කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (දෙවන කොටස)
Posted on July 10th, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් 2002 වසරේ ආරම්භ කරන ලද හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ සමහර වෛද්‍ය සිසුන් විරෝධය පළ කරන ලදි. මෙම විරෝධතාව වෛද්‍ය පීඨයේ සීමිත සම්පත් යොදාගෙන මුදල් ගෙවන පාඨමාලවක් පැවැත්වීමේ සිට අධ්‍යාපනය පුද්ගලික කරණය කිරීමේ වෑයමක් ලෙසට හඳුන්වන ලදි. මේ අතර සමහර වෛද්‍ය සිසුන් හෙදියන් සඳහා පාඨමාලා වෛද්‍ය පීඨයේදී යොදා ගැනීමට එරෙහි වූහ​. එය තමන් ගේ තරාතිරම පිලිබඳ ගැටළුවක් ලෙස මතු වූ බව මධ්‍යස්ථ සිසුන් පවසති.  ආතතිය වර්ධනය වන විට  මෙම ගැටලුවට ජවිපෙ මතවාදී සිසුන් ද අත දැමීම නිසා ප්‍රශ්නය ජවිපෙකරණයවී සංකීර්ණ මුහුණුවරක් ගත් බව වෛද්‍ය රංග වීරක්කොඩි පවසයි. 

මෙම පාඨමාලාව පිලිබඳව විවිධ කට කතා පැතිරුනද මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පවසන්නේ තමන් මේ පාඨමාලාව හෙදියන් ගේ දැණුම  වර්ධනය සඳහා සත් භාවයෙන්  ආරම්භ කරන ලද බවත් එමගින් කිසිම වානිජමය ලාභ අපේක්‍ෂා නොකල බවත්ය​. මේ පාඨමාලාවෙන් තමන් සතයක් වත් නොගත් බව ඔහු පවසයි. මා විසින් ඇසූ ප්‍රශ්න සඳහා මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් පෙන්වා දුන්නේ මෙම පාඨමාලාව සඳහා රුහුණු විශ්ව විද්‍යාලය රුපියල් 1000  අය කල බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය රුපියල් 750000 පාඨමාලාව සඳහා මුල්‍ය ආධාර කල බවත් ය​. දේශන පවත්වන ලද්දේ සති අන්තයේය​. හෙද සිසු සිසුවියන් ගෙන් මුදල් අය කර ගන්නා ලද්දේ අනෙකුත් දේශකයන්ට ගෙවීම සඳහාය​.  

මෙම පාඨමාලාව අධ්‍යාපනය පුද්ගලික-කරණය හෝ අධ්‍යාපනය විකිනීම මුල් කරගෙන ආරම්භ කල එකක් නොවන බව මහාචාර්‍ය   අමරසේන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. තවද මෙම පාඨමාලාව ආරම්භ කල අවස්ථාවේදී අධ්‍යාපන පීඨ මඩුල්ල ( Faculty Board) එය අනුමත කල බවත් ඒ අවස්ථාවේදී ශිෂ්‍ය නියෝජිතයෝ එම පාඨමාලාව සඳහා විරෝධය පළ නොකල බවත්  එහෙත් පාඨමාලාව ආරම්භ  වීමත් සමගම ශිෂ්‍ය නියෝජිතයන් දේශපාලන හේතූන් මත පාඨමාලාව සඳහා විරෝධය පළ කිරීම ඇරඹූ බව මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පවසයි.

මහාචාර්‍ය අමරසේන මහතා පෙන්වන ආකාරයට විරෝධතාව සඳහා  WGID කුමාර නොහොත් ඉඳුනිල් විජේනායක , අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ , සාරද කන්නංගර , කේ.ජී.ඒ කුමාර යන ශිෂ්‍ය  නියෝජිතයන් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර  අනෙකුත් සිසුන් උසි ගැන්වීම සඳහා මෙය අධ්‍යාපනය පුද්ගලික කිරීමේ වෑයමක් ලෙස ඔවුන් විසින් පෙන්වා දෙන ලදි .

මෙම අර්බුධය උත්සන්න වූ අවස්ථාවේදී වෛද්‍ය සිසුන් පිරිසක් විසින් කරාපිටිය වෛද්‍ය පීඨයට කඩා වැදී මෙම පාඨමාලාවට සහභාගි වෙමින් සිටි හෙද සිසු සිසුවියන්ට පහර දෙන ලදි. මෙම පහර දීම සිදුවූ අවස්ථාවේදී එම පාඨමාලාවේ සිටි හෙදියක් තම අත්දැකීම මෙසේ පවසන්නීය. (මෙම හෙදිය දැනට විදේශයක රැකියාව කරන අතර ඇයගේ ඉල්ලීම පිට ඇයගේ නම යොදා ගන්නේ නැත )  

”  අපි හිටියෙ ලෙක්චර් හෝල් එකේ.  එක පාරටම දොරවල් දෙකෙන් පිරිමි ලමුන්  රෑනක් ඇවිත් පුටු උස්සල අපිට ගැහුවා ,අපි පන්තිය කෙලවරට දුවන කොට පුටු විසි කර කර ගැහුවා, පස්සෙ මම ආයෙත් ඉස්සරහට දුවල ගිහින් මගෙ බෑග් එක ගත්ත ගැබිනි ශිෂ්‍යවකුත්  හිටිය. ඒත් කිසිම අනුකම්පාවක් තුබුනෙ නැහැ  වෛද්‍ය සිසුන් මැරයෝ  වගෙ තමයි හැසිරුනෙ, පස්සේ මම ඔවුන්  අතරින් කොහොම හරි එලියට පැනල දිව්වා. අපි දුවගෙන යනකොට වෛද්‍ය සිසුවියෝ වගයක් උඩ බැල්කනි එකේ ඉඳන් කුණු වතුර වලට තාර වගේ දෙයක් මිශ්‍ර කරලා අපේ ඇඟවල් වලට හැළුවා. අපි ඔක්කොම වගේ ඒ කුණු වතුරට නෑවුනා. පස්සේ මම හොස්පිට්ල් ක්වාටස් වලට ඇවිදින් කුණු සෝද ගත්තා ………….

මාගේ දෙවන සාකච්ඡාවේදී ඉඳුනිල් විජේනායක වඩාත් විවෘත වූ අතර ඔහුගේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කලේය​. ඔහු පවසන පරිදි මෙම පහර දීමට ඔහු සහභාගි වූයේ නැත​. රුහුණු විශ්ව විද්‍යාලයේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමක් සිදු වූවාද නැද්ද කියා මා විසින් විමසන ලද අවස්ථාවේදී ඉඳුනිල් පැවසුවේ එම සිද්ධිය තමන් නොදුටු නිසා කිසිවක් කිව නොහැකි බවයි. ​කෙසේ නමුත් තමන් කිසිදු පහර දීමකට සහභාගි නොවූ බවත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් තමන් ගේ නම ප්‍රහාරකයෙකු ලෙස ඉස්මතු කොට දුන් බව ඔහු කියයි. තවද මේ ගැටළුව සංකීර්ණ වීම සඳහා මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ අපරිණත පරිපාලනය මෙන්ම ඔහුගේ අගතිගාමී ක්‍රියා පටිපාටීන් හේතු වූ බව ඉඳුනිල් පවසයි. 

මෙම සිද්ධිය ආශ්‍රිතව  නීතිය ඉදිරියට පමුණුවන ලද අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ (වර්තමානයේ ඔහු විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි ) තමන් මෙම පහර දීමට  කිසි සේත්ම සහභාගී නොවූ බව තරයේ කියා සිටියි. එහෙත් මෙම සිදුවීමෙන් පසුව තමා විශ්ව විද්‍යාල සෙනේට් ගොඩනැගිල්ල වටකර ගෙන වාඩිලා සිටි සිසුන් අමතා කතාවක් කල බවත් පසුව විශ්ව විද්‍යාල  පරිපාලකයන් බලහත්කාරයෙන් සෙනේට් ගොඩනැගිල්ල තුල රඳවාගෙන තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වූ බව කියයි. තව දුරටත් කරුණු පැහැදිලි කල ඔහු මෙම නඩුවට තමන්ව සම්බන්ධ කිරීම පසුපස මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් සිටි බවත් යම් ලෙසකින් නඩුවේදී වරදකරු වූයේ නම් තමාට සිර දඞුවම් ලැබී අධ්‍යාපනය කඩාකප්පල් වීමේ සම්භාවිතාවක් තිබූ බව කියා සිටියි. කෙසේ නමුත් තමා අවසානයේදී නඩුවෙන් ජයග්‍රහණය කලද මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් විසින් තමන්ව ගොදුරක් කර ගත් බවත් ඔහු පවසයි. 

කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය මතුවූ අවස්ථාවේදී මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුව ඇමතුවෙමි. මහාචාර්‍ය  මෙන්ඩිස් අදාල සිසුන් විසින් කල චෝදනා ප්‍රතික්ශේප කලේය​. එහෙත් මා විසින් ඔහුට යොමු කල කඩීම ප්‍රශ්න වලට පිළිතුරු නොදී මඟ හැර ගියේය​. එහෙත් පාඨකයන් වෙනුවෙන් මම තවත් වරක් මහාචාර්‍ය මෙන්ඩිස්ව අමතා ඔහුට එරෙහිව තිබෙන චෝදනා පිලිබඳව ඔහුගේ ප්‍රකාශය ලබා ගැනීමට ඉදිරි කාලයේ උත්සහ කරමි.

වෛද් රුවන් එම් ජයතුංග 

(ගර්භණී හෙදියට පහර දුන් අයුරු තෙවන කොටසින් බලාපොරොත්තු වන්න )

One Response to “කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය (දෙවන කොටස)”

  1. Christie Says:

    Jeppos will take up any issue that will destroy the Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress