මහින්ද තව වසර කිහිපයක් රට පාලනය කළේ නම් දුප්පත්කම රටින් තුරන් කරන්න ඉඩ තිබුණා
Posted on June 18th, 2018

අවිස්සාවේල්ල – මුදලිගේ තිලකරත්න, කරවනැල්ල – හේමන්ත මාහින්කන්ද

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තව වසර කිහිපයක් එදා රට පාලනය කළේ නම් මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් කියන කොටස නිම කිරීමට හැකියාව තිබූ බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ දෙහිඕවිටදී පැවැසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.

සුනාමිය නිසා ලක්‍ෂ ගණනක් ජීවිත හා දේපොළ විනාශ වුණා. ඒ හරහා අසරණ වූ කූඩාරම්වල හිටපු ජනතාව බේරා ගැනීමට එදා අපේ ආණ්ඩුවට සිද්ධ වුණා.
ඒ විතරක් නෙවෙයි. ත්‍රස්තවාදීන් විසින් අල්ලාගත් ප්‍රදේශ නිදහස් කර ගනිමින් උතුර හා නැඟෙනහිර වසන්තය යටතේ රට සංවර්ධනය කළා.

ඒ විතරක් නෙවෙයි. අපි එදා භාර ගත්තේ ණය බර නිසා වස බොන ගොවීන් සිටි රටක්. මරණ බයෙන් පීඩිත වූ රටක් තමයි අපි භාර ගත්තේ. රණවිරුවන්ගේ කැප කීරීම මත ආගමික නායකයන්ගේ අනුශාසනා ඇතිව මේ රටේ ඒ සියලු දුක් ‍ෙදාම්නස් නැති කළා. මුළු රටම දිනෙව්වා. ජාතීන් අතර සමඟියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කළා. ඒ කාලයේ සියලු දිනවීම් අතරේ අපි පැරදවූයේ යුද්ධය පමණයි.

ඒ විතරක් නෙවෙයි ගෘහ ආර්ථිකය නඟාසිටුවමින්, කෘෂිකර්මාන්තය, ගෙවතු වගාව දියුණු කළා. බීජ ලබා දෙමින් ගෙවතු වගාවට නව ආරක් එක් කළා. ඒ තුළින් අපේ ගෘහණියන් ගෙදර ආහාරවේලට අවශ්‍ය එළවළු ටික වවා ගත්තා. අමතර ආදායමකුත් එකතු කර ගත්තා.

වර්තමානයේ දරු පවුල්වලට නින්ද යන්නේ නැහැ. හරිහමන් ආදායම් මාර්ග නැති නිසා. ගමේ මයියොක්කා ටික විකුණ ගන්න බැහැ. ඒවා පිටරට යවන කොට බද්දක් ගහනවා. මේ ආණ්ඩුව බදු ආදායම් සූරාකන රටක් බවට මේ වන විට පත්වෙලා. මට අල්ලස් නඩු නැහැ. ජනතාවට යමක් ලබා දුන්නා කියලා අද මට නඩු වැටී තියෙන්නේ. ඒකයි උසාවි ගාණේ යන්න වෙලා තියෙන්නේ.

දැනුම, ආර්ථිකය කේන්ද්‍රකර ගත් රටක් හදන්නයි මහින්ද එදා කටයුතු කළේ. නවීන ලෝකය සමඟ අපිටත් ඉහළට යන්න අවශ්‍ය කරන තාක්‍ෂණ ශිල්පී ඥානය ලබා දෙන්නයි එදා කටයුතු කළේ. මොකද අනාගත ලෝකය නිර්මාණය කරන්නේ දරු පරපුර වන නිසා ඔවුන් දක්‍ෂ විය යුතුයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress