කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් රාළහාමි ඇදවැටෙද්දි නැඟී සිටි මනුස්‌සකම ඔහුය
Posted on July 1st, 2018

රුවන් ජයවර්ධන උපුටා ගැන්ම දිවයින

 ඉකුත් සතිය විරුවන් දෙදෙනකු පිළිබඳ මුළු රටම කතාබහ කළ සතියක්‌ විය. ඉන් එක්‌ විරුවෙක්‌ වූවේ තම ජීවිතය නොතකා කොල්ලකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට යැමේදී එම කොල්ලකරුවන්ගේ වෙඩි පරහට ලක්‌ව මියගිය පොලිස්‌ කොස්‌තාපල්වරයා ය. මාතර නගර මධ්‍යයේ පිහිටි ස්‌වර්ණාභරණ සලක්‌ කොල්ල කෑමට පැමිණි සැකකරුවන් පිරිසක්‌ ලුහුබැඳ යැමේදී වෙඩි පහරකට ලක්‌ව මිය යන එම පොලිස්‌ කොස්‌තාපල්වරයාට අමතරව එම සිදුවීමේදී තවත් විරුවෙක්‌ රට හමුවේ හෙළිදරව් වන අතර ඔහු වීරත්වයට පත්වන්නේ තම දිවි නොතකමින් වෙනත් ජීවිතයක්‌ බේරා ගැනීම පිණිස කළ අභීත කැප කිරීම හේතුවෙන් ය. මාතර නගරයම ගල් ගැසී බලා සිටියදී නොබියව පෙරට යන ඔහු වෙඩි වැදී සිටි පොලිස්‌ නිලධාරියෙක්‌ බේරා ගැනීම පිණිස යුද පිටියකට බට සෙනෙවියකු සේ පෙරමුණ ගනු ලබන්නේ මනුෂ්‍යත්වයේ උත්කෘෂ්ටත්වය රටක්‌ හමුවේ ප්‍රදර්ශනය කරමින්ය.

mainnew500

* ඒ වෙලාවෙ මාතර ටවුන් එක යුද පිටියක්‌ වගේ වෙඩි පත්තු වෙනව

 ඔහු නමින් එච්. ජී. ගයාන් චානකය. 34 හැවිරිදි ගයාන් චානක වසර 10 ක්‌ පුරා ඉතාලියේ රැකියාවක නිරත වන අතර චානකට මෙම සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ කෙටි නිවාඩුවක්‌ පිණිස මවුබිමට පැමිණි අවස්‌ථාවකය. මෙතෙර පමණක්‌ නොව එතෙර පවා අන් අයගේ විපතේදී ඒ සඳහා නොබියව ඉදිරිපත්වී ඇති ගයාන් චානක ඉකුත් 22 දා මාතර සිදුවීමට අනුව අපේ කාලයේ වීරයෙකි. එම සිදුවීමට අදාළ තොරතුරු දැන ගැනීම පිණිස ඉකුත් දිනක ගයාන් චානක හා කතා බහක යෙදීමේ අවස්‌ථාවක්‌ උදාවූ අතර එය ත්‍රාසජනක චිත්‍රපට පිටපතක සඳහන් කතාවක්‌ බඳු විය.
 
 “එදා.. මම හිටියෙ අහංගම පිහිටි මගෙ අක්‌කගෙ ගෙදර. මගේ අම්මගෙ මහගෙවල් තියෙන්නෙත් අහංගම. මම උදේ අක්‌කලගෙ ගෙදරින් පිටත්වෙලා මාතරට යන්නෙ දානෙකට බඩු වගයක්‌ ගන්න. ඒ ගිය ගමන් උදයේම මාතර රෝහලට ගිහින් අසනීපව ඉන්න මගේ යාළුවකුගේ සුවදුක්‌ බලල නැවත මාතර නගරයට ඇවිත් ඉන්න වෙලාවක තමයි මේ සිද්ධිය වෙන්නේ….”
 
 ගයාන් චානක තමන් මුහුණ දුන් අනපේක්‍ෂිත සිදුවීම මෙනෙහි කරමින් කතාවට මුල පිරූ අතර එතැන් සිට තමන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම සහ එහිදී ඔහු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ කිසිවක්‌ නොසඟවා කරුණු පවසන්නට විය.
 
 “මම එදා මාතර යන්නෙ මගේම වෑන් එකෙන්. වාහනේ පාර අයිනෙ නතර කරල කඩේකට ගිහින් බඩු වගයක්‌ අරන් නැවත වෑන් එක ළඟට එද්දී තමයි පොලිසියයි කොල්ලකරුවෝ අතරයි ගැටුම ඇතිවෙන්නේ… මිනිස්‌සු කෑ කෝ ගහගෙන එහෙ මෙහෙ දුවනව. ඒත් එක්‌කම වගේ පොලිස්‌ නිලධාරීන් පිරිසකුත් තුවක්‌කු අරන් ඒ ස්‌ථානයට එනව. මොකක්‌ද වෙන්නේ කියල එක පාරටම හිතාගන්න බැරිවෙනව. ඒ එක්‌කම වගේ තමයි වෙඩි හඬවල් කීපයක්‌ ඇහෙන්න ගන්නේ. මම ඒ දිහා බලාගෙන ඉන්න අතරේ මගේ ළඟින් ගිය පොලිස්‌ නිලධාරියෙක්‌ “පාත්වෙන්න….. පාත්වෙන්න..” කියල මට කියාගෙන ඉස්‌සරහට ගියා. එහෙම කියලා විනාඩි දෙකක්‌ ගියේ නෑ… එයාට වෙඩි වැදුණා. පේව්මන්ට්‌ එකේ එහා පැත්තෙ පොලිස්‌ නිලධාරීන් පිරිසකුයි කොල්ලකරුවොයි ගහගන්නව. ඒ වෙලාවෙ මාතර ටවුන් එක යුද පිටියක්‌ වගෙයි වෙඩි පත්තු වෙනව.
 
 “වෙඩි වැදිල වැටුණ පොලිස්‌ නිලධාරියා අතක්‌ උස්‌සල මොකක්‌ද කිව්ව. මට තවත් බලා ඉන්න බෑ වෑන් එකට මුවාවෙලා හිටපු මම දුවල ගිහින් ඒ පොලිස්‌ නිලධාරියාව අත් දෙකෙන් උස්‌සගත්තා. ඒ වෙද්දි පාරේ කිසි කෙනෙක්‌ නෑ. මම එයාව උස්‌සගෙන වෑන් එක ළඟට ආවා. ඒ ඇවිත් කෑගහල කිව්ව “කවුරු හරි ඇවිත් වෑන් එකේ දොර ඇරල දෙන්න” කියල කිසි කෙනෙක්‌ ආවේ නෑ. ඒ පාර ආපහු මම පොලිස්‌ නිලධාරියාව බිමින් තියල තමයි වෑන් එකේ දොර ඇරගත්තෙ. ඒ වෙලාවෙ කඩවල් ඇතුළට වෙලා දොරවල් වහගෙන තමයි හුඟ දෙනෙක්‌ හිටියෙ. මට කිසි බියක්‌ දැනුණෙ නෑ. මට ඕන වුණේ වෙඩි වැදුණ කෙනාව රෝහලට ගෙනියන්න. කොහොම හරි මම වෑන් එකේ දොර ඇරල පොලිස්‌ නිලධාරියාව වාහනයේ දාගන්න හදද්දී කවුද කෙනෙක්‌ ඇවිත් මට උදව් කළා..”
 
 “මම වෙඩි වැදුණ පොලිස්‌ නිලධාරියව උස්‌සගෙන වෑන් එකට ගේද්දී මම දැක්‌ක ඊට ටිකක්‌ එහාට වෙන්න තවත් පුද්ගලයෙක්‌ වෙඩි වැදිල වැටිල හිටිය. එතැනම තව ත්‍රීවීල් එකක්‌ තිබුණා. ඒකට මුවාවෙලා කවුද පුද්ගලයෙක්‌ ඉන්නව දැකල මම කෑ ගහල කිව්ව අර වෙඩි වැදිල ඉන්න කෙනාව ත්‍රීවීල් එකට දාගෙන හොස්‌පිටල් එකට ගේන්න කියල. නමුත් එහෙම වුණේ නැහැ. පස්‌සේ තමයි ආරංචි වුණේ වෙඩි වැදිල වැටිල ඉඳල තියෙන්නේ ඒ සිද්ධියෙන් මියගිය පොලිස්‌ කොස්‌තාපල්වරයා කියලා. ඇත්තටම තව කවුරු හරි එක්‌කෙනෙක්‌ ඒ වෙලාවෙ මගෙ උදව්වට හිටිය නම් වෙඩි වැදිල හිටිය ඒ පොලිස්‌ නිලධාරියාවත් රෝහලට ගෙනියන්න තිබුණා. ඇත්තටම මට ඒක කරගන්න බැරිවීම පිළිබඳ මම අද පසුතැවෙනව. මට හැම තිස්‌සෙම ඒ සිද්ධිය මතක්‌ වෙනව. කොහොම හරි මම රෝහලට ඇවිත් විනාඩි දහයක්‌ පහළොවක්‌ ගියාට පස්‌සෙ තමයි ඒ සිද්ධියෙන් මියගිය පොලිස්‌ නිලධාරියාව මාතර රෝහලට ගේන්නෙ.
 
 ගයාන් චානකගේ ඉදිරිපත්වීම නොවන්නට මාතර සිද්ධියෙන් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු රටට අහිමි වන්නට ඉඩකඩ තිබී ඇත. ඔහු විසින් රෝහලට රැගෙන ආ පොලිස්‌ නිලධාරියා හට තවදුරටත් ජීවත්වීමට වරම් හිමිව ඇත්තේ ගයාන් චානක ගත් එඩිතර තීරණය හේතුවෙන්ය. වෙඩි පුපුරමින් පැවැති වටාපිටාවක එවැනි ඉදිරිපත් වීමක්‌ සඳහා ඔහු පෙළැඹුණේ කෙසේද? යන්න පිළිබඳ අප විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් නැවතත් ගයාන් විසින් සිය කටහඬ අවදි කරන්නට විය.
 
 “මගේ අම්මා මෙහෙණින් වහන්සේ නමක්‌. අම්මා මියගෙයේ බස්‌ රථයකට යටවෙලා. අහංගම බස්‌ නැවතුම්පළේ සිද්ධ වෙච්ච ඒ අනතුර වෙලාවෙ මගේ අම්මව රෝහලට ගෙනියන්න කවුරුවත් ඉදිරිපත් වෙලා නෑ. බස්‌ එකට යටවෙලා පැයකට විතර පස්‌සෙ තමයි අම්මව රෝහලට ගෙනිහින් තියෙන්නේ. අම්මගෙ උපන් ගම අහංගම වෙලත් ඒ සඳහා කවුරුත් ඉදිරිපත් නොවීම හින්ද අම්ම අකලට මිය පරලොව යනව. වාහනේ ලේ ගෑවෙයි කියල පොලිසියට කට උත්තර දෙන්න වෙයි කියල හුඟ දෙනෙක්‌ ඒ වගේ දේවල්වලින් ඈත්වෙලා ඉන්න තත්ත්වයක්‌ තමයි මේ වෙද්දි අපේ රටේ තියෙන්නෙ. එදා අපේ අම්ම බස්‌ එකට යට වුණ වෙලාවෙ කවුරු හරි උදව් කළා නම් අදත් අම්මට ජීවත් වෙන්න තිබුණා.”
 
 “මම එදා මාතරදී කළේ මගෙන් වෙන්න ඕන යුතුකමක්‌. සමහර වෙලාවට එදා වෙඩි වැදිල වැටිල හිටියෙ ස්‌වර්ණාභරණහල කොල්ල කන්න ආපු කණ්‌ඩායමේ කෙනෙක්‌ නම් මම ඒ පුද්ගලයා හොරෙක්‌ අපරාධකාරයෙක්‌ කියල බලන්නෙ නෑ. රෝහලට ගෙනියනවා. කාගෙ හරි ජීවිතයක්‌ බේරගන්න පුළුවන්නම් අපි ඒ දේ කරන්න ඕන. නැත්නම් මේ මිනිස්‌ ජීවිතයෙන් වැඩක්‌ නැහැ.”
 
 එම සිදුවීමෙන් අනතුරුව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ගයාන් චානකව අගැයුමට ලක්‌ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගයාන්ට ඇත්තේ වෙනත් මතයක්‌ ය.
 
 මට එන්න කියල පණිවුඩයක්‌ ලැබුණ මම මුලින්ම ඒකට අකැමැති වුණා. නමුත් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කාර්යාලයේ පවත්වපු ඒ උත්සවයට මම ගියා. මට එතැනදී ඕන වුණේ එක දෙයයි. ඒ තමයි කෙනෙක්‌ අසරණ වුණහම ඒ අයට පිහිට වෙන්න ඕන කියන පණිවුඩය රටට දීම.
 
 අද අපේ රටේ ඒ දේ හරියට සිද්ධ වෙන්නේ නෑ. ඒ හේතුවෙන් කී දෙනෙක්‌ අවුරුද්දකට අපරාදෙ මිය යනවද? මගේ අම්ම මියගියේ ඒ වරදින් නෙවෙයිද මේ සිද්ධියෙන් පස්‌සෙ මට රෑට නින්ද යන්නෙ නෑ. මොකද අර මියගිය පොලිස්‌ නිලධාරියගෙ ජීවිතේ බේරල දෙන්න මට බැරි වුණානෙ. කියල මට නිතරම මතක්‌ වෙනව. එහෙම වුණා නම් නැවත වතාවක්‌ හෙට අනිද්ද ඉතාලියට යන්න ඉන්න මට ඒ ගමන සතුටින් යන්න තිබුණ. ඒ පිනත් මගේ අම්මට දෙන්න තිබුණා…”
 
 අපගේ කතා බහ හමාර කරමින් ගයාන් චානක අවසන් වරට ප්‍රකාශ කර සිටියේ එවැන්නක්‌ය. ගයාන් චාමර තම ජීවිත ආශාව පවා පසෙක තබමින් තවත් ජීවිතයක්‌ බේරා ගැනීම පිණිස ඉදිරිපත්ව ඇත්තේ ඔහු සතුව පවතින මනුස්‌සකමේ දිග පළල ගැන සිතන්නට යමක්‌ අපට ඉතිරි කරමින් ය. ඔහුගේ ඉදිරිපත් වීම වඩාත් ඇගයුමට ලක්‌ විය යුතු තවත් කාරණාවක්‌ ඇත. එය නම් මේ මොහොත යනු මානව සාරධර්ම වේගයෙන් විනාශයට පත් වෙමින් තිබෙන අවධියක්‌ය. ගයාන් චානක වැනි දුර්ලභ චරිත සමාජය තුළින් ඉස්‌මතු වෙන්නේ එවැනි සමාජ පසුබිමක්‌ තුළය. මේ ගතවෙමින් පවතින්නේ මවුබිම විසින් ගයාන් චානක වැනි දූ පුතුන් වැඩි වැඩියෙන් ඉල්ලා සිටින අවධියකි. එහෙත්.. ගයාන් චානකද නුදුරු දිනක නැවතත් විදේශ ගත වීමට නියමිතය. යුතුකමක්‌ ලෙස රටම ඔහුට සුබ පැතිය යුතුය. ගයාන් චානක….. ඔබට සුබ ගමන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress