ආණ්ඩුව හදන්නේ හාමුදුරුවන්ගේ සිවුර ගලවන්නද කියලා සැකයි-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
Posted on June 19th, 2018

මැදවච්චිය – ගයාන් උපුටාගැණීම  මව්බිම

මේ ආණ්ඩුව වයස අවුරුදු දහ අටට වැඩි හැමෝටම බදු ගහනවා. චෙක්පතක් මාරු කරන්නට ගියාම ගාණක් අඩු කරනවා. ඔබට නොදැනීම බදු අය කරනවා. මරණාධාර සමිතියෙනුත් පන්සලේ පින් කැටෙනුත් බදු ගන්න තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.

පසුගියදා (18දා) හොරොව්පතාන මුක්කුරෑව මුස්ලිම් පල්ලියේ පැවැති ජනහමුව අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

හාමුදුරුවන්ගේ සිවුරු ගලවන එක අප අනුමත කරන්නේ නැහැ කියලා නායක හාමුදුරුවන් ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය නිවැරැදියි. මේක ඉතිං ආණ්ඩුවේ වැඩක් නේ. සමහරවිට ආණ්ඩුව විසින්ම වෙනත් ආකාරයට ඥානසාර හාමුදුරුවන් යොදාගන්න යනවාද කියන සැකය මතු වෙනවා.

මේ ආණ්ඩුව අරගෙන මෙන්න මේ වැඩේ කළා කියලා පෙන්වන්න වැඩක් කරලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ හින්දා තමයි එයාලා හැමදාම විරුද්ධ පාක්ෂිකයාට නඩු පිට නඩු පවරලා අපිව හිර කරලා දේශපාලනය කරන්න තමයි මේ අයගේ අදහස. මොනවා කළත් ජනතාව ජනතාවගේ යුතුකම අප වෙනුවෙන් ඉටු කරනවා. ජනතාව හැමදාම රවටන්න බැහැ.

ජනතාවගේ ඕනෑ එපාකම් මේ ආණ්ඩුව ඉටු කරන්නේ නැහැ. සමහරු එක වේලයි කන්නේ. අතේ සල්ලිත් නැහැ. ව්‍යාපාරිකයන්ටත් සල්ලි නැහැ. ඉතින් ව්‍යාපාර කරන්නට බැහැ.

ව්‍යාපාර කඩා වැටිලා. රට තුළ ආර්ථිකය කඩා වැටිලා. ඩොලරය රුපියල් එකසිය හැටට නැඟලා. පිටරටින් ගේන හැම දේකම මිල වැඩි වෙලා. තෙල්වල මිල එකසිය ගාණට වැඩි කරලා හැත්තෑවට අඩු කළා. ඒකත් අලුත් ක්‍රියාවක්. වැඩියෙන් වැඩි කරලා ඊට පස්සේ බොරුවට තව ගාණක් අඩු කළාම තිබුණ ගාණට වඩා වැඩි වෙනවා. ධීවරයන්ට වේවා, ගොවියන්ට වේවා, ඔවුන්ට අද ඒ අයිතිය නැති වෙලා.

අද හැම තරුණයකුටම බදු ගහනවා. ඔවුන් මිලදී ගෙන තිබෙන ඔරලෝසුව, දුරකථනය දිහා බලලා මේවට ආදායම් බදු එකෙන් ලිපිය එවනවා. මේක තමයි අද අලුත්ම තත්ත්වය. ඔබට නොදැනීම ඔබෙන් බදු අය කරගන්නවා.

නිදහසේ පන්සල් හදන්න පල්ලි හදන්න ඉඩ තිබුණා. ඒ අයිතිය අද නැති කරන්න පාර්ලිමේන්තුවේ පනතක් ගෙනැල්ලා. පන්සල් හදන්න, පල්ලිය හදන්න කමිටුවෙන් අවසර ගන්න ඕනෑ. හැම ආගමකටම සිද්ධස්ථාන හැදීමේ අයිතිය ආණ්ඩුව අතට ගන්නවා.

මෙවැනි කටයුතු තුළින් ජනතා අයිතිය විනාශ කරන්නයි ආණ්ඩුව හදන්නේ. සංකර ජාතියක් ගොඩනඟන්නයි සූදානම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress