රාජපක්‍ෂ ආණ්ඩුව වැරැදි කරලා තිබුණා නම් මේ ආණ්ඩුව විමර්ශන කර කර ඉන්නේ නෑ
Posted on July 11th, 2018

දෙනගම ධම්මික රණවීර  උපුටාගැණීම  මව්බිම

රට පාලනය කරන්න අදක්ෂ වුවත් චෝදනා කරන්න මේ ආණ්ඩුව දක්ෂ බවත්, සත්‍ය වශයෙන්ම පසුගිය ආණ්ඩුව වැරැදි කරල තිබුණා නම් හැමදාම විමර්ශන කර කර නොසිටින බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවැසීය.

හෙතෙම එසේ ප්‍රකාශ කළේ ඊයේ (10දා) බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. ‘යුක්තියට හඬක්’ සංවිධානය පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද කීවේය.

පසුගිය වසර තුනහමාර තුළ අප දැක්කේ සංවිධානාත්මක පළිගැනීම්. එහි අඩුවීමක් නැහැ. ව්‍යාජ පැමිණිලි දමමින්, මාධ්‍ය ඒකකයකුත් ක්‍රියාත්මක කරමින් අසවලාගෙන් ප්‍රශ්න කරන බවට කලින්ම ප්‍රකාශ කරනවා. චරිත ඝාතනයක් කිරීම පමණයි එහි අරමුණ. ඒ වගේම පොලිසියේ සමහර අයත් මේවට සම්බන්ධ වෙනවා.

පසුගිය ආණ්ඩුවට කිට්ටුයි කියන අය ඉලක්ක කරලයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. එහි අරමුණු දේශපාලනිකව ඔවුන් නිහඬ කිරීමයි. අපි මේවා හෙළා දැකීම පමණක් ප්‍රමාණාත්මක නැහැ. විරුද්ධව කටයුතු කළ යුතුයි.

එෆ්.සී.අයි.ඩී.ය නීත්‍යනුකූල නොවන බව සරත් එන්. සිල්වා වැනි නීති විශාරදයන් ප්‍රකාශ කරනවා. දේශපාලන නායකත්වය විසින් එම ආයතනය ක්‍රියාත්මක කරවනවා. පොලිසියෙන් කෙරෙන්න ඕන දෙයක් දේශපාලනඥයන් කරන්න පටන් ගැනීම වැරැදියි. ඒ තුළින් නීතියේ ආධිපත්‍යය කඩා වැටෙනවා.

අපි ‘යුක්තියට හඬක්’ ලෙස සංවිධානගත වුණේ අපි ගැන හිතල නෙවෙයි. අපට සල්ලි හොරා කෑවා කියලා චෝදනා නැහැ. ඒ නිසා තමයි බය නැතිව මාධ්‍ය ඉදිරියට එන්නෙ.
හෙජිං ගිවිසුම ගැන නඩුවක් විභාග වුණා. නීතියට පිටින් කිසිවක් කර නැති බවට ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී පවන් මහත්තයා නියෝගයකුත් දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පවත්වන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුවයි කටයුතු කළේ. ඒක ගැන හිටපු අධිපති එෆ්.සී.අයි.ඩී. යට පැමිණිලි කළා. නමුත් අද ඔහු රටෙත් නැහැ.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා

දිනපතා පුවත්පත් දකින විට තියෙන්නේ අපරාධ ගැනයි. ශ්‍රී ලංකාව දැන් අඳුරු චිත්‍රයක් වෙලා. ඒත් එක්කම ලංකාවේපොලිසිය කොහේද කියන ප්‍රශ්නය මතු වෙනවා. පසුගිය වසර තුනහමාරෙම පොලිසිය කරන්නේත් ඔවුන් කළ යුතු දේ නෙවෙයි. දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටුකරලීමයි.

මේ ආණ්ඩුවට බලයට ඒමට විදේශ බලවේගවලින්, දෙමළ ඩයස්පෝරාවෙන්, එන්.ජී.ඕ. සංවිධානවලින් උදවු ලැබුණා. ආණ්ඩුවට ඒ අයගේ කොන්ත්‍රාත් ඉටු කරන්න වෙනවා. උදාහරණයක් ලෙස මේ රට තුළ මානව අයිතිවාසිකම් කඩවෙනවා. යුද අපරාධ වෙනවා. ඒ දවස්වල ඇති කළ මතය තහවුරු කරන්න සාධක සකස් කර දෙනවා. රණවිරු දඩයම් සිදු කරන්නේ ඒ සඳහායි. එක්නැලිගොඩ කියන පුද්ගලයා අතුරුදන්වීමේ සිද්ධිය මුල් කරගෙන එය පැහැර ගැනීමක් කියල ඔප්පු කිරීමේ අවශ්‍යතාවෙන් බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙක් මාස 14ක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුණා. ඒත් අදටත් නඩුවක්වත් නැහැ.

පසුගිය ආණ්ඩුවේ දූෂණ තිබුණ කියලා වත්මන් ආණ්ඩුවේ අය අදහසක් ජනගත කළා. ඒක ඔප්පු කරන්න තමයි එෆ්.සී.අයි.ඩී.ය වැනි ආයතන පටන්ගෙන දේශපාලන මර්දනය කළේ. එක්සත් ජාතික පක්ෂය එෆ්.සී.අයි.ඩී. වැඩ ගැන වාර්තා කරන්න කමිටුවක් පත් කළ බව සුජීව සේනසිංහ මාධ්‍යයට කියා තිබුණා. ඒ විධියට තමයි ආණ්ඩුව කටයුතු කරන්නෙ. මේ විධියට දේශපාලන කරුණු සඳහා පොලිසිය අවභාවිත වන විට වෙනත් දේවල් කරන්න පොලිසියට වෙලාවක් නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තම නොහැකියාව වසා ගන්න මිනීමැරුම් සාධාරණීය කරන්න ප්‍රකාශ කරනවා. ජනතාව අවුරුදු තුනහමාරක් මේ සන්දර්ශනය බලාගෙන සිටියා. ලෝක ඉතිහාසයේ දේශපාලනඥයෝ මර්දනය කරපු, මාධ්‍ය මර්දනය කරපු හැම ආණ්ඩුවක්ම නීතිය අවභාවිත කරමින් මහජනතාව නොමඟ යැව්වා. ලංකාවෙත් ඒ දේ සිදු වෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා

දේශපාලන පළිගැනීම් අද නීත්‍යනුකූල වෙලා. උසාවියේ පිහිට පතන්න පුළුවන් වුවත් වියදම අධිකයි. නඩුවකට පැටලුණාම රාජ්‍ය සේවකයකුට ඔළුව උස්සන්න බැහැ. ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ සිටම රාජ්‍ය නිලධාරීන් කෙරෙහි කටයුතු කරන ක්‍රමයක් තිබුණා. ඒත් අද ඒක පැත්තකට කොට තිබෙනවා. පොදු දේපළ පනත වේශ්‍යා වෘත්තියේ යොදවනවා. රාජ්‍ය ආදායමෙන් 90%කටත් වඩා යොදවන්නේ රාජ්‍ය සේවය වෙනුවෙන් වුවත් අද රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට පත්වෙලා.

කෝප් වාර්තා, විගණකාධිපති වාර්තා ආදිය පිළිබඳ පසු විපරම් කරන්න විධිමත් ආයතනයක් තිබිය යුතුයි. ඒත් එෆ්.සී.අයි.ඩී. වැනි ආයතන වැඩක් නැහැ.

නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා

88-89 යෙන් පසුව අද යළි පාතාලය රජ වූ යුගයක් උදා වෙලා. අපේ රට නරක තත්ත්වයක තිබෙන බව පොලිස්පතිත් පිළිගන්නවා. ඒත් පොදු ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අවශේෂ කාරණාවක් ලෙසටයි ආණ්ඩුව සිතන්නෙ.

අසාධාරණයට ලක්වන අයගේ දත්ත එකතුවක් සිදු කිරීමත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙරට පමණක් නොවේ ජාත්‍යන්තරයටත් එම හඬ ගෙන යෑමත් අපේ බලාපොරොත්තුවක්.

දේශපාලන ලෙස පීඩාවට පත්වීම නිසා නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රිවරු අධිකරණයට ගියා. අපේ අරමුණ සෙසු මහජනතාවට සිදු වූ අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීමයි.

රොහාන් වැලිවිට මහතා

මේ රටේ විදේශ අමාත්‍යාංශය විදේශ රටවලට දැනුම් දී තිබෙනවා එෆ්.සී.අයි.ඩී. ය ආදියට ගෙන යන අයට ඒ රටවලට වීසා දෙන්න එපා කියලා. රජයේ මුදල් කෝටි ගණන් වියදම් කරලා අපරාධකරුවන් සොයනවා. ඒත් ඒ සියල්ල කරන්නේ පසුගිය ආණ්ඩුවේ කිහිප දෙනකු විවිධ අපරාධවලට සම්බන්ධ දැයි ඇසීමට පමණයි.

දෙනගම ධම්මික රණවීර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress