අති විශේෂ ගැසට් එකක් කොටි 14ට එන්න තහනම්
Posted on June 22nd, 2018

චාමර අමරසූරිය උපුටාගැණීම  මව්බිම

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායකයන් ඇතුළු එම සංවිධානයේ සාමාජිකත්වය දැරූ දැනට විදෙස් ගතව සිටින පුද්ගලයන් 14 දෙනකුට මෙරටට ඇතුළු වීම තහනම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අංක 2076/18 දරන එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියෝගවල 4 (7) වැනි නියෝගය අනුව නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුව මෙලෙස සංශෝධනය කර ඇති බවයි.

නඩරාජා සත්‍යසීලන් හෙවත් සීල්මාරන් (බුද්ධි අංශ නායක), කමලසිංහම් අරුණ කුලසිංහම් හෙවත් කමල් (එල්.ටී.ටී.ඊ. සාමාජික), ඇන්ටනී රාසා ඇන්ටනී කැලිස්ටර් හෙවත් පරදන් (බුද්ධි අංශ නායක), සිවසුබ්‍රමනියම් ජෙයගනේෂ් හෙවත් ගනේෂ් හෙවත් සාම්රාජ් (ජාත්‍යන්තර මුදල් අංශ නායක), පොන්න සාමිපාස්කරන් හෙවත් ජෙයකරන් (මුදල් එකතු කරන්නා), වෙලායුදන් ප්‍රදීප් කුමාර හෙවත් කලීබන් (ගුවන් අංශ සාමාජික), සිවරාසා සුරේන්ද්‍රන් හෙවත් වදාන් (එල්.ටී.ටී.ඊ. සාමාජික), සිවගුරුනාදන් මුරුගදාස් හෙවත් කදිරවන් (ගුවන් අංශ සාමාජික), තිරුනිලකන්දල් නගුලේෂ්වරන් හෙවත් පුෂ්පනාදන්, (ගුවන් අංශ සාමාජික), මහේෂ්වරන් රවිචන්ද්‍රන් හෙවත් මෙන්ඩිස් හෙවත් තිරුක්කුමාරන් (පියාසර උපදේශක), සුරේෂ් කුමාර් ප්‍රදීපන් (එල්.ටී.ටී.ඊ. සාමාජික), කන්දසාමි ක්‍රිෂ්ණමූර්ති හෙවත් මූර්ති (එල්.ටී.ටී.ඊ. සාමාජික), ජීවරත්නම් ජීවකුමාර් හෙවත් සිරන්ජීව් මාස්ටර් (බුද්ධි අංශ නායක), ටෝනිජිහාන්මුරුගේසපිල්ලෙයි (එල්.ටී.ටී.ඊ සාමාජික) යන තැනැත්තන් 14 දෙනාගේ නම් මෙරටට ඇතුළු වීම තහනම් කරන අයගේ නම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැළීම, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම යන කරුණු පෙරදැරි කර ගනිමින් එම ලැයිස්තුවට මොවුන්ගේ නම් මෙලෙස ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකදී ආරක්‍ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සඳහන් කළේ බුද්ධි අංශ සහ ආරක්‍ෂක අංශවලින් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම පුද්ගලයන් 14 දෙනාගේ නම් අදාළ ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් මෙලෙස ගැසට් කිරීමෙන් ඔවුන් පිළිබඳව විදෙස් රටවල් ආරක්‍ෂක අංශද අවදියෙන් සිටින බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.

මෙම පිරිසට එරෙහිව ඉදිරියේදී විදෙස් රටවලද සහාය ලබාගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය.
මෙම පුද්ගලයන් 14 දෙනා අතර සිටින ටෝනිජිහාන්මුරුගේසපිල්ලෙයි යන අයට 2009 සැප්තැම්බර් 04 වැනි දින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress