අපමණය. උදාහරණයක් ලෙස දේශපාලන ප්‍රචාරක වාසිය බලාපොරොත්තුවෙන් බලයට ආ විගස පෝට් සිටි ව්‍යාපෘතිය නතර කිරීම නිසා අවසානයේ චීනයට ගෙවන්නට වූ වන්දිය රුපියල් කෝටි 2,600ක් පමණ වේ. දුරදිග නොසිතා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ඇණවුම් කොට තිබූ නව ගුවන් යානා ඇණවුම අවලංගු කොට ගෙවන්නට වූ වන්දිය රුපියල් කෝටි 1,700ක් පමණ වේ. හයට් හෝටලයේ ගෘහ නිර්මාණ කොන්ත්‍රාත් අවලංගු කිරීමට ගත් එවැනිම තීරණයක් නිසා සැපයුම්කරුවන්ට ගෙවන්නට වූ වන්දිය රුපියල් කෝටි 160ක් පමණ වේ. මේ නව රජයේ වැරැදි තීරණ නිසා කරගත් පාඩුවලින් කිහිපයක් පමණි. අවසානයේ මේ සියලු වන්දි ගෙවන්නට සිදුවූයේ මහජන බදු මුදලිනි.

සෑම වසරකම රජයක් විසින් අය-වැයක් ඉදිරිපත් කොට අමාත්‍යාංශවලට මුදල් වෙන් කරන්නේ ඒ ඒ අමාත්‍යාංශවල අරමුණු යටතේ රටට වැඩ කරන්නටය. එහෙත් පසුගිය වසර කිහිපය පුරාම වසර අවසානයේ විශාල මුදලක් භාවිත නොකොට ඉතුරු වන බව රජයේ වාර්තාවලින් පෙනී යයි. මින් පෙනී යන්නේ සමස්ත රාජ්‍ය තන්ත්‍රයම අකර්මණ්‍ය වී වාර්ෂික අනුමත වැඩසටහන්වත් නිම කර ගත නොහැකි තත්ත්ත්වයට පත්වී ඇති බවය.
2014 වන විට ලංකාවට තවත් වසර ගණනාවක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් බොහෝමයක් අවසන්ව තිබිණි. කඩිනමින් නිම කිරීමට අනුමතව තිබූ තවත් වැදගත් ව්‍යාපෘති කිහිපයක් වූයේ සාම්පූර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය, නුවර අධිවේගී මාර්ගය, අගනුවර එකතුවන කසළ සනීපාරක්ෂක ක්‍රමවේදයක් යටතේ ඉවත් කිරීමේ සැලැස්ම හා කොළඹ නගරයේ වැසි ජලය ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියයි. මීට අමතරව බස්නාහිර ප්‍රවාහන තදබදය විසඳීමට නියමිත ගුවන් දුම්රිය සැලසුමද සාකච්ඡා මට්ටමේ තිබිණි. අද මේ සියල්ල එක්කෝ නැවතී ඇත නැත්නම් ඉබි ගමනින් ගාටමින් තිබෙනු දැකිය හැකිය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ කුමක්ද? හවුලේ කළත් තනිවම කළත් මේ උදවියට නම් රට කරන්නට බැරි බවය.

One Response to “හවුලේ කළත් නොකළත් බැරි එකාට බෑමය”

  1. Christie Says:

    Our economy is in the hands of India and Indian Parasites.

    That is the problem.

    100 day program was completed within 100 days by destroying the Sinhalese owned and operated Avon Guard.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress