ගෝඨාභය කියන්නේ උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නේ නැති ශීලාචාර වැදගත් මහත්තයෙක්
Posted on June 24th, 2018

උදයන්ති මුණසිංහ  උපුටාගැණීම  මව්බිම

මවුබිමට ණය නැති පුරවැසියා ලෙස ඉතිහාසයේ මැකිය නොහැකි ආකාරයකට නම සටහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස සිදුකිරීමට කරනු ලබන සියලු උත්සාහයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම අවධාරණය කරයි.

වෙඬරුවේ උපාලි මහ නායක හිමියන්ගේ ප්‍රකාශය විකෘති කරමින් ආණ්ඩුවේ කුලීකරුවන් ද්වේෂසහගත ප්‍රකාශ සිදුකරන බවත් එම හිමියන්ගේ ප්‍රකාශයට වැඩිපුරම කලබල වී ඇත්තේ බෞද්ධ මහෝපාසකවරයෙක් බවත් ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (24දා) පුංචි බොරැල්ල පිහිටි වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි මහ නායක හාමුදුරුවන්ගේ ප්‍රකාශය විකෘති කරමින් ආණ්ඩුවේ මාධ්‍ය සහ ආණ්ඩුවේ කුලීකරුවන් ද්වේෂසහගත ප්‍රචාරයක් මේ වෙනකොට දියත් කරලා තියෙනවා.

අපි කියනවා කරුණාකරලා මේ මහ නායක හිමියන්ගේ කතාවට සාවධානව ඇහුම්කන් දෙන්න කියලා. උන්වහන්සේ අවධාරණය කළේ මේ රටේ පවතින අර්බුදයෙන් ගොඩගැනීමට නම් දැහැමි පාලකයෙක් අවශ්‍ය බව. ඒ වගේම වැනෙන්නේ නැති පාලකයෙක් අවශ්‍යයි කියලා උන්වහන්සේ කිව්වා.

මේ ප්‍රකාශයට වැඩියෙන්ම කලබල වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිමය බෙල්ලෙන් එල්ලගෙන අල්ලගෙන හිටපු අපේ බෞද්ධ මහෝපාසක මංගල පින්සිරි සමරවීර.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව මේ රටේ කවුරුත් දන්නවා. අපේ ජීවිත කාලය තුළ අපිට මුණගැහුණු හිට්ලර් පන්නයේ නායකයා තමයි වේලුපිල්ලේ ප්‍රභාකරන්. ඒ ත්‍රස්තවාදියාට දඬුවම් දීලා මේ සාමකාමී පරිසරය මේ රටට ස්ථාපිත කරන්න මුල්වුණු, නායකත්වය දීපු දෙන්නගෙන් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දෙවැනි වෙන නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා.

එදා මංගල සමරවීර ඇතුළු ඇතැම් දේශපාලනඥයන් යුද්ධය අවස්ථාවේදී ඇහැව්වා ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම්කම දෙන්න තියෙන සුදුසුකම මොකක්ද කියලා. කැලිෆෝනියාවේ පෙට්රල් ෂෙඩ් එකක පෙට්රල් ගගහ හිටපු මිනිහෙක්ට ආරක්ෂක ලේකම්කම කරන්න තියෙන සුදුසුකම මොකක්ද කියලා ඇහුවා.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඉතාම වැදගත් මහත්මයෙක්. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති, ඉතාම වැදගත් පවුල් ජීවිතයක් ගත කරන ශීලාචාර මහත්මයෙක්. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ මැකිය නොහැකි ආකාරයටම නම සටහන් කරපු මේ මවුබිමට ණය නැති පුරවැසියෙක්.

ඒ වගේම තමයි මීට දින කිහිපයකට කලින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී හමුවුණු එල්.ටී.ටී.ඊ.යට අයිති බවට සැකකෙරෙන බඩු ගෝඨාභයගේ වැඩක් කියලා නොපැවැසීම ගැන අපි රාජිත සේනාරත්නට ස්තුති කරනවා. ඒ වගේම අපේ කෘෂිකර්ම ඇමැති අපූරු ඉල්ලීමක් කළා ජනතාවගෙන්. හාල්, එළවළු ගණන් වැඩි නම් මඤ්‍ෙඤාක්කයි, වට්ටක්කයි කන්න කියලා. අපි එතුමාට ස්තුති කරනවා එතුමා තණකොළ ආහාරයට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා නොසිටීම ගැන.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ භෝජනාගාරයේ ලබන සතියේ ඉඳලා හැමදාම වට්ටක්කා සහ මඤ්‍ෙඤාක්කා ආහාරයට සකස් කරයි.

අදට හරියටම පළාත් සභා 3ක් විසුරුවා හැරලා මාස 9ක් වෙලා. මේ රටේ වගකිව යුත්තෙක් කවුරුත් දන්නේ නැහැ, මේ මැතිවරණය තියෙන්නේ කවද්ද කියලා.

මැතිවරණ තියනවා වෙනුවට පාතාලය නැඟිට්ටන මෙහෙයුමක ආණ්ඩුව ඉන්නේ. ආර්. ප්‍රේමදාස යුගයේදී වගේ පාතාලය සුරතල් කරන්න මේ ආණ්ඩුව පටන් අරගෙන තියෙනවා. අපේ කාලයේ ලංකාවෙන් චුත කරපු පාතාලය නැවත නැඟී සිටලා. ආණ්ඩුව සෘජුවම පාතාලයේ අනුග්‍රහය ලබාගන්නවා.

තැපැල් වර්ජනයට දින 14ක් ඉවරයි. ලක්ෂ 20ක් ලිපි ගොඩ ගැහිලා. නඩු කටයුතු ඇන හිටලා. දිවුරුම් පෙත්සමක් ගන්න බැහැ. විභාග ඇඩ්මිෂන් එවන්න බැහැ. 2014 අය වැය යෝජනාවලදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පොරොන්දු වුණා තැපැල් දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සේවා ව්‍යවස්ථාව අපි ගේනවා කියලා. මේ සේවකයෝ ඉල්ලන්නේ ඒක. දෙන්න බැරි දෙයක් නෙවෙයි මේ සේවකයෝ ඉල්ලන්නේ.

ඒ වගේම ආණ්ඩුව මාර්තු මාසයේදී රැකියා විරහිත උපාධිධාරීන් පනස්පන්දහසකට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවා. විසිදාහකට රැකියා දෙනවා කිව්වා. හැබැයි පසුගිය සතියේ ඒ සම්මුඛ පරීක්ෂණ සියල්ල අවලංගු කළා. දැන් නැවත ඒ අයටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්මුඛ පරීක්ෂණ කැඳවනවා. එජාපයේ දේශපාලනඥයෝ සූදානම් කරගත්ත ලැයිස්තුවලට තමයි ඒ පත්වීම් 5000ක් දෙන්න ගියේ. ජනාධිපති තමයි ඒක නැවැත්තුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

රජයට පාලනය කරගත නොහැකි විදියට රුපියල මස්තබාල්දු වෙමින් පවතිනවා.

2005 වසරේ ඉඳලා 2014 වසර දක්වා මහින්ද රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහිලා තියෙන්නේ 2%කින්. නමුත් මේ අවුරුදු තුනහමාරට රුපියල අවප්‍රමාණය වීමේ වාර්ෂික සාමාන්‍ය 5.6%යි.

ඒ නිසා සියලු කර්මාන්ත, ව්‍යාපාර, කෘෂිකර්මාන්ත හා ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. නිෂ්පාදන වියදම් ඉහළ යනවා. නිෂ්පාදන අලෙවි කරගන්න බැහැ. ජීවන වියදමේ ප්‍රශ්නය දිනපතා

උග්‍ර වෙනවා. ආණ්ඩුව සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළොත් ඩොලරය නතර වෙන්නේ රුපියල් දෙසීයට ගිහිල්ලා.

පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් “යටගිය දවස ව්‍යවසායක පාරාදීසය හෙට දවස වෙනුවෙන් යළි මතුකෙරේ” කියලා ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන කියලා දැවැන්ත ප්‍රචාරකවාදී වැඩසටහනක් ආරම්භ කළා.

අපි ආණ්ඩුවට කියනවා අලුතින් මේ වෙලාවේ කවුරුවත් ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කරන්නේ නැහැ. පොලිය නැතුව ණය දුන්නත් ඉදිරිපත් වෙන්නේ නැහැ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන ලංකා රජයේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද කියලා අබමල් රේණුවකවත් අවබෝධයක් තියෙන කෙනෙක්ට තවදුරටත් දේශීය කර්මාන්තයක් ආරම්භ කරන්න හිතෙන්නේ නැහැ. ඒකට හේතුව රජයේ නව වෙළෙඳ ප්‍රතිපත්තියේ සිංහල, දෙමළ, ඉංගී්‍රසි මාධ්‍යවලින් ඉතා පැහැදිලිව මුද්‍රණය කරලා පාර්ලිමේන්තුවලට ඉදිරිපත් කරලා තියෙනවා. සීමාවන් නැතිව වක්කඩ කැඩුවා වගේ රට තුළට භාණ්ඩ ගලා ඒමට සලස්වන වෙළෙඳ ප්‍රතිපත්තියක් තමයි අපි අනුගමනය කරන්නේ කියලා මුද්‍රණය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.

පළමුව කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය කරන්න නම් රජය වහාම අද දවසේ ණය වාරික සහ පොලිය ගෙවා ගන්න බැරුව ඉන්න කර්මාන්තකරුවන්ට පුවත්පත් දැන්වීම්වලට දාපු සහනය ඒ විදියට ලබාදෙන එක කරන්න ඕනි.

උදයන්ති මුණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress