ඇමෙරිකාවේ පෙන්වූ චිත්‍රපටියේ තිර රචනය ලංකාවෙන්ද?
Posted on July 3rd, 2018

ආචාර්ය නාලක ගොඩහේවා

පසුගිය ජුනි මස 25දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ‘චීනය ලංකාවෙන් වරායක් උදුරාගත් හැටි යන නමින් පළවූ ලිපියක් ලංකාව තුළ වර්තමානයේ මහත් ආන්දෝලනයකට ලක්වී ඇත. එම ලිපිය මඟින් පසුගිය ආණ්ඩුවට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර හිටපු ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීරණ, ජනාධිපතිවරණයට ලැබුණා යැයි කියන ආධාර මුදල් වැනි අංශ කීපයකටම ලිපිය මඟින් අවධානය යොමු කොට තිබිණි. බැඳුම්කර මගඩියට අදාළ චෝදනාවලින් ගුටි කා හෙම්බත් වී සිටි රජයේ දේශපාලනඥයන්ට මෙම ලිපිය ඉඩෝර කලක ලැබුණු මහ වැස්සක් මෙන් වූ අතර මේ ලිපිය පදනම් කරගෙන ලහි ලහියේ මාධ්‍ය සාකච්ඡාවක් කරන්නට ගිය එක්තරා පුරවැසි සංවිධානයක පිරිසක් මාධ්‍යවේදීන් සමඟ ගැටීමක් ඇති කරගන්නා ආකාරය පවා ජනතාවට විද්‍යුත් මාධ්‍ය හරහා දකින්නට ලැබිණි.

මේ වාර්තාව ලියා තිබුණේ දැනට නවදිල්ලියේ සිට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලිපි සපයන ඉන්දීය සම්භවයක් ඇති වාර්තාකාරිනියක විසිනි. වාර්තාවට කරුණු එකතු කිරීම සඳහා ඇය කාගේ හෝ වියදමින් ලංකාවට පැමිණ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් හිතවතුන් කිහිපදෙනකුම සමඟ සාකච්ඡා කර තිබුණද ඇගේ වාර්තාවේ ඇය විසින් තොරතුරු සැපයූවන් ලෙස නම් කොට තිබුණේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම පමණි. විපක්ෂයට සම්බන්ධ අය ලබාදුන් තොරතුරු නොසලකා හැරීමට ඇය කටයුතු කිරීම තුළ ලිපිය ලිවීමේදී ඇය පක්ෂග්‍රාහී ආකල්පයකින් කටයුතු කළ බවට සැක මතුවේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා යැයි නිතර චෝදනා කරන මාධ්‍ය ආයතන අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතද ඉහළින්ම සිටී.
හම්බන්තොට වරාය ගැන ලියා තිබුණු මෙම ලිපියේ ඇති සමහර කරුණු වැරැදි බව සාමාන්‍ය ජනතාවට පවා වැටහෙන නිසා එම ලිපියේ සඳහන් සාමාන්‍ය ජනතාව නොදන්නා කරුණු ගැනද සාධාරණ සැකයක් මතුවේ. අපි ඉන් කිහිපයක් සලකා බලමු.

මෙම ලිපියේ චෝදනා කරන ආකාරයට හම්බන්තොට වරාය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සිහිනයක් සැබෑ කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් කළ අනවශ්‍ය ආයෝජනයකි. ලිපියේ සඳහන් ආකාරයට හම්බන්තොට වරායක් සෑදීමට නුසුදුසු බවට යෝග්‍යතා අධ්‍යයන වාර්තාවකින්ද කියැවේ. එහෙත් මේ කියන යෝග්‍යතා අධ්‍යයන වාර්තාව කවුරුන් විසින් කවදා සෑදූ වාර්තාවක්ද කියා ලිපියේ සඳහන් නොවේ.

රටේ ජනතාව දන්නා ආකාරයට හම්බන්තොට වරායක් ඉදිකිරීමේ මුල් අදහස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොවේ. ඔහු බලයට එන්නට පෙර රජයන් ගණනාවක් මෙවැනි වරායක් දකුණු මුහුදු තීරයේ ඉදිකරන්නට සැලසුම් සකස් කරමින් සිටියහ. හිටපු ජනාධිපතිවරයා කළේ ප්‍රමාද වී තිබූ තවත් බොහෝ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ක්‍රියා කළාක් මෙන් මෙම ව්‍යාපෘතියත් තමුන්ගේ පාලන කාලය තුළ ආරම්භ කිරීමයි.

හම්බන්තොට වරාය සඳහා මූලික යෝග්‍යතා අධ්‍යයනයන් ආරම්භ කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හා රනිල් වික්‍රමසිංහ රජයන් විසිනි. රනිල් වික්‍රමසිංහ රජය ආරම්භ කළ යෝග්‍යතා අධ්‍යයන වාර්තාවක් 2003දීත් චන්ද්‍රිකා බන්ඩාරණායක රජය ඉන්පසු ආරම්භ කළ යෝග්‍යතා අධ්‍යයන වාර්තාවක් 2007දීත් නිකුත් විය. මේ වාර්තා දෙකෙන්ම යෝජනා කොට තිබුණේ හම්බන්තොට වරායක් ගොඩනැඟිය යුතු බවය. ඒ අනුව හම්බන්තොට වරායක් සඳහා නුසුදුසු බවට යෝග්‍යතා අධ්‍යයන වාර්තාවේ සඳහන් වී යැයි කවුරුන් හෝ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකාරිනියට පල් බොරුවක් කියා ඇත. මෙය කළේ ඇය සමඟ පැයක් දුරකථනයෙන් කතා කළා යැයි කයිවාරු ගසන කුප්‍රකට නළු ඇමැතිවත්ද යන සැකය ජනතාවට මතුවේ.

මෙම ලිපියෙන් අඟවන්නට උත්සාහ කරන තවත් දෙයක් නම් චීනය සමඟ මේ ව්‍යාපෘතිය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මහින්ද රාජපක්ෂට තිබුණාය යන්නය. එයද අසත්‍යයකි.

මන්ද පසුගිය රජය මේ වරාය ගොඩනැඟීමට හවුල් වන ලෙස මුලින්ම ආරාධනය කරන ලද්දේ ඉන්දියාවට බැවිනි. ඉන්දියාව එයට එතරම් උනන්දුවක් නොදැක්වූ නිසා තනිවම හෝ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පසුගිය ආණ්ඩුව තීරණය කළ අතර ඔවුන් චීනය දෙසට හැරුණේ ඒ සඳහා අවශ්‍ය ණය ලබාගන්නටය.

ලිපියෙන් තහවුරු කිරීමට උත්සාහ කරන තවත් තර්කයක් නම් චීනය විසින් විටින් විට පොලී අනුපාතයන් ඉහළ දමමින් වරාය හරහා ලංකාව ණය උගුලක පැටලුවා කියන යන්නය. මෙයද අසත්‍යයකි. හම්බන්තොට වරාය සඳහා චීනයෙන් ගත් මුළු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1250 පමණ වේ. ඉන් පළමු මිලියන 300 ලබා ගන්නට සිදු වූයේ සාමාන්‍යයෙන් ඉහළ පොලියකටය. යුද්ධය තදින් පැවැති ඒ කාලයේ කවුරුවත් අඩු පොලියට ලංකාවට ණය දුන්නේ නැත. නමුත් ඉන් පසු ගත් ණයවලට චීනය විසින් අය කළේ ඉතාම අඩු පොලී අනුපාතයකි.

වරාය සෑදීම සඳහා චීනයෙන් ණය ලබා දී තිබුණේ දීර්ඝ කාලීන පදනමක් මතය. ඒ අනුව ලබාගත් මූලික ණය හා අදාළ පොලිය යන සියල්ල එකතු කොට 2036ට පෙර ආපසු ගෙවන්නට නියමිතව තිබුණු මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1761කි. මේ ණය ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකා රජය විසින් නොව වරාය අධිකාරිය විසින් නිසා ණය ආපසු ගෙවීමේ වගකීම තිබුණේ ලාභ ලබන ආයතනයක් වූ වරාය අධිකාරියටමය. මෙහිදී ජනතාවට වැදගත්ම තොරතුර ලිපිකාරිනිය ලබාදී නැත. ඒ ගෙවන්නට තිබුණු මුළු මුදල වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1761න් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් 2014 වන විටත් වරාය අධිකාරිය විසින් ගෙවා අවසන් කොට තිබුණු බවයි. එම ගෙවීමෙන් පසුවත් 2014දී වරාය අධිකාරිය රුපියල් මිලියන 8800ක් ලාභ ලැබූ බව රජයේ විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත. ඉතුරු මුදල ගෙවන්නට තවත් වසර 22ක් ඉතුරුව තිබුණු අතර ලාභ ලබන ආයතනයක් වූ වරාය අධිකාරියට වසර 7-8ක් තුළ මේ මුළු ණය මුදලම කිසිදු අපහසුවකින් තොරවා ගෙවා අවසන් කිරීමට හැකියාව තිබිණි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මේ ලිපියේ ඇති තවත් චෝදනාවක් නම් චයිනා හාබර් සමාගම විසින් පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක පමණ මුදලක් ඡන්ද කටයුතු සඳහා රාජපක්ෂ රජයට ලබාදුන් බවයි. මෙවැනි චෝදනාවක සත්‍ය අසත්‍ය භාවය ගැන තර්ක කිරීමට සාමාන්‍ය ජනතාව සතුව කරුණු නැත. එහෙත් සාමාන්‍ය බුද්ධිය භාවිතකොට ඇසිය හැකි ප්‍රශ්නයක් ඇත. ඒ වාර්තාකාරිනිය ලිපිය සඳහා තොරතුරු ලබාගත්තේ කොහෙන්ද යන්නයි.

බළලා මල්ලෙන් එළියට පනින්නේ එවිටය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිනිය මහා ආඩම්බරයෙන් වාර්තා කරන්නේ යහපාලන ආණ්ඩුව විසින් ඇයට ලබාදුන් අභ්‍යන්තර වාර්තාවක අඩංගු කරුණුය. එය ලිපියේම පැහැදිලිව සඳහන් වේ.

ඒ මිස ඇය විසින් අමුතුවෙන් සොයා ගත් කරුණක් නැත.

ජනතාවට බොරු කීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට සම කළ හැකි කිසිදු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නොවූ බව මේ වනවිට රටේ බොහෝ දෙනකු වටහාගෙන ඇති සත්‍යකි. දේශපාලන ප්‍රතිවාදීන්ගේ චරිත ඝාතනය සඳහා රාජ්‍ය ආයතන හා සමත් භාවිත කරමින් පසුගිය වසර 3 1/2ක කාලය පුරා වත්මන් ආණ්ඩුව මොනතරම් බොරු ගොතන්නට ඇත්ද?

සමහර ඇමැතිවරු ඇසින් දුටුවා යැයි කී පිටරට බැංකු ගිණුම් අද වනතුරු සොයාගත්තේද? යාපනෙන් පැන්නුවා යැයි කී රත්රන් කන්ටේනර් ගැන අද කතා නැත්තේ මන්ද?

ලැම්බෝගිනි කාර් හෝ බකිංහැම්වලින් ගෙනාවා යැයි කී රත්රන් අශ්වයන් හමුවීද? රාජපක්ෂ පවුලේ හැම සාමාජිකයකුටම එක බැගින් තිබෙනවා යැයි කී හෙලිකොප්ටර් අද කොහේද? රාජපක්ෂලාට අයිති යැයි රට පුරා කතා පැතිර වූ මන්දිර, ගොඩනැඟිලි, වතුපිටිවලට අද වෙනත් අයිතිකාරයන් ඉන්නේ කෙසේද? තාජුඩීන්, ලසන්ත,එක්නැලිගොඩ ඝාතකයන් වසර 3 1/2කට පසුවවත් හෙළිවී ඇත්ද? සුදු වෑන් එකකින් ඉස්සුවාය කියන එක පුද්ගලයෙක් ගැන නඩුවක් අසන්නට තිබෙනවාද, මිනී මෝරු සොයාගත්තාද? බැඳුම්කර හොරුන්ගෙන් මුදල් ගෙන අසුවී අද රෙදි නැතුව සිටින සමහර දේශපාළුවන් එදා රූපවාහිනියේ ෆයිල් ලෙළවමින්, මෙගා ඩීල් කියමින් අභියෝග කළ අධිවේගී මාර්ග, තාප බලාගාර, වරාය, ගුවන්තොටුපොළවලින් යමෙක් කොමිස් ගැසුවා කියා එක නඩුවක් තිබේද?

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිනියට තොරතුරු සපයන්නේ ඉහත කී බොරු නිර්මාණය කළ පිරිසමය.

චෝදනා කළ ආකාරයට චීන සමාගමක් විසින් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන්නා නම් එය සොයා බලා ඔප්පු කිරීම වත්මන් ආණ්ඩුවට ඉතා පහසුවෙන් කළ හැකිව තිබිණි. මන්ද ඔවුන්ට ප්‍රශ්න කිරීමට අවශ්‍ය කිහිප දෙනකු පමණක් බැවිනි. මුදල් දුන්නැයි කියන අයත්, එසේත් නැත්නම් මුදල් ගත්තා යැයි කියන අයත් ඉන්නේ ලංකාවේ නිසා ඔවුන් ප්‍රශ්නකොට අත්අඩංගුවට ගෙන නඩු නොපැවරුවේ මන්ද? ඒ වෙනුවට මේ කියන රහස් තොරතුරු විදේශීය වාර්තාකාරිනියකට දී වාර්තාවක් ලියවා ගැනීමද ආණ්ඩුවක් විසින් කළ යුත්තේ?

බුද්ධියෙන් විමසා බැලූ විට පෙනී යන්නේ මේ වත්මන් ආණ්ඩුවේ සුපුරුදු මාධ්‍ය සන්දර්ශන මාලාවේ තවත් ජවනිකාවක් පමණක් බවය. තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සියල්ලම කළේ කවුද කියා සිතා ගැනීම අපහසු නැත. ඒ සඳහාත් වියදම් වුණේ රටේ ජනතාවගෙන් කොල්ලකෑ බැඳුම්කර මුදල්මද කියා පසු කලකදී හෝ සොයා බැලිය යුතුය.

 

One Response to “ඇමෙරිකාවේ පෙන්වූ චිත්‍රපටියේ තිර රචනය ලංකාවෙන්ද?”

  1. Christie Says:

    නාලක මේ පත්තර කාරි ඉන්නේ දෙල්හි වල. මේක තවත් ඉන්දියානු කතාවක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress