කෘෂි රසායන භාවිතයෙන් ලංකාව අංක එකට…දැන් කළ යුත්තේ කුමක්‌ද?
Posted on July 24th, 2018

සෞඛ්‍ය සම්පන්න, සමබල, පෝෂ්‍යදායී හා ගුණදායී ආහාර වේලක්‌ යනු සියලූ ම ජීවීන්ට තම පැවැත්ම සඳහා වූ අතිශය වැදගත් තීරණාත්මක සාධකයකි. ආහාරයක්‌ යනු මිනිසා හෝ සතුන් මගින් තම පැවැත්ම උදෙසා ආහාරයට ගනු ලබන ඕනෑම ආකාරයේ පෝෂක ද්‍රව්‍යයකි. නමුත් ආහාරවල ගුණාත්මකභාවය අද වන විට ලෝකයට ම පොදු ගැටලූවක්‌ ව පවතී.
 
 ලෝක ජනගහනය ඉහළ යැමත් සමගම වැඩි වූ ආහාර ඉල්ලූම සපුරාලීම සඳහා ආහාර නිෂ්පාදනය වැඩි කිරීම විසි වන දශකයේ මැද භාගය තුළ වූ ප්‍රබලතම ගැටලූවක්‌ විය. ඒ අනුව ආරම්භ වූ හරිත විප්ලවය ආහාර නිෂ්පාදනය වැඩි කිරීම උදෙසා සාර්ථක විසඳුමක්‌ ලෙස පෙනී ගිය ද, ඒ සමග ඇති වූ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අද වන විට ආහාරවල ගුණාත්මකභාවය උදෙසා ප්‍රබල තර්ජනයක්‌ ව පවතී. මෙම හරිත විප්ලවය සමග කෘතිමව නිෂ්පාදනය වූ විවිධ වර්ගයේ කෘෂි රසායනික ද්‍රව්‍ය කෘෂි කර්මාන්ත ක්‌ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. මුළු මහත් ලෝකයේම කෘෂිකාර්මික රටවල් අතුරු සිදුරු නොමැතිව මෙය දෝතින් වැළඳ ගත්තේ ඉන් ගොවියා ලැබූ පහසුවත් ලාභයත් නිසාය. නමුත් එදා වැළඳගත් එම විප්ලවය අනාගත කෘෂිකර්මාන්තයේ ගුණාත්මය සුනු විසුණු කරන හේතුවක්‌ වේ යෑයි ඔවුන් නොසිතන්නට ඇත.

krushi
 
 කෘෂි රසායනික ද්‍රව්‍ය අවභාවිතය හේතුවෙන් සිදු වන ආහාර අපවිත්‍රණය අද වන විට මුළු ලෝකයටම පොදු ගැටලුවක්‌ වී හමාරය. ගොවියා හෝ ආහාර නිෂ්පාදකයා තම වාසි ප්‍රයෝජන තකා කිසිදු වග විභාගයක්‌ නොමැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට හුරු වීම මෙයට ප්‍රධාන හේතුව විය.
 
 ආහාර අපවිත්‍රණයේ ආකාර
 
 ආහාර අපවිත්‍ර විය හැකි මූලික ආකාර තුනකි. 
 
 ; ජෛව අපවිත්‍රණය – කිසියම් ජීවියකු මගින් හෝ එම ජීවීන් මගින් නිපදවනු ලබන ජෛව නිෂ්පාදන මගින් ආහාර අපවිත්‍ර වීම.
 
 ; භෞතික අපවිත්‍රණය – කිසියම් බාහිර කාරකයක්‌ එක්‌ වීම මගින් ආහාර අපවිත්‍ර වීම.
 
 ; රසායනික අපවිත්‍රණය – බාහිර රසායනික ද්‍රව්‍ය එක්‌ වීම මගින් ආහාර අපවිත්‍ර වීම.
 
 ශ්‍රී ලංකාව කෘෂිරසායනික ද්‍රව්‍ය 
 
 භාවිතයෙන් ලෝකයේ අංක 1 ට
 
krushi2ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්‌ ලෙස ලොවම හමුවේ නම් දරමින් එය තුළින් ම වැළලීමට යන අවාසනාත්මක ඉරණමක්‌ අද වන විට දිස්‌ වෙමින් පවතී. පෙරදිග ධාන්‍යාගාරය නම් විරුදාවලිය ලැබූ අප රට එදා විදේශිකයන් විසින් විස්‌තර කළේ විසි කරන දණ්‌ඩ පවා පැලවෙන සශ්‍රීක භූමියක්‌ හිමි රටක්‌ ලෙසයි . නමුත් අද වන විට ශ්‍රී ලංකාව නම් දරා ඇති ආකාරය ගැන නම් සැබවින්ම අප ලැඡ්ජා විය යුතුය.
 
 ලංකාවේ මිලියන 1.7 ක ජනතාවක්‌ තම ප්‍රධාන ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තයේ යෙදී සිටී. එලෙසම වගාවට යෝග්‍ය මුළු භූමි ප්‍රමාණයෙන් 37.4 % ක ප්‍රමාණයක්‌ භාවිතා කරන්නේ ද කෘෂිකර්මාන්තයටයි. කෘෂිකර්මාන්තයට 29% ක පමණ ශ්‍රම බලකායක්‌ අයත් වන අතර ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායමෙන් 10% පමණ ද කෘෂිකර්මාන්තය මගින් සපයනු ලබයි (මහ බැංකු වාර්තාව, 2015).
 
 ලෝක ආහාර සංවිධානයට අනුව ශ්‍රී ලංකාව තුළ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය හෙක්‌ටයාරයට ඒකක 287 කි. ඒ අනුව භූමි අනුපාතයට අනුව ලෝකයේ වැඩි ම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. ලංකාවේ පොහොර භාවිතය 300.2 නටරැය් ක්‌ ලෙස වාර්තා වන අතර කෘමි නාශක භාවිතය ද ඉතා ඉහළ අගයක්‌ ගනී (ලෝක ආහාර සංවිධානය,2015).
 
 මීටත් වඩා ශෝචනීය තත්ත්වය සමාජ සමීක්‌ෂණ අනුව ගොවියා මෙම වාර්තාගත ප්‍රමාණයටත් වඩා විශාල ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය කෘෂිකර්මාන්තය තුළ භාවිතා කිරීමයි. එලෙසම ලංකාව තුළ නීතිමය ලෙස තහනම් කරන ලද කෘෂී රසායනික ද්‍රව්‍ය පවා ගොවීහු කිසිදු තහනමක්‌ නොමැතිවම භාවිතා කරතිs. 
 
 ශ්‍රී ලංකාවේ ආහාර හා සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ක්‍රමවත් පැවැත්ම උදෙසා කොතෙකුත් නීති අණපනත් නම් ඇත. 1860 තරම් ඈතක සිට ම මෙම නීති ක්‍රියාත්මක වන අතර අදටත් නව නීති සම්පාදනය වෙමින් පවතී. නමුත් මේවා මළ හෝ ලොඹු ලියකියවිලි පමණක්‌ බවට පත් වී ඇත. ලියවිල්ලකට පමණක්‌ සීමා වූ නීති, රටක්‌ තුළ පැවතීම රටේ ජනතාවගේ අභාග්‍යය ද නැත්නම් පාලකයන්ගේ අක්‍රීයභාවය ද යන්න සිතා බැලිය යුතු ය.
 
 වෙළෙඳ පොළේ ඇති වැඩි ප්‍රතිශතයක්‌ ආහාර කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් අපවිත්‍රයි 
 
 ශ්‍රී ලංකාවේ රස පරීක්‌ෂක දෙපාර්තමේන්තුවේ නවතම අධ්‍යයන වාර්තාවලට අනුව සාමාන්‍ය වෙළෙඳ පොළේ ඇති ආනයනික දොඩම්, මිදි හා ඇපල් වලින් 50% කෘමිනාශක අන්තර්ගත ව අපවිත්‍ර වී ඇත. එනම් ආහාරයට සුදුසු ප්‍රමාණය ඉක්‌මවා මෙම කෘමිනාශක ද්‍රව්‍ය අඩංගු වී ඇත. මෙම වාර්තා පෙන්වා දෙන්නේ -Chlorpyrifos හා Profenofos නම් කෘමිනාශක මේවායේ ප්‍රධාන ලෙස ම අඩංගු බවයි. මෙහි සඳහන් ඉතා වැදගත් අනෙක්‌ කරුණ නම් මෙම කෘමිනාශක ද්‍රව්‍ය දෙක ම ලංකාවේ භාවිතය නීතිමය ලෙස තහනම් වූ රසායනික ද්‍රව්‍ය බවයි (රස පරීක්‌ෂක දෙපාර්තමේන්තුව, 2018).
 
 තවද පලතුරු වල පමණක්‌ නොව තක්‌කාලි, වම්බටු හා අල වැනි විවිධ එළවළු වල ද 33% ක්‌ පමණ මෙවැනි කෘෂි රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම කෘමිනාශක අඩංගු වන බව විවිධ පර්යේෂණ වාර්තා තහවුරු කරයි (ඡේ.මුණසිංහ, 2017).
 
 ප්‍රතිඵලය දරුණුයි – මරණ අනුපාතය ඉහළට
 
 කෙසේ වෙතත් මෙම වග විභාගයක්‌ නොමැති කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵල අද වන විට අප ඇස්‌ ඉදිරි පිට ම දිස්‌ වෙමින් පවතියි. අද ශ්‍රී ලංකාවේ පිළිකා මරණ සංඛ්‍යාව වාර්තා ගත ලෙස දිනෙන් දින ඉහළ යන අතර විෂ සහිත සෞඛ්‍ය අනාරක්‌ෂිත ආහාර අනුභවය මේ සඳහා වූ එක ම හේතුව නොවූවත් ප්‍රබල හේතුවක්‌ බව නම් නො නොරහසකි.
 
 2010 වර්ෂයේ පමණක්‌ ලියාපදිංචි පිළිකා රෝගීන් ආසන්න වශයෙන් 16,963 පමණ වන අතර අද සෑම මරණ 10 කින් එකක්‌ ම වාර්තා වන්නේ පිළිකා රෝගීන් ලෙසයි (ජාතික පිළිකා ලියාපදිංචි ඒකකය,2018 ). එලෙසම වකුගඩු රෝගීන් සංඛ්‍යාව ද අති විශාල ලෙස වැඩි වෙමින් පවතී. මෙම CKD (Chronic Kidney
 Disease) නම් ප්‍රබල වකුගඩු රෝගය වැඩි වශයෙන් ම වාර්තා වන්නේ උතුරු මැද, නැගෙනහිර, වයඹ හා ඌව වැනි වී වගාව බහුල ප්‍රදේශවලින් වීම මෙම වකුගඩු රෝගය හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අතර ඇති සම්බන්ධතාවයේ සැකය තහවුරු කරයි. උදාහරණයක්‌ ලෙස මහවැලි කලාපයෙන් පමණක්‌ වාර්තාව වී ඇති වකුගඩු රෝගීන් ප්‍රමාණ 9,000 ඉක්‌මවයි (ඡේ.මුණසිංහ, 2017). එපමණක්‌ නොව බොහොමයක්‌ බෝ නොවන රෝග (දියවැඩියාව, හෘද රෝග ආදී) ඇති වීමේ ප්‍රතිශතය ද ඉතා කනගාටුදායක අන්දමින් වැඩි වෙමින් පවතී. මරණ 75%කටම අද හේතුව වී ඇත්තේ මෙම බෝ නොවන රෝගයි (සෞඛ්‍ය අමාත්‍යාංශය,2015).
 
 පරිසරය හා ආර්ථිකය අනතුරේ
 
 වග විභාගයක්‌ නොමැති මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සෞඛ්‍යයට පමණක්‌ නොව රටේ ආර්ථිකයට ද මරු පහරකි. එදා ලාංකීය කෘෂි නිෂ්පාදන වලට තිබූ ජාත්‍යන්තර කීර්තිය හා ඉල්ලුම අද වන විට අඩු වෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අපගේ ආහාර නිෂ්පාදන වල අඩංගු කෘෂි රසායනික ද්‍රව්‍ය මට්‌ටම පිළිගත් ඉහළ ම මට්‌ටම ද අභිබවා තිබීමයි. ඉතා ආසන්න උදාහරණයක්‌ ලෙස තේ වගාවේ ජාත්‍යන්තර වෙළඳ ඉල්ලුම පහළ යැම දැක්‌විය හැක. 
 
 මිනිසාගේ සෞඛ්‍යයට, ආර්ථිකයට මෙන් ම පරිසරයට ද කෘෂි රසායනික ද්‍රව්‍ය අවභාවිතය අතිශය සංකීර්ණ ලෙස බලපා ඇත. පාරිසරික සමතුලිතභාවය අද වන විට සහමුලින්ම වාගේ බිඳ වැටෙමින් පවතින අතර ඊට ද ප්‍රධාන ලෙස මෙම අධික හා අක්‍රමවත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය හේතු වී ඇත. පරිසරය තුළ ස්‌වාභාවික ලෙස සිදු වන්නා වූ ජෛව යාමනය සහමුලින්ම බිඳ වැටී ඇත. අහිතකර මෙන් ම වගාවට හිතකර සතුන් ද මේ හේතුවෙන් වඳ වී ගොස්‌ හමාර ය. ගැඩවිලකු, සළඹයෙකු හෝ වී කුරුල්ලෙකු දැකීම පවා අද අපහසු වී ඇත. ආහාර දාම බිඳ වැටෙමින් පවතී. මිනිසාගේ දෑසට මේවා පෙනෙනුයේ කලාතුරකිනි. සිතා බලන්න එදා ඔබ අවට වටපිටාවේ නෙත ගැටුණු කුඩා කෘමීන් හෝ සතුන් අද සිටිනවා ද? මෙය සතුටු විය හැකි තත්ත්වයක්‌ නොවන බව වටහා ගන්න. මෙයින් පෙනී යන්නේ මිනිසාගේ මැදිහත් වීම තුළ පරිසරයේ ජෛව විවිධත්වය හා සමතුලිතභාවය බිඳ වැටෙන බවයි. මිනිසාගේ මෙම නොමනා ක්‍රියා කලාපයේ පිළිතුර වන්නේ ඉතා ප්‍රබල හා හානි පමුණුවන පළිබෝධකයින්, විලෝපිතයින් හා ක්‌ෂුද්‍ර ජීවී විශේෂ පරිසරය තුළ බහුල වීමයි. එපමණක්‌ නොව බෝග වගා අබිබවා වර්ධනය වන තර්ජනකාරී, ආක්‍රමණශීලී පැළ ද මීට යම් ආකාරයක නිදසුනකි.
 
 අප කළ යුත්තේ කුමක්‌ ද ?
 
 විසඳුම් නම් කොතෙකුත් ඇත. වඩාත් වැදගත් වන්නේ තිරසාරවූත් ප්‍රායෝගිකවූත් විසඳුම් කරා වහ වහා එළඹීමයි. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සහමුලින්ම නවතා දැමීම කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න සිතා බැලිය යුතු ය. ඊට වඩා ප්‍රායෝගික කාලීන විසඳුම් අප සතු ව නොතිබිය නොහැක.
 
 අප ලෙඩක්‌ සෑදුණු විට බටහිර ඖෂධ ලබා ගනී. එය අද වන විට ඉතා සුලභ සාමාන්‍ය කරුණකි. නමුත් මේ සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ පවතී. වෛද්‍ය උපදෙස්‌ හා නිර්දේශ යන්ට අනුව පමණක්‌ අප ඖෂධ ලබාගත යුතු ය. නැතහොත් හිතුමතයේ ඖෂධ භාවිතය ලෙඩ සුව වීම වෙනුවට මරණයට පවා හේතු විය හැකි ය. මෙය ගහ කොළ ට හා පරිසරයට ද පොදු ය. ඉතා අල්ප ප්‍රමාණ පවා උග්‍ර විෂ දෙන කෘෂි රසායනික ද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක ඕනෑම හේතුවක්‌ උදෙසා ඕනෑම ප්‍රමාණ වලින් මිලදී ගැනීමටත් විකිණීමට නිදහස ඇත. කුඩා දරුවෙකුට පවා මේවා මිලදී ගැනීමටත් විකිණීමටත් පුළුවන. එලෙසම කිසිදු සැලකීමකින් තොර ව ගොවියාගේ හිතුමනාපයට ඕනෑම ප්‍රමාණයක්‌ ඕනෑම වර්ගයක්‌ තම වගාවට භාවිතා කිරීමට ද නිදහස ඇත. 
 
 අප පළමුව සිතා බැලිය යුතු කරුණු වන්නේ මේවා යි. නීති සම්පාදනය විය යුත්තේ මේ සදහායි. පළමුව හා ප්‍රධාන ලෙස ම මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිය හා මිල දී ගැනීම නියාමනය කළ යුතු ය. ක්‍රමවත් කළ යුතු ය. එලෙසම භාවිතය ද සුපරීක්‌ෂාකාරී කළ යුතු ය. කෘෂි රසායනික ද්‍රව්‍ය වර්ගය, ප්‍රමාණය පමණක්‌ නොව භාවිතා කළ යුතු ආකාරය ද ආරක්‌ෂාකාරී වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙතරම් උපදෙස්‌ හෝ අවවාද දුන්නත් මෙරට ගොවීහු මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ කිසිදු සැලකිල්ලක්‌ නොමැතිවය. වරද සිදු වන තැන මෙය යි. එය නිවැරදි නොකර තවදුරටත් කල් මැරීම කළ නොහැකි ය. ලංකාවේ බොහොමයක්‌ වගා බිම් කුඩා බිම් කැබලි වශයෙන් විසිරී පැතිරී ඇත. එබැවින් කෘෂී දත්ත හා උපදෙස්‌ සම්ප්‍රේෂණය බොහෝ දුරට දුර්වල තත්ත්වයක පවතී. මෙය ද මෙම අපරික්‌ෂාකාරී රසායනික ද්‍රව්‍ය භාවිතයට යම්තාක්‌ දුරට හේතු වේ. එබැවින් රජය මගින් නව සැලසුම් ඔස්‌සේ කෘෂි දත්ත හා උපදෙස්‌ සම්ප්‍රේෂණය ක්‍රමවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. 
 
 ජාත්‍යන්තර ව පිළිගත් සෑම රටකට ම පොදු තත්ත්ව පරීක්‌ෂණ නිර්ණායක පැවතීමත් ඊට අනුකූල ආහාර පමණක්‌ රට තුළට ගෙන් වීමට වග බලා ගැනීමත් ප්‍රධාන වේ. සාමාන්‍ය වෙළඳ පොළට ඇතුල් වීමට පෙර දේශීය නිෂ්පාදන මෙන් ම ආනයනික ආහාර සදහා ගුණාත්මක තත්ව සහතික ලබාදීම අනිවාර්ය කළ යුතු ය.
 
 පාරිභෝගිකයන්ට තමා මිල දී ගන්නා ආහාරවල තත්ත්වය නිවැරදිව නිර්ණය කර ගැනීමට හැකි වන පරිදි ක්‍රමවත් තොරතුරු කේත ක්‍රමයක්‌ හඳුන්වා දිය යුතු ය. මේවා අරුම පුදුම ක්‍රියා නොවේ. අද වන විටත් ලෝකයේ බොහොමයක්‌ රටවල් වල ක්‍රියාත්මක වන ආරක්‌ෂාකාරී ක්‍රම වේදයන් ය. ඉතින් අපට මෙලෙස වෙනස්‌ විය නොහැකි විය නොහැක. කොළ පුරවන විසඳුම් සොයන කාලය ඉක්‌මවා ගොස්‌ ඇත. ක්‍රියාත්මක විය යුතුය. මෙම පවත්නා වැරදි වෙනස්‌ විය යුතුය. වෙනස්‌ කළ යුතුය. නිවැරදි විය යුතුය. පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයා එක ලෙස දැනුවත් විය යුතු ය. එලෙසම පාලකයින් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුය.
 
  * නදීරා යුමාලි (BSc. in Agriculture)
 
 බෝග අධ්‍යයන අංශය, කෘෂිකර්ම පීඨය, 
 රුහුණ විශ්වවිද්‍යාලය. 
 (උපදේශනය – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් සේනාරත්න, හිටපු උප කුලපති, රුහුණ විශ්ව විද්‍යාලය

2 Responses to “කෘෂි රසායන භාවිතයෙන් ලංකාව අංක එකට…දැන් කළ යුත්තේ කුමක්‌ද?”

  1. Lionel Says:

    Thank you LankaWeb for quoting this article. This is an eye opener for the so called Pundits who try to promote pesticide use in Sri Lanka. It is glad to see at least few people in the agricultural education sector in Sri Lanka has understood the severity of easy access to any pesticide for farmers in Sri Lanka and the lack of proper extension service to educate farmers on proper use of pesticides.

  2. Christie Says:

    Look at the picture.

    Where are the protective clothing?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress