රටත් කා ගමත් කා අපත් කන එට්‌කා අංක 1,2,3
Posted on July 24th, 2018

මේ කතුවැකියේ අනු මාතෘකාව ලෙස දැක්‌වෙන බාල්දිරෙ ප්‍යාර්කෙරේ මගින් බැලූ බැල්මට නිරූපණය කරනු ලබන්නේ හින්දි වචන දෙකකි. එහෙත් මෙහි නියම තේරුම ‘බාල්දි රෙපයාර් කෙරේ’ හෙවත් බාල්දි අලුත්වැඩියා කරනු ලැබේ යන්නයි. මෙයට අවුරුදු විස්‌සකට පෙර මේ රටේ සිටි තරුණ පරපුර අතර මේ වචන දෙක ඉතා ජනප්‍රිය විය. කවටකම් ප්‍රියකළ තරුණයෝ හින්දි චිත්‍රපටයක නමක්‌ සේ සලකා මිනිසුන් නොමඟ යෑවීමට මේ වචන පාවිච්චි කරන ලදහ. මෙහි තේරුම දැනගත් විට සියලු දෙනාටම සිනාසීමට හැකි විය. පසුගිය දිනවල මේ තීරුව ඔස්‌සේ අප සාකච්ඡා කළේ එට්‌කා ගිවිසුමේ විභවය ගැනය. එම ගිවිසුමේ ඉංග්‍රීසි නම Economic and Technology Co-operation Agreement ය . සිංහල නම ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුමය. මේ නම් දෙක දකින විට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඉන්දියාව අප කෙරෙහි පතල කරුණාවෙන් තම රටේ සිටින බඩවල් මිලියන ගණනද, ශ්‍රමිකයන් මිලියන ගණනද, දුප්පතුන් කෝටි ගණනද අමතක කර අපගේ හිත සුව පිණිස ආර්ථික සහ තාක්‍ෂණික ගේමක්‌ ගහන්නට යන බවය. එහෙත් එට්‌කා ගිවිසුමේ ඇතුළාන්තය දෙස බැලීමේදී පෙනී යන්නේ එය ඉතාම කෲර විහිළුවක්‌ බවය. බාල්දිරෙ ප්‍යාර්කෙරේ හින්දි නමක්‌ සේ පෙනුනද, ඇතුළතින් සිංහලය. එට්‌කාව (ලංකාවට පක්‍ෂපාත) සහයෝගිතා ගිවිසුමක්‌ ලෙස පිටතින් පෙනුනද, ඇතුළතින් (ඉන්දියානු) ව්‍යාප්තවාදීය. ඉන්දියාව කවදාහරි දවසක අප ගිල දමන බව රෝහණ විඡේවීර 1968 දී පමණ දුටුවේය. මේ කතුවැකි පෙළෙහි පළමු කොටසින් පැහැදිලි කරන ලද පරිදි ඔහු තම සංවිධානයේ සාමාජිකත්වය දැනුවත් කිරීම සඳහා පිළියෙළ කළ පන්ති පහෙන් තුන්වන පන්තිය වූ ඉන්දියානු ව්‍යාප්තවාදය මගින් ඒ බව තහවුරු කර දෙන්නේය. කලාපයේ ආනයන අපනයන ඒකාධිකාරය තම අතේ රඳවා ගැනීම සඳහා ඉන්දියානු ප්‍රාග්ධනය ක්‍රියාකරන බව ද විඡේවීර මේ පන්තිය මගින් විග්‍රහ කළේය. ඉන්දියානු ධනවාදී අර්ථපතිත්වය ඔවුන්ගේ භූමියේ දෙපා තබාගෙන ඉන්දියානු ධනවාදීන් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සාරය උරාබොනු ඇතැයි විඡේවීර තර්ක කළේය. ‘චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්‍ෂය වූ කලී ඉන්දියානු දෙමළ ජනයාගේ ශ්‍රී ලාංකික ශාඛාවකි. ඉන්දියානු චිත්‍රපට සහ සඟරා මගින් ඉන්දියානු සංස්‌කෘතිය ශ්‍රී ලංකාව තුළ වපුරා ඇත.’ විඡේවීර තවදුරටත් කීවේය.
 
 එට්‌කා ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු කිසිදු ඩියුටියක්‌ නොගෙවා බඩු භාණ්‌ඩ රාශියකට මෙරටට ඇතුළුවීමට හැකි බව අපි මේ කතු වැකි පෙළ මගින් පැහැදිලි කර දී ඇත්තෙමු. එවිට එම බඩු ඉතාම ලාබෙට මෙරට තුළ විකිණිය හැකිය. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාවේ නිපදවන බිස්‌කට්‌ එකක්‌ ගනිමු. මේ බිස්‌කට්‌ එක සෑදීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ඉන්දියාවේ නිපදවනු ලැබේ. බිස්‌කට්‌ හදන පාන්පිටි නිෂ්පාදනය කරන්නේ තිරිඟු වලිනි. ඉන්දියාවේ තිරිඟු නිපදවනු ලැබේ. බිස්‌කට්‌වලට අවශ්‍ය කිරිපිටි ඉන්දියාවේ අමුල් සමාගම නිපදවනු ලැබේ. බිස්‌කට්‌වලට අවශ්‍ය සීනි, ලුණු, යීස්‌ට්‌ යනාදිය ද ඉන්දියාව තුළ නිපදවනු ලැබේ. මේ බඩු එකක්‌වත් පිටරටින් ගෙන්වන්නේ නැත. ඒ නිසා ඒවාට රේගු බදු එකතු වන්නේ නැත. මේ අනුව ලංකාවේ බිස්‌කට්‌ එකක්‌ හැදීමට යන පිරිවැයෙන් ඉන්දියාව තුළ බිස්‌කට්‌ හතරක්‌ හැදිය හැකිය. ලංකාවේ බිස්‌කට්‌ නිෂ්පාදකයා සියලු අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වයි. ඒවාට රේගු බදුත් ගෙවයි. යම් හෙයකින් එට්‌කා ගිවිසුම යටතේ කිසිදු ඩියුටියක්‌ නැතිව ඉන්දියානු බිස්‌කට්‌ ලාබෙට ලංකාවට එන්නට පටන් ගත්තොත් මේ රටේ ජනයා ගන්නේ එම ඉන්දියන් බිස්‌කට්‌ ය. සාක්‌කුව, එහි ඇති පර්ස්‌ එක සහ ඒ තුළ ඇති මුදල් යන පාර්ශ්වකරුවෝ දේශප්‍රේමය නොහඳුනති. ඔවුන්ට ස්‌වදේශානුරාගය ගැන දැනුමක්‌ නැත. ඔවුන්ගේ පළමු තේරීමත් අඩු මිල බඩුය දෙවන තේරීමත් අඩු මිල බඩු ය. තෙවන තේරීමත් අඩු මිල බඩු ය. මේ නිසා දේශීය බිස්‌කට්‌ නිෂ්පාදකයාට සිදුවන්නේ බිස්‌කට්‌ නිපදවීම නවත්වා මස්‌කට්‌ නිපදවීමටය. එහෙත් බිස්‌කට්‌වලට තරම් ඉල්ලුමක්‌ මස්‌කට්‌වලට නැත. ඉල්ලුමක්‌ තිබුණත් හොඳම ඉන්දියන් එළඟිතෙල්, හොඳම ඉන්දියන් සීනි සහ හොඳම ඉන්දියන් පිටි යොදා ලංකාවේ නිපදවනවාට වඩා ලාබෙට ඉන්දියාවේදී මස්‌කට්‌ හදා ලංකාව තුළ විකිණීමට ඉන්දියාවට පුළුවන. එට්‌කා ආවොත් අපේ චොකලට්‌, ටොපි, පැණිබීම ඇතුළු රස කැවිලි නිෂ්පාදනය මහපොළොවට සමතලා වනවා ඇත. ප්ලාස්‌ටික්‌ බඩු ඇලුමිනියම් බඩු, රබර් නිෂ්පාදන කිලෝ ගාණට යනවා ඇත. ඉන්දියානු ශ්‍රමිකයන් ඉතා අඩු කුලියට මෙහි වැඩට ඒමට ඉඩ ඇති බැවින් අපේ ශ්‍රමිකයන්ට හිඟාකෑමට සිදුවනවා ඇත. එට්‌කා ගිවිසුම ක්‍රියාත්මක වීමට විරුද්ධව මුළු ලංකාවම මහපාරට බැසිය යුතු අතර මේ ගිවිසුම ක්‍රියාත්මක වුණොත් අපට සිදුවනු ඇත්තේ ඉන්දියාවේ කැඩුණ බාල්දි රෙපයාර් කරදී ජීවිත ගැට ගසා ගන්නටය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress