ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!
Posted on June 20th, 2018

නාමල් උඩලමත්ත-යුතුකම සංවාද කවය www.yuthukama.com

භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි.

ඒ නීති පද්ධතිය වසර සිය ගණනක් මෙරට භාවිත වුවද එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප අසමත් වී ඇත. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි ඒ නීතිය අපේ කර ගැනීමට අප අසමත් වී ඇත.

අපේ රටේ භික්ෂුවක් සිවිල් නීතියට අනුගත වරදක් කළ විට දඬුවම් ලබා දීමට එම නීතියට හැකි වීම ගැටලුවක් නොවුණ ද චීවරය ගලවා ජම්පරය ඇන්දවීමේ බලයක් එම නීතියට දිය යුතු නැත.

භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චීවරය ගලවා දැමීමේ බලය රටේ නායක භික්ෂූන් වහන්සේලාට පමණක් හිමි යුතුය. එය බන්ධනාගාර කොමසාරිස් කෙනෙකුට නොව ජනාධිපතිට පවා ලබා දීම බුද්ධ චීවරයට කරන නින්දාවකි.

දෙව්දත් හිමි අපාගත වූයේද සිවුර පිටින් බව බණ කතාවේ කියවෙයි. කුඩාපොළ හිමි වෙඩි කෑවේ සිවුර පිටිනි. සුද්දා වාරියපොළ සුමංගල හිමි සිරගත කළ ද සිවුර ගැලවූ බවක් නොකියවෙයි. සුද්දා සිවුර ගැලවුවද ඒ වරද වහා නිවැරදි විය යුතුය.

මන්ද එමගින් හෑල්ලුවට ලක් වන්නේ මේ රට දැය සමයෙහි මුර දේවතාවුන් වැනි ආර්ය මහා සංඝ රත්නය කළ මහා උදාර සේවයයි. අපේ බෞද්ධ උරුමයයි. බන්ධනාගාර කොමසාරිස් වැනි මහජන මුදලින් යැපෙන ගිහියකු අතින් ගැළවෙන්නේ හුදු සිවුරක් නොව මේ ශිෂ්ටාචාරයේ අභිමානයේ සළුවයි.

මේ මොහොතේ අප අභියස රඟ දැක්වෙන්නේ භයානක විගඩමක් බවට කිසි සැකයක් නැත. කළු ඩිපෙන්ඩරයක තරුණයකු පැහැර ගෙන ගොස් මරණ තර්ජනය කළ හිරුණිකාලා මැති ඇමතිකම් දරමින් සුවසේ වාසය කරන රටක හුදෙක් මරණ තර්ජනය කළේ යැයි ඥානසාර හිමි සිරගත කර ජම්පරය ඇන්ද වීම ඔස්සේ සතුරා අරමුණු කිහිපයක් සපුරා ගැනීමට කටයුතු කරන්නේ යැයි සිතිය හැකිය.

පළමුවැන්න මේ රටේ සතුරන් සතුටු කිරීමය. දෙවනුව මේ රටේ බුදු දහමට හිමි තැන අහිමි කොට නින්දා කිරීමය. තෙවනුව මේ ආණ්ඩුව රකින අන්තවාදී කල්ලි සතුටු කිරීමය. සිව්වනුව රට වෙනුවෙන් පෙරට එන භික්ෂුව නිහඬ කිරීමය. පස්වනුව සමාව ලබා දී වීරයන් වීමය. සය වනුව එහිමියන්ගේ ගිලිහි ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට මග පාදා තමන්ට අවශ්‍ය පරිදි බෞද්ධයන් රැවටීමට යොදා ගැනීමය.

දැන් නිර්මාණය වී අැති පසුබිම තුළ ඥානසාර හිමිට සිරගෙදර සිට පැමිණ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් හෝ රටේ සතුරු අපේක්ෂකයාට එරෙහිව වැටෙන බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් කඩා දැමිය හැකිය. නො එසේ නම් ඒ ජනාධිපතිවරණයට රනිල්ට හෝ රටේ සතුරාට එරෙහි අපේක්ෂකයාට සහාය දෙන බව පවසා ඔහුට වැටෙන සුළු ජාතික ඡන්ද විශේෂයෙන් මුස්ලිම් ඡන්ද කැඩිය හැකිය.

බොදුබල සේනාව බිහි කළ පාර්ශව පවසන පරිදිම එය දෙපැත්ත කැපෙන අසිපතකි. රටට හිතැති බලවේග ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයට පත් වනු අැත. එහෙයින් ජනතාව වෙනදාටත් වඩා පරිස්සමින් ඉවසීමෙන් මේ දෙස බලා සිටිය යුතුය. මේ නාටකට ඔස්සේ සිදු කරන සංස්කෘතික සංහාරයට එරෙහි විය යුතුය. නැතහොත් මේ අසිපත් පහරක් ලක් මවගේ ගෙලට එල්ල විය හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress