මාව තෝරාගන්නේ නම් ජනාධිපතිවරණයට තරග කරන්න කිසිදු බාධාවක් මට නැහැ
Posted on June 17th, 2018

මහනුවර – ගයා ශ්‍රී කාරියවසම් උපුටාගැණීම  මව්බිම

විපක්ෂයෙන් ජනාධිපතිවරණට තරග කරන ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් අවශ්‍යතාවක් ඇති නම් ජනාධිපතිවරණයට පැමිණීමට තමාට කිසිදු බාධාවක්, ගැටලුවක් නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.

‘අද මේ රටේ පාතාල ක්‍රියාකාරකම් වැඩි වී රටේ ආර්ථිකයත් සංවර්ධනයත්, ජාතික ආරක්ෂාවත් යන සියලු අංශවල කඩාවැටීමක් පිරිහීමක් තිබෙන බව විවාදයක් නැතිව ජනතාව පිළිගන්නා දෙයක්. නමුත් ඒ සියල්ලටම හේතු වුණු යම් යම් කාරණා තිබෙනවා. එහි ප්‍රධානම හේතුව වන්නේ මේ ආණ්ඩුවේ පාලනයේ දුර්වලතායි. මේ ආණ්ඩුව විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගෙන් පළි ගන්නත්, පසුගිය ආණ්ඩුවේ සේවය කළ නිලධාරීන්ගෙන් පළි ගන්නත් කටයුතු කරනවා මිස වෙනත් දෙයක් ඒ අය කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියා පැමිණි රජය කවුද වැරැදිකාරයො, කාටද නඩු දාන්න ඕනෙ කියා සොයමින් ඉන්නවා. එය තීරණය කරන්නේ දේශපාලනඥයන් කිහිප දෙනකු එක්ව සංවිධානය කළ මණ්ඩලයක් මඟින්. අප පත්තරවල රූපවාහිනියේ දකිනවා අහවලා ළඟදීම අත්අඩංගුවට ගන්නවා කියලා ඒ අය කියනවා. අහවලා අත්අඩංගුවට ගන්නවා, අහවලා හිරේ දානවා කියලා කියනවා. එහෙම කියන්නේ දේශපාලනඥයන්. ඒ සඳහා මේ රටේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. නමුත් එහෙම කියන්නේ ඒ අයයි. අගමැතිවරයාගෙන් සමන්විත වූ මේ රටේ දේශපාලනඥයන් සහ මේ ආණ්ඩුව බලයට ගෙන එන්න ක්‍රියා කළ සමහර නීතිඥවරු අයත් මණ්ඩලයකින් මෙය සංවිධානය වී තිබෙන්නේ. ඒ අය කොහොමද තීරණය කරන්නේ මේ අය ඉදිරිපත් කරන්නේ මොන උසාවියටද කියලා.

කොහොමද මේ නඩුව අහන්න ඕනෙ කියලා ඒ අයට තීරණය කරන්න පුළුවන්ද. දැන් එවැනි වාතාවරණයක් මේ රටේ තියෙන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියලා, හොරු අල්ලනවා කියලා තමන්ගේ සහ දේශපාලනඥයන්ගේ විරුද්ධවාදීන් හිරේට දැමීම නොවෙයි දූෂණය නැති කරනවා කියන්නේ. දූෂණය නැති කරනවා කියන්නේ නියම හොරුන් අල්ලන එකයි. නමුත් අප මුදල් සොරකම් කර හරි හම්බ කරලා නැහැ. නමුත් දූෂණය කළා කියා මිනී මරපු අය පැත්තක ඉන්දෙද්දී ඒ කටයුතු නිසි ලෙස නිරීක්ෂණය නොකර අසරණයන් පිටුපස එළවනවා.

මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරන කාලය තුළ හමුදා නිලධාරීන්, බුද්ධි අංශ ප්‍රධානියා, රටේ යුද හමුදාවේ දෙවැනියා බවට පත් වූ පුද්ගලයාව අද හිර කරලා තිබෙනවා. දැන් ඒ අය කියන්නේ මගේ නම කීවොත් නිදහස් කරන්න පුළුවන් කියලා. ඉතින් මේකද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම කියන්නේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා කියන්නේ මේවා නොවෙයිනේ. නමුත් වාසනාවකට අපට හැකි වී තිබෙනවා අධිකරණයේ සාධාරණත්වය ලබා ගන්න. නමුත් ඊට පහළ තිබූ ආයතන සියල්ල දැන් දේශපාලනීකරණය කර අවසන්.

උතුරේ සංහිඳියාව ක්‍රියාදාමය ආරම්භ කළේ මම. මේ රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසානයේ රජයේ හමුදාවලට භාර වුණු ත්‍රස්තවාදීන් දහතුන් දහසකට අධික පිරිසක් අපි ජාත්‍යන්තරයෙන්ම ප්‍රසාදයට ලක්වන ආකාරයේ පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා. ඊට පසුව අප ඒ අය සමාජගත කළා. එහිදී අපි දැක්කා ඒ අයට ජීවත්විය හැකි රැකියාවක් ලබාදිය යුතුයි කියලා. ඒ අනුව අප ඒ අය සිවිල් ආරක්ෂක බළකායට බඳවා ගත්තා. ඒ සඳහා මුලින්ම ගිය නිලධාරියා වන්නේ කර්නල් රත්නප්‍රිය බන්දුයි. ඔහු කළ රාජකාරිය නිසි ලෙස ඉටු කළ නිසා ඒ නිලධාරියා ගැන පිළිගැනීමක් ප්‍රසාදයක් ඇති වුණා.

මේ ආකාරයෙන් තමයි අප සංහිඳියාව ඇති කරන්න කටයුතු කළේ. ජාත්‍යන්තර හෝ අවස්ථාවාදී දෙමළ දේශපාලනඥයන් සහ විරුද්ධවාදීන් මෙය අගේ කළේ නැහැ. මේ ආකාරයට තමයි අප එදා කටයුතු කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress