දහම් පාසලක් ඇරැඹීමට අවසර ගන්න එක අද ගහක් කපන්න අවසර ගන්නවාට වැඩිය අමාරුයි
Posted on July 11th, 2018

නවමැදගම – ශාන්ත වෙලගෙදර දෙහිඅත්තකණ්ඩිය – කුමාර නවෝද්‍ය  උපුටාගැණීම  මව්බිම

දහම් පාසලක් ආරම්භ කළ යුතුද නැද්ද කියලා හොයලා බලන්න සියලුම ආගමික නායකයන් එකතු කරලා කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව අවසර දුන්නොත් තමයි දහම් පාසල ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. ගහක් කපන්න අවසර ගන්න කොච්චර කල් යනවාද? ඊටත් වඩා අමාරුයි අද දහම් පාසලක් ආරම්භ කරන්න. ලී පර්මිට් එක ගන්න පස්සෙන් යනවා වගේ දහම් පාසල් හැදීම පැත්තක තියලා දහම් පාසල් ආරම්භ කරන්නත් පස්සෙන් යන්න සිදු වෙලා තියෙනවා. මෙහෙම යුගයක් ඉතිහාසයේ කවදාවකවත් තිබිලා නැහැ’ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

දෙහිඅත්තකණ්ඩිය නවමැදගම පහළගම අශෝකාරාම විහාරස්ථානයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.

”තිස් වසරක යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරා ගෙන යෑමට අපට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, ඒ පුනර්ජීවනයත් එක්ක බෞද්ධ සිද්ධස්ථාන ආරම්භ කරමින් රටේ බෞද්ධ පරිසරය ඇති කරන්න හැකියාව ලැබුණා. නමුත් මේ අවුරුදු 3ක කෙටි කාලයක් තුළ ආගමික පිරිහීම පමණක් නොව රටේ සංස්කෘතිය, සාරධර්ම අතින් පිරිහීමකට සමාජය අද දවසේ පත් වෙලා තියෙනවා.

එදා මේ රටේ විධිමත් විනයානුකූල පාලනයක් තිබුණා. ඒ වගේම නීතියද ක්‍රියාත්මක වුණා. උදේ සවස ටීවී එක දානකොට ජනාධිපතිවරයා අගමැතිවරයා මට බනින එක තමයි කරන්නේ. මට විතරක් නොවෙයි මේ රටේ හැමෝටම බනිනවා. අපිට නඩු දාන එක කරගෙන යනවා. පළිගැනීම නඩු දාන එක මහ ලොකු ක්‍රියාවක් ලෙස හඳුන්වා හැම වෙලාවෙම හැම නාළිකාවකම රේඩියෝ එකකම ප්‍රචාරය වෙනවා.

පන්තියේ පළමුවැනියා වුණු ළමයාට ළමයි 40ක් එකතු වෙලා ගහලා මරනවා. එක මිනිහෙක් පාර මැද පාසල් ළමයකුට තළනවා. මේ සිද්ධි ළමයින්ගේ හදවත් දරුණු වෙන්න හේතූන්. මේවා තුළින් උදේ සවස පළිගැනීම්, වෛරය, කේ‍රා්ධය සිත් තුළ පතුරුවනවා. මේක හරිම භයානකයි. මුළු සමාජයම වැරැදි අතකට මේ ආණ්ඩුව අද ගෙනියනවා. ඒ හින්දා මේ කාරණය ගැන මවුපියන් වැඩිහිටියන් හිතන්න වෙනවා. දරුවන් රැක ගැනීම මවුපියන්ගේද වැඩිහිටියන්ගේද වගකීමක් වෙනවා.

ආර්ථිකය කඩා වැටිලා. ජීවන වියදම වැඩි වෙලා. විරැකියාව වැඩි වෙලා. වීවලට නියමිත මිලක් නැහැ. මේ ආණ්ඩුව යටතේ වී කිලෝ එක රුපියල් 28ට විකුණන්න ගොවියාට සිදුවෙලා තියෙනවා. අපේ කාලයේ කුඹුරට ඇවිත් වී කිලෝ එක රුපියල් 60ට ගත්තා. ආණ්ඩුව මේ පිළිබඳව හිතන්නේ නැහැ. ගොවියා ගැන කතා කරන්නේ නැහැ. හැම තැනම පොහොර දෙනවා කිව්වට පොහොර ගන්න තැනක් නැහැ. අපි මේ තත්ත්වය වෙනස් කළ යුතු වෙනවා. දරුවන් විනාශ කරනවා. ව්‍යාපාර කඩා වැටිලා. පොල් ගෙඩියේ මිල අහස උසට ගිහින්. අපි මේ තත්ත්වය වෙනස් කරන යුගය අද ඇවිත් තිබෙන බව මම ප්‍රකාශ කරනවා.

දිගාමඬුලු දිස්ත්‍රික් මන්ත්‍රි විමලවීර දිසානායක,
”අද මෙහි ඉන්න ජනතාව 99%ක් ඔබතුමාට ආදරය කරනවා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ආසන 23ම පොහොට්ටුව ජයග්‍රහණය කර දුන් ජනතාව අද මෙතැනට පැමිණිලා සිටින බවත්, ඒ ජයග්‍රහණ අත්කර දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා නිසා බවත් මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. එම ජයග්‍රහණය මම අත්කර දුන්නත් මගේ නම කියැවුණේ නැති එක ගැන මට දුක හිතෙනවා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගුවන්තොටුපළ විතරක් නොවෙයි විධිමත් මහා මාර්ග පද්ධතියත්, වරායවල් හදලා මේ රට සංවර්ධනය කළා. ඒ කළ සියලුදේට ඔබතුමාට පින්සිද්ධ වෙනවා.

නවමැදගම – ශාන්ත වෙලගෙදර
දෙහිඅත්තකණ්ඩිය – කුමාර නවෝද්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress