රූපස්කුලම් කැලෑවෙදි කොටි පොලිසියේ 600ක් සමූල ඝාතනය කරද්දි දිවි බේරගත්තු සාජන් මනෝජ් මැරි මැරී ජීවත්වෙන හැටි
Posted on June 15th, 2018

පටබැඳිගේ අමරබන්දු උපුටාගැණීම  මව්බිම

වර්ෂ 1990 ජුනි 11 වැනි දින ලංකාවම කඳුළෙන් නැහැවූ මහා ඛේදවාචකයක් සිදුවූ දිනයක්. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ, පොතුවිල, අක්කරපත්තුව ආදී පොලිස් ස්ථාන රැසක් සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් 600ක ගේ ජීවිතය තිරිසන් කොටින්ගේ අමානුෂික වෙඩි පහරකට ලක්වූයේ රට පාලනය කළ පාලකයන්ගේ වරදින්.

පොලිස් සැරයන් මනෝජ් එවකට රාජකාරි කළේ කල්මුණේ පොලිසියේ. එදා වෙනදාට වඩා කල්මුණේ නගරයේ තත්ත්වය වෙනසක් තිබෙන බව ප්‍රධාන ‍ෙදාරටුවේ ආරක්ෂාවේ යෙදී සිටි මනෝජ්ට පෙනෙන්නට වුණා. අවිගත් කොටින් ආයුධ ගෙන නගරයේ ඔබ මොබ සැරිසැරුවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටින ලෙස එම අවස්ථාවේ කල්මුණ පොලිසියේ සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු නියෝග කළා.

ගතවුණේ මොහොතයි. යුද හමුදාවේ ට්‍රක් රියකට බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ල කරමින් කොටින් සිය අමානුෂික මෙහෙයුම ආරම්භ කළා. අපි දැන් හමුදාවේ 13ක් මැරුවා. මේ තියෙන්නේ ඒ වෙපන්. මඩකළපුවේ වෙල්ලාවලි, කලවංචිකුඩි, කල්කුඩා පොලිසිත් දැන් අපිට යටත් වෙලා. උඹලත් දැන් යටත් වෙයල්ලා. සැරින් සැරේ පොලිසියේ ගේට්ටුව ඉදිරියට පැමිණ කොටින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සිටියා.

සවස 3.15 වන විට කොටි කල්මුණේ පොලිසියේ නිලධාරීන්ට දිගින් දිගටම මෝටාර් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. පොලිස් නිලධාරීන් එස්. එල්. ආර්. අවිවලින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියා. කොටියන්ට එරෙහිව පොලිසිය බිහිසුණු සටනක නිරත වෙමින් ඉන්න මොහොතක රජයේ ඉහළම තැනකින් නියෝගයක් නිකුත් කළා සටන නවත්වලා කොටින්ට යටත් වෙන්න කියලා. සහකාර පොලිස් අධිකාරි බොතේජු ඒ නියෝගය සිය නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ වනවිට සැරයන් මනෝජ්ට මෝටාර් උණ්ඩයක් වැදිලා. ඔහු ලේ ගලමින් හිටියා. එහෙත් ඔවුන් සටන අත්හැර තිබුණේ නෑ. සටන නවත්වා යටත් වෙන්න කියන නියෝගය දෙවැනි වතාවටත් සහකාර පොලිස් අධිකාරිවරයාට ඉහළින් ලැබුණා. පිල්ලේ පොලිස් කොස්තාපල්වරයා සුදු කොඩියක් රැගෙන ඉදිරියට ගියා. අනෙක් පිරිස එකිනෙකා පසු පස එකිනෙකා සිටින සේ කල්මුණ හන්දියට ගෙන්නුවා. කොටි සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු ඇතුළු කල්මුණේ පොලිසියේ 123 දෙනකු බිම වාඩි කළා.

දැන් සියලු දෙනාම බස් රථ 03කට නංවා ගත්තා. එකඟතාව තුවාලකරුවන් කල්මුණේ රෝහලටත් යටත් වූවන් කොටින් විසින් යටත් කරගත් අම්පාර පොලිසියටත් රැගෙන යෑම. ඒත් අම්පාරට යනවා කියූ බස් රථ ධාවනය වුණේ අක්කරපත්තු කොටි කඳවුරක් තුළට. කොටි නම් ගම් සහිතව සියලු තොරතුරු ලියා ගත්තා. කඳවුර තුළට දැම්ම පොලිස් නිලධාරීන්ට කොටි අතිශය නිර්දය ලෙස පහර දෙන්න වුණා. පහර දී අඩපණ කළ පොලිස් නිලධාරීන්ගෙ ඇස් දෙක සහ අත් පිටුපසට කර ගැට ගැසුවා. නැවත බස්වලට නංවා ගත්තා. බසය ගමන් ආරම්භ කළා. ගත වෙන්නෙ අවසාන තත්පර කීපය වග කාටත් වැටහුණා.

මඳ වේලාවකින් බස් රථය ගමන් කර නතර වුණා. බස් රථයේ සිටින අය පාපුවරුව වෙතට රැගෙන ගොස් එළියට විසිවන්නට පසු පසට පයින් ගසමින් එකිනෙකා එළියට ඇදලා දැම්මා. බිමට දැමූ පොලිස් නිලධාරීන් එක පේළියට බිමට පෙරළා දැමුවා. ඇස් බැඳ ඇති නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ. සැරයන් මනෝජ්ට මරණ බිය දැනෙමින් තිබුණා. ඔහු ඒ මොහොත අපට කියන්නෙ මේ විදියට.

“කොටි වෙඩි තියාගෙන යනවා. අපේ අය වේදනාවෙන් කෑ ගහන හඬ ඇහෙනවා. මගේ ළඟ ඉන්න අය මර ලතෝනි දෙමින් අන්තිම හුස්ම හෙළනවා. මට දැනෙනවා ගලාගෙන යන ලේවලින් මාව තෙමෙනවා. මොකක්දෝ වාසනාවකට මට වෙඩි වැදුණේ නැහැ. මං නිසොල්මනේ අහගෙන ඉන්නවා. අෑතින් ඇහෙනවා කෙඳිරි ගගා වතුර ඉල්ලන මගෙ සගයන්ගෙ කටහඬ. කොටි උන් ළඟට ගිහින් වෙඩි තියනව දැනෙනවා. මරණය තියෙන්නෙ එක හුස්මක, කෙඳිරියක දුරින්. මම සද්ද නැතිව මැරුණු විදියට හිටියා. කොටියෙක් ඇවිල්ලා මගේ ඔළුව කකුලෙන් පාගලා දැම්මා. මට දරා ගන්න බැරි වේදනාවක් දැනුණා.

ජීවිතය වෙනුවෙන් ඉවසගෙන හිටියා මුහුණෙ එක ඉරියව්වක්වත් නොපෙනෙන විදියට. ටික වේලාවක් යද්දි මට දැනෙනවා කොටි එතැනින් පිටත් වෙලා යන්න යනවා.

“මම එහෙම ටික වෙලාවක් ඉඳලා හිමිහිට බඩ ගාගෙන අමාරුවෙන් අඩි 15ක් වගේ දුරකට ගියා. හිමිහිට මගේ ඇස් දෙක බැඳලා තිබ්බ රෙදි පටිය ගසක අතුල්ලා ගලවා ගත්තා. තවත් මීටර් තිහ හතළිහක් විතර ඉතා අමාරුවෙන් බඩගාගෙන ගිහිල්ලා ගලක අතුල්ලලා පිටුපසට කරලා තිබ්බ අත් දෙකේ බැමි ලිහා ගත්තා.”

“මම දැක්ක දේ ආයෙ කිසිම මනුස්සයකුට දකින්න වෙන්න එපා. මොහොතකට කලින් ජීවතුන් අතර සිටි කල්මුණේ පොලිසියේ මගේ යාළුවෝ ඔක්කොම ටික වෙඩි තියලා මරලා දාලා. උණු ලේ ගංගාවක් වගේ ගලාගෙන ඇවිත් වැල්ල උරා ගන්නවා. තව මොනවා කරන්නද? මං කැලේ ඇතුළට ගියා. ටික දුරක් යද්දි මම දැක්කා එළියක්. මම එතෙන්ට යද්දි එක පාරටම කෙනෙක් මාව පැනල බදාගත්තා. මම බය වෙලා බලද්දි ඒ පොලිසියේ මාත් එක්ක හිටිය ගමගේ අයියා. එයා බස් එකේදීම අත් දෙක ලිහාගෙන. බිමට ඇදලා දාද්දිම එක පාරට කැලයට දුවලා. කොටි වෙඩි තිබ්බත් එයාට වෙඩි වැදිලා නැහැ.”

“මෝටාර් උණ්ඩ කැබැල්ලක් වැදුණු කකුල දැන් හොඳටම ඉදිමිලා. ලේ ගොඩක් ගිය නිසා මට පණ නෑ. ඉන්න බෑ බඩගින්න. දවසටම කාලා නෑ. එළිවෙනකම් කැලෑව ඇතුළෙ හිටිය අපි දෙන්නා සැලසුම් කළේ සිංහල ගමකට යන්න. එළියට යන්න හිතනකොටම මට පේනවා කොටි ආයෙ එනවා. මගෙ කඳුළුත් වේළිලා. උන් ඇවිත් මරා දාපු මගෙ සගයන්ගෙ මළ සිරුරුවලට පෙට්රල් වත් කළා. උන් ඒ මළ සිරුරු ගොඩට ගිනි තිබ්බා. කඳන් ගොඩකට ගිනි තියනවා වගේ. ගිනි තියලා යන්න ගියා.”

“දැන් පණ බේරාගන්නට නම් සිංහල ගමක් සොයා යා යුතුමයි. ඒක මහා අවදානමක්. මං අසීරුවෙන් නැඟිට්ටා. ගමගේ අයියා මාව වත්තම් කරගත්තා. තරමක් දුර කැලේ මැදින් ගියේ අසීරු ගමන මොහොතක් නැවතුණේ කැලේ මැද්දෙ තිබුණු හේනක් ළඟින්. එතන මනුස්සයෙක් උන්නා. එයාට සිංහල වචනයක් තේරෙන්නෙ නෑ. ඔහු එක්ක රැඳෙන එක අවදානම් වගේ තේරුණු නිසා ආයෙත් වේදනාව මැඬගෙන ගමන ආරම්භ කළා.”

“ටිකක් දුර යද්දි තවත් හේනක්. ඒ හේනත් දෙමළ ගොවි මහත්තයකුගෙ. ඔහු බඩගින්නේ හාමත් වෙලා සිටි අපට කිරි ටිකකට ලුණු දමා බොන්නට දුන්නා. අසල දෙළුම් ගසකින් ගෙඩි දෙකක් කඩාගෙන කෑවා. ඉලක්කය මාන්තොට්ටම් සිංහල ගම්මානය සොයා යෑම. වේදනාව දරාගෙන මරණය මඟහැරලා එදා රාත්‍රිය වන විට අපිට මාන්තොට්ටම් සිංහල ගමට ගියා. ගම්මානයේ රාත්‍රි නවතා තිබෙන බස් රථයෙන් අපි දෙදෙනා දමන පොලිසියට ආවා. පස්සේ දමන පොලිසියෙන් අපි දෙන්නව අම්පාර ඉස්පිරිතාලෙට අරන් ගියා.”

“ඒ වෙද්දි මඩකළපුව දිස්ත්‍රික්කයේ වෙල්ලාවලි, කල්කුඩා, කලවංචිකුඩි සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණ, අක්කරපත්තුව, පොතුවිල ආදී පොලිස් නිලධාරීන් කොටි විසින් ඝාතනය කරලා. එක් වැරදි තීන්දුවක් නිසා රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් 600 මරා දමා තිබුණා” ඒ ඔහු අපට කියන කතාව.

මේ ආකාරයෙන් දිවි ගලවා ගත් මනෝජ්ට 99 නොවැම්බර් මස 21 වැනි දින මැතිවරණයකදී කල්මුණ ප්‍රදේශයේ රාජකාරි කරන්නට සිදුවුණා. එවකට ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයාගෙන් බාධා ඇති විය. සිය රාජකාරිය රාජකාරියක් ලෙස කරන්න ගිය සැරයන් මනෝජ්ට සිද්ධ වුණේ මේ දේශපාලන උදහසට ලක්වෙලා ඒ මොහොතේම රාජකාරි ස්ථානයෙන් ඉවත් වෙන්න. එතැන් සිට සැරයන් මංජුල දේශපාලන පළිගැනීම් මාලාවකට ලක් වෙනවා. දිගින් දිගටම වසර ගණනක් අතාර්කික ස්ථාන මාරුවීම් ලබනවා.

කොටි කළ සමූල ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරු සැරයන් මනෝජ්. ඒ සාක්කිය නැති කිරීමට කොටින් උත්සාහ කරමින් සිටියා. මේ හේතුව නිසා ඔහු ඉඟිණියාගල පොලිසියෙන් නිල නිවාසයක් ඉල්ලා සිටියා. ඒත් එය ලැබුණෙ නෑ.

මේ පීඩා මැද සිටි මනෝජ්ට දින 15කට ආසන්න කාලයක් සේවයට වාර්තා කරන්න බැරි වුණා. ඒ නිසා 2003.05.11 වැනි දින ඔහුගේ සේවය අත්හිටෙව්වා.

“මම එදා ඉඳන් අද දක්වා වසර 13ක් මගේ දුක් ගැනවිල්ල කිව්වා. මම මගේ සේවා කාලයේ කිසිම වැරැද්දක් කළේ නැහැ. එදා සිට අද දක්වාම මගේ රැකියාව ලබා ගැනීම සඳහා වගකිවයුත්තන්ට දිගින් දිගටම දන්වා සිටියා. නමුත් මාගේ රැකියාව ලබාගන්න බැරි වුණා. මගේ කකුලට වෙඩි වැදිල තියෙන්නේ. රැකියාවක් කරන්න විදිහක් නැහැ. මම දැනට පදිංචි වෙලා ඉන්නේ කල්මුණේ කුලී ගේක. දරුවන්ට උගන්වන්න විදිහක් නැහැ.

ලොකු පුතාගේ පාසල් ගමන 10 පන්තියෙන් නතර වුණා. 600ක් මරන්න නියෝග කරපු කරුණලා අද සැප විඳිනවා. ඒ සාහසික මරණයෙන් බේරිච්ච අපි දුක් විඳිනවා. මම බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මගේ රැකියාව හිඟ වැටුප් සමඟින් ලබා දෙන්න. එහෙම නැත්නම් එදා කොටි මගේ මිතුරන් මරලා දාපු තැනදීම මගෙත් ඇස් දෙකත් බැඳලා වෙඩි තියලා මරලා දාන්න.” මනෝජ් අපට කියනවා.

මීට මාස කිහිපයකට ඉහතදී සිය සගයන් කොටින් විසින් ඝාතනය කළ තැන තම දරුවන් සහ බිරිය සමඟින් උපවාසයක් ආරම්භ කළා. පස්සේ පොලිසියේ මැදිහත්වීමෙන් මනෝජ්ගේ උපවාසය අවසන් වුණා 2017 එදා පොලිස්පතිතුමා මුණගස්වා සාධාරණයක් ඉටු කර දෙන පොරොන්දුව පිට. අන්තිමේදී මනෝජ්වයි පවුලේ අයයි පොලිසියේ ජීප් රථයක දමා කොළඹ රැගෙන ගියද කිසිම සහනයක් ලැබුණේ නැහැ. එදා පොලිස්පතිතුමා මුණගැසුණෙත් නැහැ.

පසුගිය සතියේ මෙම ස්ථානයේ මියගිය පොලිස් විරුවන් සිහි කරමින් අම්පාර පොලිසිය අසල ඉදිකර තිබෙන රණවිරු ස්මාරකය අසල මෙම මියගිය අය සිහි කරමින් ගුණ සමරු උත්සවයක්ද පැවැත්වුණා. ඒත් දිවි ගලවා ගත් මනෝජ් හිඟන්නෙක් වගේ මහ පාරෙ. ඒ මදිවට ඔහු මේ වනවිට රෝගියෙක්.

“එදා මං මැරුණා නම අද මගේ දරුවන්ටයි බිරියටයි වන්දියක්වත් තියෙනවා. මෙතන ගැටලුව මං නොමැරී ජීවත් වුණු එක. මං නැවත උපවාසයක් කරනවා. ඒක මරණයෙන් කෙළවර කරන මාරාන්තික උපවාසයක්. එක්කො මාව මැරෙන්න හරින්න. නැත්නම් එදා කොටි මගේ යහළුවන් මරලා දාපු රූපස්කුලම් කැලෑවට ගිහින් මරා දාන්න.” ඔහු රටට කියන කතාව කිසිවකුට ඇහෙන්නෙ නැත්තෙ ඇයි කියන දේ අපට තවම නොවැටහේ.

One Response to “රූපස්කුලම් කැලෑවෙදි කොටි පොලිසියේ 600ක් සමූල ඝාතනය කරද්දි දිවි බේරගත්තු සාජන් මනෝජ් මැරි මැරී ජීවත්වෙන හැටි”

  1. Randeniyage Says:

    Unbelievable how successive government politicians and oppositions neglected this man.
    ඔහු රටට කියන කතාව කිසිවකුට ඇහෙන්නෙ නැත්තෙ ඇයි කියන දේ අපට තවම නොවැටහේ.
    Even the BIG PATRIOTS of this website do not hear him.
    Come on ! get together to help him please.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress