ඔඩ්ඩුසුඩාන්වලදී ඇල්ලූ LTTE කොඩි බෝම්බ ආවේ කොහෙන්ද? ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක්
Posted on June 22nd, 2018

මුලතිව්- ශෂිකුමාර් උපුටාගැණීම  මව්බිම

මුලතිව් _ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලිසිය කියයි.

ඔඩ්ඩුසුඩාන් පේරාරු මංසන්ධිය ප්‍රදේශයේදී මාන්කුලම් පොලිසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා (21දා) රාත්‍රියේ මුර සේවයේ යෙදී සිටියදී පැමිණි ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කොට ඇති අතර, පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය ලුහුබඳින අවස්ථාවේදී එහි සිටි එක් අයකු පලාගොස් ඇත.

ත්‍රිරෝද රථයේ රියැදුරු හා තවත් අයකු අත්අඩංගුවට ගැනීමට එහිදී රථවාහන පොලිස් නිලධාරීන් විසින් පියවර ගත් අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයේ සිට පැනගිය බවට සැක කෙරුණු පුද්ගලයා පෙරේදා (22දා) අත්අඩංගුවට ගෙන ඔඩ්ඩුසුඩාන් පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිත කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩි කිහිපයක්, ක්ලේමෝ බෝම්බයක්, අත්බෝම්බයක්, ඩෙටනේටර් තොගයක්, ටී. 56 පතරොම් ඇතුළු යුද උපකරණ තොගයක් තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිත කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යෑම පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානයකට යොමුව ඇත. ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව පෙරේදා (22දා) අලුයම සිට පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ආරක්ෂාව තර කොට ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress