මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම දේශපාලන සටන් පාඨයක් කරගෙන
Posted on July 23rd, 2018

සංලාපය – රසිකා හේමමාලි උපුටාගැණීම  මව්බිම

මත්කුඩු සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඬුවම බලාත්මක කිරීමේ යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?

දේශපාලන සටන් පාඨ එකිනෙක ගිලිහෙමින් පවතිද්දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යන සටන් පාඨය ජනප්‍රිය සටන් පාඨයක් වශයෙන් භාවිත කරන්න උත්සාහ කරනවා ඇති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය පොදු ජනතාව අතර පොදු පිබිදීමක් ඇති වෙයි කියල හිතනවා ඇති. මේ කාරණය පිළිබඳ උඩින් අත ගාමින් පොදු ජනතාවගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරන්නාවූ එක් අවස්ථාවක් ලෙස මැල්කම් රංජිත් අගරදගුරුතුමා, විශේෂ ස්වාමීන් වහන්සේලා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හොඳයි කියන තත්ත්වයට පත්වෙලා.

එසේ කියන්න හේතුව මොකක්ද?

මේ තීරණයත් එක්ක පෝස්ටර් ව්‍යාපාරයක් ගියා ශ්‍රී ලංකාව වටේම මේ සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තූතිය ප්‍රකාශ කරලා. 2015 ජනවාරි 08 වැනිදා නිර්පාක්ෂික අපේක්ෂකයකු වශයෙන් අපි ජනාධිපතිවරයා පත් කරගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදිය බලාපොරොත්තුවෙන්. නමුත් ඒ කිසි දෙයක් සිදු නොවුණු අවස්ථාවක මේ වගේ සටන් පාඨයක් පාවිච්චි කරමින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් පේන්න තිබෙනවා.

කොළඹ මහ අධිකරණයේ වැඩ කරන නීතිඥයකු වශයෙන් මට පැහැදිලිව පේනවා ලංකාවේ හෙරොයින් වැටලීම් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. එම වැටලීම් කළහම අප වෙත එන සේවාදායකයන්ගේ රහස්‍යභාවය සුරැකීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නැති නිසා අපට ඇත්ත කියනවා. අහිංසක අසරණ මිනිස්සු ගොඩක් වෙලාවට හෙරොයින් වැටලීම්වලට අත්අඩංගුවට පත්වෙලා තිබෙන බව දැකගන්න පුළුවන්. අපරාධ නඩුවකදී සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කරන්න කියලා න්‍යායක් බිහිවෙන්න විශේෂ හේතුවක් තිබෙනවා. අපරාධ නඩුවකදී පැමිණිලිකාර පාර්ශ්වය වන්නේ රාජ්‍ය විධායකය. විධායකයේ ආයතනයක් වන පොලිසිය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, අපරාධ දෙපාර්තමේන්තුව වැනි ආයතන තමයි පැමිණිල්ල වෙන්නේ. පොලිසිය, බන්ධනාගාරය, අධිකරණය වගේ ලංකාවේ දූෂිත ආයතන රාශියක් තිබෙනවා. ඒ දූෂිත ආයතන රාශියෙන් පැමිණිල්ලක් මෙහෙයවා දූෂිත වූ අධිකරණයක් මාර්ගයෙන් දූෂිත වූ පොලිසියක් විසින් මේ කරන්නාවූ වැටලීම්, පරීක්ෂණ සහ නඩු විභාග, ගැන ගැටලුවක් තියෙනවා. පොලිසිය සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වැටලීම්වලදී වැටලීම් කරන්න කලින් ඔත්තුවක් දෙනවා අදාළ ජාවාරම්කරුවට.

කාව හරි ඉදිරිපත් කරන්න කියලා කියනවා රිමාන්ඩ් කරවන්න. ගෙවීමක් සහිතව රිමාන්ඩ් වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. අපි දන්නවා ඒක. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වැටලීමක් කරන්න යනකොට නිලධාරීන් සටහන් යොදන්න ඕනෑ. නමුත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය කාර්යාංශය වගේ ආයතනයක් වැටලීම් සටහන් යොදන්නේ වැටලීම් කර ඒ පුද්ගලයා එක්කගෙන ඇවිත්, ඒ පුද්ගලයා එක්ක වාඩිවෙලා, ඔක්කොම කට්ටිය එකතු වුණාට පසුවයි. මේ නිසා මත්ද්‍රව්‍ය කාර්යාංශය වගේ ආයතනයකදී පරස්පරතාවන් අඩුවෙලා ගොඩක් වෙලාවට අධිකරණයේදී තීරණය වෙන්නේ මේ පුද්ගලයා මරණ දඬුවමට නියම විය යුතුයි කියලා. ලංකාවේ නඩුවකදී හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබාගත් පුද්ගලයාට මරණ දඬුවමට නියම වෙනවා.

නිදහසින් පසුව ඇතිවුණු දේශපාලන ක්‍රමයත් එක් දූෂිත පොලිසියක් අපට තිබෙන්නේ. දූෂිත පොලිසියකින් හුදු මිනිහෙක්ව එල්ලා මැරීමට සම්පූර්ණ විරුද්ධ වෙනවා. ඒ නිසා ලංකාවේ දේශපාලන තන්ත්‍රය, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මේ සියලු ආයතන ජරාජීර්ණ වෙලා තිබෙද්දී, හුදු කණ්ඩායමකට මරණ දඬුවම ලබාදෙන්න උත්සාහ කිරීම හිසේ රුදාවට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්.

නීතියෙන් මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට බැහැ කියලද ඔබ කියන්නේ?

නීතිය ක්‍රියාත්මක කළහම මත්ද්‍රව්‍ය ගැටලුව අවසන් වෙයි කියලා සමහරුන් කියනවා. නමුත් මේ වගේ සමාජ ආර්ථික ප්‍රශ්න තිබෙන රටක, මේ විදියට නීතිය ක්‍රියාත්මක කළා කියලා එම වැරැදිවල අඩුවීමක් වෙන්නේ නෑ. රාජ්‍යයකට හැකියාවක් තිබෙන්න ඕනෑ තමන්ගේ රාජ්‍යයේ පුරවැසියාට හොඳ ජීවන තත්ත්වයක් උදා කරවන්න. ලංකාව රාජ්‍ය එය අසමත් වෙලා. පුද්ගලයකුට රැකියාවක් කර යම් කිසි අනිසි ක්‍රමයකින් තොරව තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පූර්ණය කර ගන්න පුළුවන් සමාජයක් බිහි කළාට පස්සේ ජනතාව නීති විරෝධී වැඩවලට යොමුවෙන එක අඩු වෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ රටවල ඒ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. හේතුව යුරෝපයේ මිනිස්සු කුමන මට්ටමක හිටියත්, රැකියාවක් නොකළත් ඔවුන්ට ඩෝල් එකක් නම් ජීවන වියදමක් හිමි වෙනවා. එයින් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීමට හැකි තත්ත්වයක් උදා කර දී තිබෙන්නේ.
ගෙයක් හැදීම, වාහනයක් ගැනීම අපේ රටේ ජනතාවගේ සිහින. ඒවා ඉටුකරගන්න රාජ්‍යයෙන් අවස්ථාවක් දීලා නෑ. වාහනයක් ගන්නවා කියන එක මිනිසුන්ගේ ලොකු සිහිනයක්. සාමාන්‍ය රැකියාවක් කරලා ගෙයක් සහ වාහනයක් ලබාගන්න මිනිසුන්ට හැකියාවක් නෑ. සමාජයේ වටිනාකම්, සමාජයේ සිවිල් බලයක් නැති, දේශපාලන බලය, නිල බලය, වෘත්තීයමය බලය නැති පුද්ගලයන්ට සමාජයේ මිනිසුන්ගේ වටිනාකම් මනින මිම්මක්නේ ලොකු ගෙවල් සහ ලොකු වාහනයක් හිමි වීම.

සම්මත හොඳ රැකියාවලින් මේ වටිනාකම් ලබාගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා මේ පිරිස අතර ඇති වෙන්නා වූ මානසික පීඩනය, විශාදය වැනි තත්ත්වයන් පවා ඇති වෙනවා. මේ දේවල් අත්පත් කරගැනීමට යෑමේදී ලැබෙන දඬුවම ගැන කල්පනා කරන්නේ නෑ. සෞදි අරාබියේ තරුණ පරපුරින් මීට උදාහරණ ගෙන එන්න පුළුවන් මෙහෙම කියද්දී ඇතැමකුට. නමුත් මේ රටේ තරුණ පරපුර සෞදි ආරාබියේ තරුණ පරපුර වගේ නෙවෙයි. සංස්කෘතික වශයෙන් වෙනස්. ඒ රටවල තරුණ පරපුරට වාහනයක් ගෙයක් කියන ඒවා ලබාගන්න බැරි දේවල් නෙවෙයි. ලංකාවේ විවාහයක් කරගැනීමේදීත් පිරිමියකු වටිනාකම වාහනයකින් ගෙයකින් බලනවා. ජීවිතයට මේ දේවල් අත්පත් කරගැනීමේ වුවමනාව මත මේ වගේ දේවලට පෙලඹෙනවා. මේක ලොකු සමාජ ප්‍රශ්නයක්. මේ සමාජ ප්‍රශ්නය මරණ දඬුවම ක්‍රියාත්මක කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.
එසේම අප අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයට යනවා මිසක් ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට යන්න ඕනෑ නෑ.

අතීතයේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙලා තියෙනවා?

අහිංසක මිනිස්සු එල්ලුම් ගස් ගිහින් තිබෙනවා එදා. ඒ වගේ අදත් අහිංසක මිනිස්සු එල්ලුම් ගස් යෑමේ ප්‍රවණතාවක් තිබෙනවා. හෙරොයින් ජාවාරම් කරන්නේ කවුද කියලා අපි දන්නවා. පහුගිය කාලයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ නිවෙසක් විශේෂ කාර්ය බළකායෙන් වැටලුවහම හිටපු ජනාධිපතිතුමා ඒ දේශපාලනඥයාගේ නිවෙසට ඒ වෙලාවේ ගිහින් ඔහුව බදාගත්තා. එතැනින් ඒ සිදුවීම ඉවර වුණා. ඒ අයට කවදාවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වගේ අසමානතාවකින් නීති ක්‍රියාත්මක වෙන රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි.

හෙරොයින් ජාවාරමේ යෙදෙන මිනිස්සු මරණ දඬුවම ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා ඒ වෙලාවට සලකන්නේ නෑ. අපරාධ කරන පසුබිම ඇති වුණාට පසුව ඒ මිනිස්සුන්ට අනිකුත් වටපිටාව පිළිබඳ අවබෝධයක් නැතුව යනවා. ඒක තමයි අපරාධ විද්‍යාවෙන් අපට තේරෙන දේ. මේක සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක්. මානව විද්‍යාත්මක, සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ නිසා මේ දඬුවම දුන්නා කියලා විසඳුමක් ලැබෙන්නේ නෑ. අපරාධ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන් කියන්නේ මරණ දඬුවමින් අපරාධ වළක්වගන්න බෑ කියලා.

සමහර රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා?

ඒ රටවල ආර්ථික තත්ත්වයන් වෙනස්. ඇමෙරිකාව කියන්නේ ලෝකයේ හැම රටකින්ම මිනිස්සු ඇවිත් සිටින වෙනස් සමාජයක්. එහෙ සංස්කෘතික තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. චීනයත් සම්පූර්ණයෙන්ම වෙනස් ආර්ථික රටාවක් හා වෙනත් දේශපාලන තත්ත්වයක් තිබෙන රටක්. සෞදි ආරාබිය විශේෂ ආගමික තත්ත්වයක් තිබෙන රටක්. සෞදියේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ ආගම අනුව අනාචාරයේ හැසිරීම වැනි දඬුවම්වලට. මේ වගේ ජාවාරම්වලට ඔවුන්ගේ සංස්කෘතිය එක්ක යන්න බෑ. ඒ රටවල තත්ත්වයන් එක්ක ලංකාව සංසන්දනය කරන්න අමාරුයි. මිනිස්සු දියුණුයි, සදාචාරවත්, ශිෂ්ට සම්පන්නයි, ජනතාව නිදහසේ ඉන්නවා කියලා තීරණය කරපු රටවල් කීපයක් තියෙනවා. ඒ රටවල් අරගල කරලා ඒ තත්ත්වය ඇති කරගෙන තිබෙන්නේ. ජනතාවගේ ජීවිතේ මූලික අභිමතාර්ථ ඉෂ්ට කරලා එවැනි දඬුවම් ක්‍රියාත්මක කරනවා නම් ගැටලුවක් නෑ.

අවුරුදු දෙක තුනක් ඇතුළත ශ්‍රී ලංකාව කුඩු බෙදාහැරීමේ මර්මස්ථානයක් වුණා කියලා විපක්ෂයෙන් චෝදනා වෙනවා?

හෙරොයින් ජාවාරම්කාරයන් ලංකාවේ භාවිත කරන්න පටන් ගන්න ඇත්තේ අවුරුදු 20ක විතර සිට වෙන්න ඇති. 2009 වනතුරු ලංකාවේ යුද්ධයක් තිබුණා. මහ පරිමාණයෙන් කුඩු ගේන්නේ මුහුද හරහා. පහුගිය කාලයේ යුද්ධය තිබුණු නිසා මුහුද හරහා කුඩු ප්‍රවාහනයට යම් යම් බාධා ඇතිවෙන්න ඇති නාවික හමුදාව හා එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි ක්‍රියාකාරකම් නිසා. නමුත් යුද්ධයෙන් පසුව ඇතිවුණු සාමකාමී තත්ත්වයත් එක්ක ව්‍යාපාරවලට හොඳ තත්ත්වයක් ඇතිවීමත් සමඟ මේවත් වැඩි වෙන්න ඇති. මේක පරිණාමීය තත්ත්වයක්. ඒ නිසා වෙන ආණ්ඩුවක් ආවත් මේ ව්‍යාපෘතිය මීට එහාටත් යනවා.

සාමාන්‍ය ජනතාව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යහපත් ප්‍රතිචාර දක්වන බවක් පේනවා?

සාමාන්‍ය ජනතාව තමයි අල්ලස ඇති කරලා තියෙන්නේ. ඔවුන් දේශපාලනඥයන්ට ‍ෙදාස් කීවාට දේශපාලනඥයන්ට වඩා සාධනීය ලක්ෂණ සමාන්‍ය ජනතාවගෙන් දකින්නේ නෑනේ. දේශපාලනඥයන් ළඟට යන්නේ තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගන්නයි. ඒකේ වැරැද්දක් නෑ. හේතුව ලංකාව වගේ රටක ජනතාවට තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න දේශපාලනඥයන් පස්සේ යන්න වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව කවදාවත් දේශපාලනඥයන්ගෙන් ඉල්ලන්නේ නෑ ඔබතුමාගේ රාජකාරිය නීති හදන එක, ඒක කරන්න කියලා. තමන්ගේ පාර හදා ගැනීම, දුවගේ මඟුල් ගෙදර සාක්ෂියට අස්සන් කර ගැනීම වගේ දේවල් තමයි දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.
මේ තත්ත්වයන් යටතේ හැමදාම අහිංසක අසරණ මිනිස්සු එල්ලුම්ගස් යයි. මේ තරම් දූෂණ සමාජයේ තියෙද්දි තමයි අහක ඉන්න අයට ගල් ගහන්න හදන්නේ. අද හැමදේම දූෂිත වෙලා තියෙන්නෙ. පාලකයන් දූෂිතයි. ඒක නිසා මේ තත්ත්වයන් නැති කරලා යහපත් සමාජයක් හදලා අපි මරණ දඬුවම ගැන සලකා බලමු.

සංලාපය – රසිකා හේමමාලි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress