පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්.. ටෙන්ඩරය නෑයෙකුටයි.. ටෙන්ඩර් කමිටු ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වේ..
Posted on June 21st, 2018

රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්! ටෙන්ඩරය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකගේ නෑයෙකුට…

2018 මැයි විසි එක් වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිළිකා රෝගය සදහා වන ට්‍රස්ටුසුමැබ් (Trastuzumab) නැමැති එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවා තිබුණු අතර එකම එන්නත මිලදී ගැනීම සදහා ටෙන්ඩර් තුනක් කැදවා තිබුනි.ටෙන්ඩර්පත් තුනක් මගින් මෙම එන්නත මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ රුපියල් මිලියන100 ක් ඉක්මවන ටෙන්ඩරයක් සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු අතර ඒ සදහා වන ටෙන්ඩර් ප්‍රසම්පාදන කමිටුව පත් කරනු ලබන්නේද අමාත්‍ය මණ්ඩලය විසින් වන නිසාය. මේ අනුව පෙනී යන්නේ උක්ත ටෙන්ඩරය ටෙන්ඩර්ය ටෙන්ඩර් පත්‍ර තුනක් මගින් කැදවා තිබූම ද දූෂණයක් වන බවය.

කෙසේ වෙතත් 2006 මුදල් අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන මග පෙන්විමට අදාල අත්පොතට අනුව ටෙන්ඩර්පත් කැදවීම සදහා සහ එම ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සදහා ටෙන්ඩර්කරුවන්හට සාධාරණ කාලසීමාවක් ලබා දිය යුතු වුවද මෙම ටෙන්ඩරය සදහා ටෙන්ඩර් කැදවනු ලබන්නේ 2018 මැයි මස 21 වන දින වන අතර ටෙන්ඩර්පත් කැදවීමේ අවසාන දිනය වන්නේ 2018 මැයි මස 23 වන දිනය.

එකම එන්නතක් සදහා කැදවන ලද ටෙන්ඩර සදහා වන ටෙන්ඩර් අංක වනුයේ
LP/MSD/CPUDHS/RQ/016/18 එන්නත් 500 ක් සදහා
DHS/RP/199/2018 එන්නත් 470 ක් සදහා
DHS/RP/224/2018 එන්නත් 527 ක් සදහා

මෙම ටෙන්ඩර සදහා මිල ගණන් ඉදිරිපත් කරන ලද සමාගම් වන්නේ
01. Medimart Pharma 64,700.00
02. Slim Pharmaceuticals 93,950.00
03. Markss Healthcare 109,000.00
04. Pharmace (Pvt) Ltd. 135,900.00
05. Buar 190,000.00

පළමු අඩුම මිල ඉදිරිපත් කරන ලද සමාගම වන Medimart Pharma සමාගම මෙරටට ගෙන්වීමට නියමිත එන්නත සදහා ඇමරිකානු ආහාර හා ‌ෙඖෂධ සංගමය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO GMP) සහතික කරන ලද ‌ෙඖෂධයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ජාතික ‌ෙඖෂධ අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA) ලියාපදිංචි කර ඇත.

ටෙන්ඩරය පිරිනමන ලද Pharmace (Pvt) Ltd. සමාගම ගෙන්වීමට නියමිත එන්නත රුසියාවෙන් ආනයනය කිරීමට නියමිත අතර එම එන්නත පිළිබදව පිළිකා සංගමය පවා ප්‍රතික්ෂේප කරන ලද එන්නතක් බවට තහවුරු වී තිබේ.

මෙම පිළිකාව සදහා වන එන්නත සදහා වන ටෙන්ඩරය පිරිනමා ඇත්තේ හතරවන අඩුම මිල ගණන් ඉදිරිපත් කල සමාගමට එනම් එන්නතක් සදහා රුපියල් 135,900.00 ක් ඉදිරිපත් කර ඇති Pharmace (Pvt) Ltd. සමාගමට වීම පුදුමය දනවන කටයුත්තක් වුවද ඒ පිළිබදව රටේ ජනතාව පුදුම නොවිය යුත්තේ එම සමාගමේ හිමිකරු වන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපතම හිතවතෙකු ද වන රාජ්‍ය ‌ෙඖෂධ නීති ගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන මොහොමඩ් හසීම් මොහොමඩ් රූමි මහතාගේ මස්සිනාවන වන නිසාය.

රුපියල් 64,700.00 ගත හැකිව තිබූ එන්නත රුපියල් 135,900.00 ට මිලදී ගැනීම නිසා එක් එන්නතකින් රුපියල් 71200 ක පාඩුවක් රටට වී ඇති අතර මුලු ටෙන්ඩර් තුනෙන්ම රටට වන පාඩුව රුපියල් 108722400.00 කි.

මෙම ටෙන්ඩරය පිරිනැමූ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින්ගේ අදහස වන්නේ අඩුම මිල ඉදිරිපත් කල Medimart Pharma සමාගමට මෙම එන්නත ගෙන ඒම සදහා පළපුරුද්දක් නොමැති බවයි. එහෙත් අදාල සමාගම මීට පෙර ‌ෙඖෂධ මෙරටට ආනයනය කර තිබුනු බව අප වෙත අනාවරණය වූ අතර එම සමාගම පුද්ගලික අංශය සදහා මේ වන විට එම එන්නත අලෙවි කරමින් සිටී.තවද එම සමාගමට මෙරටට ‌ෙඖෂධ ආනයනය කිරීමට පළපුරුදක් නොමැති නම් අදාල එන්නත සදහා ජාතික ‌ෙඖෂධ අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA) ලියාපදිංචි කර ඇත්තේ කෙසේද? හා මෙරට පුද්ගලික අංශ සදහා උක්ත එන්නත අලෙවි කරන්නේ කෙසේද? යන්න ගැටලු සහගතය. තවද ටෙන්ඩරයේ කොන්දේසියක් ලෙස පෙර පළපුරැද්ද අනිවාර්යය බවට සදහනක් ද නැත.

මෙම ටෙන්ඩරය අඩු මිලක් ඉදිරිපත් කල සමාගමට ලබා නොදී වැඩි මිල ගණනක් ඉදිරිපත් කල සමාගමට ලබා දීම සදහා අනුමැතිය ලබා දුන් ටෙන්ඩර් කමිටුවේ සාමාජික වෛද්‍යවරයෙකු පසුව ඉල්ලා අස්වී ඇත.
.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress