බන්ධනාගාර පණත තිබෙන්නේ ව්‍යවස්ථාවට ඉහළින් ද?
Posted on June 21st, 2018

මතුගම සෙනෙවිරුවන්

සිර භාරයට නියම කරන ලද පුද්ගලයෙකු අරභයා කටයුතු කළ යුතු ආකාරය බන්ධනාගාර පණතේ සඳහන්ව තිබෙන බැවින් සිරගතව සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ද එම පණතේ විධිවිධාන අනුව සිරකරු ඇඳුම ඇඟලා ගත යුතු බව අධිකරණ ඇමති තලතා අතුකෝරළ මහත්මිය කෝට්ටේ සංඝ සභාවට දන්වා යවා ඇත. ඒ අතර නීතිඥ සංගමයේ සභාපති වරයාද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ දැනටමත් ස්වාමීන් වහන්සේලා  පහලොස් නමක් පමණ  සහ අන්‍යාගමික පූජකයන් කීප දෙනෙකුද බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් සියල්ලම සිරකරුවෙකුට නියම ඇඳුම ඇද සිටින බැවින් එය ප්‍රශ්ණයක් කර නොගත යුතු බවයි.

           ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය වෙන්ව තිබෙන්නේ බුද්ධ ශාසනය තිබෙන පිළි ගැනුම ප්‍රකාශ කිරීමටයි.බුද්ධ ශාසනය යන වචනය බුද්ධ ශාසන කොමිසන් වාර්තාවේ පැහැදිලිව නිර්වචනය කර ඇත.  එසේ නම් මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක සම්බන්ධව රජයට තිබෙන වගකීම ඉතා වැදගත් අවස්ථාවකි. ස්වාමීන් වහන්සේලා උපසම්පදාව ලබා එය ප්‍රකශයට පත් කරන අවස්ථාවලදී මෙන්ම මහනායක හිමියන්ට අක්ත පත්‍ර පිළිගන්වන අවස්ථාවන්හිදී ජනාධිපති අගමැති මෙන්ම ඇමතිවරුද ඊට පූර්ණ අනුග්‍රය දක්වමින් කටයුතු කරන්නේ ව්‍යවසථාව අනුව මෙන්ම පෙර සිරිත ද අනුගමනය කරමිනි.මේ පෙර සිරිත නම් කුමක්ද. එය පැහැදිලිවම අනුරාධපුරයේ රජ කළ ශ්‍රේෂ්ඨ පස් වන කසුප් රජු විසින් ජේතවනය අසල ගල් පුවරුවක කොටා ව්‍යවස්ථා ගන්වා තිබෙන ආඥාවකි. එම ව්‍යවස්ථා ලිපියේ 28 29 සහ 30 යන වගන්ති වල සඳහන් පරිදි සංඝාය වහන්සේලා යම් වරදක් කර ඇති විටකදී  සංඝ සභාව රැස් කොට ඒ නඩුව විචාරා ගත යුතුය.නොබැරි අවස්ථාවකදී පමණක් නිළදරුවන් ද මැදිහත්ව සංඝයා වහන්සේ සමග එම ප්‍රශ්ණය සමථයකට පත් කරගත යුතුය..බලහත්කාරයෙන් සංඝයා වහන්සේලා ගේ ස්ථාන වලට වැදීම ඉඩ කඩම් අත්පත් කිරීම ආදිය නොකළ යුතු බව එහි පැහැදිලිව දක්වා ඇත්තේය. මේ පෙර සිරිත ඉංග්‍රීසීන් සමග ගැසූ 1815 ගිවිසුමේ පස් වන වගන්තියට ද ඇතුලත්  කොට ඇත. එසේම ඒ අනුව යමින් 1972 ජනරජ ව්‍යවස්ථාවේ පටන් වර්තමාන ව්‍යවස්ථාවටද ඇතුලත් කර තිබේ.එය අද  රජය පිළිගන්නා මූලික නීතියක්  උත්තරීතර නීතියක් බවට පත්ව ඇත.

          මෙවැනි තත්ත්වයක් යටතේ බන්ධනාගාර පණත  හෝ රජය විසින් නිකුත් කරන ලද වෙන යම් හෝ පණතක් මගින් නිකුත් කරන ආඥාවකදී භික්ෂුන් අරභයා හෝ සඝ සන්තක දේ පිලිබඳව හෝ  තීරණ ගැනීමේ දී අනුගමනය කළ යුතු වන්නේ කෙසේද යන්න පූර්වා දර්ශ සපයා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය මගින් කියැවෙන දේ තවත් තැනකදී එනම් මූලික් අයිතිවාසිකම් නීති යටතේ පවතින ප්‍රතිපාදන වලින් යම් අන්දමකට හෑල්ලු කොට තිබුණද රජය හෝ මැති ඇමැතිවරු හෝ නිළධාරින් හෝ අනුගමනය කළ යුත්තේ මූලික නීතිය සහ පෙර සිරිතයි.එසේ නම් 1948 න් පසු පෙර සිරිතට අනුව රටට ගැලපෙන නීති පද්ධතියක් සකස් කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්ණය මතු වේ.

          නිදහසින් පසු සිංහල ජනතාව විසින් පත් කර ලැබූ නියෝජිතයන් රාශියක් මෙරට පාලනය කළහ. එමෙන්ම සිංහල උරුමය සහ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා සහ ගිහි නියෝජිතයන් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.රටේ මූලික නීතිය අනුව නීති සංග්‍රහ කිරීම රෙගුලාසි පැණවීමේ ප්‍රතිපත්තිමය තීරණ ගත හැක්කේ ඔවුන්ටය. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ප්‍රතිපාදනයන්ද 125 වන වගන්තිය ප්‍රකාරව හිමිව ඇත්තේය.1948 ට පෙර සිටම මෙරට වාසය කරන මුස්ලිම් සහ දෙමළ අය වෙනුවෙන් මේ මන්ත්‍රණ සභා නියෝජිතයන් විසින් නීති අණ පණත් සම්මත කළහ. 1806 දී ආරම්භ කළ මුස්ලිම් විවාහ හා දේපළ නීතිය මේ වන විට කාති උසාවි පිහිටුවීම දක්වා විකාශනය ව තිබෙන්නේ ඒ අනුවයි. එසේම වර්තමාන බැංකු කටයුතු වලදී මුස්ලිම් ශරියා නීතිය අනුව ඉස්ලාම් බැංකු කරණයක්ද ස්ථාපිත කර තිබේ. එහෙත් මෙම ජන වර්ග කෙරෙහි රටේ මූලික නීතියක් ස්ථාපිත වී නොමැත.ලංකාවේ වැඩි පිරිසක් නියෝජනය කරන සිංහල බෞද්ධයා ආවරණ කරමින් මූලික නීතියක් ව්‍යවස්ථා ගැන්වී තිබුණද මේ මැති ඇමතිවරු රෝම ලන්දේසි නීති පොතේ පෙර සිරිත බල ගන්වා ලීමට උත්සාහයක් ගෙන නොමැති බව කණගාටුවෙන් යුතුව කිව යුතුය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ දරණ ලද කතිකාවත් පණත මේ පෙර සිරිත අනුව සැකසූවක් නොවේ. සංඝ සංස්ථාව රෝම ලන්දේසි නීතියට යටත් කිරීම එහි මූලික අරමුණ විය. සංඝාධිකරණ පණත වුව සකස් විය යුත්තේ පෙර සිරිත ව්‍යවස්ථාව අනුව මිස වර්තමාන නීතියේ හර පද්ධතියට යටත්ව නොවේ.

        මෙවැනි තත්ත්වයක් යටතේ තලතා අතුකෝරළ මහත්මිය නගන තර්කය කුමක්දැයි නැවත විමසිය යුතුය. පූජ්‍ය ඥාණසාර හිමියන් හට  දණ්ඩ නීති සංග්‍රහයේ 346 සහ 486 වගන්ති වල දැක්වෙන සාපරාධී බිය ගැන්වීම  යන ප්‍රතිපාදන අනුව දඬුවම් දී තිබේ.මෙම දඬුවම ලබා දීමට බලවත් වුවමනාවක් රජය පැත්තෙන් තිබූ බව පැහැදිලිය.ඇපෑල අවස්ථාවේදී නීතිපති නිළධාරියෙකු නොපැමිණීමෙන් ඒ බව සනාථ වේ.  එතැනින් එහාට එම පාර්ශවය බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ ගේ සිවුරු ගලවා සංඝ සංස්ථාවට නිග්‍රහ කිරීමයි. එය දැන් සිදු වී ඇත. එය සාධාරණී කරණයට ඇමතිනිය උත්සාහ කරන්නේ සමස්ත එක්සත් ජාති පක්ෂයම එම මතයේ සිටින බැවිනි. එසේම සිංහල බෞදධයන් වෙනුවෙන් කිසිවක්ම නෙකරන නීතිඥ සංගමය සහ එහි ගරු සභාපති වරයා පූජකයන් සහ සංඝයා වහන්සේ සම කර තබයි. පූජ්‍ය පූජක පක්ෂය යනු දෙකක් බව මේ අය නොදනිති. මහණ උපසම්පදා ලද භික්ෂූන් වහන්සේ අරභයා සංඝයා වහන්සේ විසින් රැස්ව විචාරා විමසිය යුතු මෙන්ම නිවන් මාර්ගය උදෙසා තිබෙන පලිබෝධ අත්හැරීම පිලිබඳ අවවාද රාශියක් උන්වහන්සේලා අනුගමනය කරන බව  මේ අය නොදනිති. නැතහොත් ඒවා දැන ගැනීමට උනන්දුවක් නොදක්වති.නිවන් මාර්ගයට පිළිපන් භික්ෂුන් වහන්සේලා ගේ වැරදි නිවරදි කරනු ලබන්නේ ඒ සංස්ථාවේ විනය නීති වලට අනුකූලවයි. එය පුනරුත්ථාපනය කරලීමකි. හැකිතරම් නිවන් මගට පිළිපන් පුදගලයා ආරක්ෂා කිරිම එහි බලාපොරොත්තුවයි. එම නිසා නීතිය ඉදිරියට පමුණුවනු ලැබූ යම් භික්ෂූන් වහන්සේ නමකට දඬුවම් පැමිණ වීමට ප්‍රථම අදාල සංඝ සභාවට දැනුම් දීම උසාවියේ වගකීම විය යුතුය. බන්ධනාගාර ගත කළ යුත්තේද මහණ කම හළ යුත්තේ ද එම සංඝ සභාවේ තීරණයට අනුවයි. එය මේ රටේ ව්‍යවස්ථාවට මෙන්ම පෙර සිරිතටද හිස නැමීමක් වන්නේය.

      තලතා අතුකෝරළ ඇමති තුමියද නීතිඥ සංගමෙයේ සභාපති වරයාද මේ ප්‍රශ්ණය අරභාය ප්‍රකාශයක් කිරීමට ප්‍රථම බුද්ධ ශාසනයට අදාල කාරණා කාරණා ගැන මහාසංඝ රත්නය හමු වී අවවාද අනුශාසනා ලැබ ගත යුතු වන්නේ එහෙයිනි. එසේම සංඝ සංස්ථාව තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා නොකොට භික්ෂූන් වහන්සේලා දේශපාලන අතකොළු බවට පත් නොකර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම කරට ගත යුතුය. මෙය විපක්ෂයට ද හොඳ පණිවිඩයකි. රාමසාන් සමයේ පල්ලි වලට රිංගා ගෙරි මස් අනුභව කර භික්ෂූන් වහන්සේලාට අපහාස කරන අතැමුන් හටද හොඳ පණිවිඩයකි.

මතුගම සෙනෙවිරුවන්

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress