ඊලාම් යුද්ධය සහ මානසික සෞඛ්‍යය
Posted on July 25th, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

ඊලාම් යුද්ධයේ දුර්විපාක සමාජය හඳුනාගන්නා කාලය තෙක් මනෝ විද්‍යාත්මක රෝගාබාධයක් වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post-traumatic stress disorder -PTSD)  ශ්‍රී ලාංකාවට ආගන්තුක රෝග තත්වයක් විය​. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකානු සමාජය වියට්නාම් සින්ඩ්‍රෝමය හඳුනාගත්තාක් සේ ඊලාම් යුද්ධයෙන් පසුව ශ්‍රී ලාංකික සමාජය පලාලි සින්ඩ්‍රෝමය හෙවත් සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හඳුනා ගන්නා ලදි.  එහෙත් මෙම ආබාධය හඳුනාගන්නා විට එකී ආබාධය විසින් සමාජය තුල පුද්ගල මෙන්ම පොදු සංකූලතාවන් ඇති කොට තිබුනි.  තිස් වසරක ඊලාම් යුද්ධය විසින් සාමූහික ව්‍යසනයක් (Collective Trauma ) ඇති කරන ලදි 

ඊලාම් යුද්ධය නිල වශයෙන් ආරම්භ වන ලද්දේ 1983 ලෙස සලකනු ලැබේ. එහෙත් ඊට පෙර කාලයක සිටම උතුරේ ආයුධ සන්නද්ධ ක්‍රියාදාමයන් සිදු වන ලදි. 1972 වසරේදී ද්‍රවිඩ ප්‍රහාරාත්මක කණ්ඩායමක් විසින් යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගනයේ බෝම්බ කිහිපයක් පුපුරවන ලදි. 1974 වසරේදී කන්කසන්තුරේ පොලිස් ස්ථානයට  අත් බෝම්බයක් විසි කරන ලද  බවට වාර්තා වෙයි . 1975 ජූලි මාසයේදී ප්‍රභාකරන් විසින් යාපනේ පුරපති දොරේ අප්පා මහතාව ඝාතනය කරන ලදි. 1981 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු යාපනයේදී වෙඩි තබා ඝාතනය කරන ලදි. 

මෙලෙස සුළු වශයෙන් පැවති අවි ගැටුම් 1983 දී විශාල ප්‍රහාරයක් ලෙස එලි දැක්කේය​. 1983 ජූලි මාසයේදී ප්‍රභාකරන් සමග ඔහුගේ සාමාජිකයන් විසින් බිම් බෝම්බයක් අටවා හමුදාවේ සාමාජිකයන් 13 දෙනෙකු මරා දමන ලදි. මෙම සිද්ධිය වාර්ගික කෝලාහලයක් ලෙස පැන නැගුනේය​. මෙලෙස 1983 නිල වශයෙන් ඇරඹි ඊලාම් යුද්ධය 2009 වසරේ මැයි මාසය දක්වා පැමේ කාලය තුල පුද්ගලයන් දස දහස් ගනනක් මරු දුටුහ​, බොහෝ පිරිසක් කායික මෙන්ම මානසිකව​ ආබාධිත වූහ​. එසේම රුපියල් බිලියන ගනනක් වටිනා දේපළ විනාශ විය​. 

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ද්‍රවිඩ බෙදුම් වාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් ගනනාවක් දියත් කරන ලදි. 1987 වසරේ මැයි මාසයේ ඇරඹි වඩමාරච්චි මෙහෙයුමේ සිට 2009 වසර දක්වා යුද මෙහෙයුම් තිබුණි.යුද්ධයේදී තුවාල වන සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රශස්ථ වෛද්‍ය සේවයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා හමුදාවනට හැකි විය​. යුද්දයේදී සිවිල් වෛද්‍යවරු මෙන්ම හමුදා වෛද්‍යවරු සේවය කලහ​. 

ඉතා විශිෂ්ඨ ගනයේ ශල්‍ය වෛද්‍යවරු යුද කළාප වල සේවය කලහ​. එහෙත් මෙම 30 වසරක යුද කාලයේදී   සුදුසුකම් ලත් එක මනෝ විද්‍යාඥයෙකු හෝ ත්‍රිවිධ හමුදා සතු නොවූහ​.  මනෝ විද්‍යාඥයන් ගෙන් සහ මනෝ චිකිත්සකයන් ගෙන් තොරව ඊලාම් යුද්ධයේ ප්‍රධාන අවධීන් ගෙවී යන ලදි. යුද , නාවික සහ ගුවන් හමුදාවනට අනුබද්ධව තාවකාලික පදනමින් මනෝ වෛද්‍යවරු ස්වල්ප දෙනෙක් සතියට දිනක් හෝ දෙවරක් හමුදා රෝහල් වල සේවය කලහ​. මුළු යුද හමුදාව සඳහා 2006 වසර තෙක් යොදවා සිටියේ  සතියට එක් දිනක් පමණක් හමුදා රෝහලට පැමිණි එක් බාහිර මනෝ වෛද්‍යවරයෙකු පම​ණි. 

යුද මෙහෙයවුම් සැලසුම් කල විශේෂඥයන් මූලික වශයෙන් අවධානය යොමු කලේ  යුද්ධයේදී සිදු වන කායික තුවාල වලට පමණි. යුද්ධයේදී සිදු වන මානසික තුවාල වලට ප්‍රතිකාර කිරීම ඔවුනට අතපසු වන ලදි. මෙය ඊලාම් යුද්ධයේදී සිදු කරන ලද ඉතා බරපතල වරදක් වූ අතර එම නිසා සොල්දාදුවන් දහස් ගනනක් යුද ආතතියට මෙන්ම බොහෝ මානසික රෝග වලට ගොදුරු වූහ​. යුද්ධයේ ආරම්භයේ සිටම සංග්‍රාමය සමග බද්ධ වූ මනෝ විද්‍යාත්මක දුර්විපාක පිලිබඳව දැණුමක් හමුදා නායකයින් තුල නොවීය​. බොහෝ දෙනෙකුට එය නොදැනුවත්කම නිසා අතපසු විය​. මෙම සාධකය ඇතැමුන් විසින් පෙන්වා දුන්නද යුද මොරාල් එකට ඉන් අහිතකර බලපෑමක් වනු ඇතැයි සාවධ්‍ය නිගමනය මත එය පසෙකට දමන ලදි. මේ නිසා යුද කලාප වලදී බොහෝ සංග්‍රාමය සමග බද්ධ වූ මනෝ විද්‍යාත්මක සංකූලතා මතු විය​. සොල්දාදුවන් බොහෝ දෙනෙකු යුද කළාප වලදී සිය දිවි නසා ගන්නා ලදි. එසේම බොහෝ පිරිසක් හමුදාවෙන් පළා ගියහ​. 

එහෙත් තීක්‍ෂණ ඥානයක් තිබූ ඉතා සුළුතරයක් වූ හමුදා නිලධාරීන් පිරිසකට යුද්ධය ආශ්‍රිතව මනෝ විද්‍යාත්මක සාධකයන් මතුවන බව වැටහිනි. මොවුන් පළවන මෙන්ම දෙවන ලෝක යුද්ධය සහ වියට්නාම් – කොරියානු යුද්ධයන් පිලිබඳ කියවා මනා දැණුමකින් සිටි පුද්ගලයන් වූහ​. තමන් ගේ ඒකක වල සොල්දාදුවන් විසින් සටනේදී සහ සටනින් පසුව පෙන්වන ලද මනෝ විද්‍යාත්මක ප්‍රතික්‍රියා පිලිබඳව අවධානයක් ඔවුන් විසින් යොමු කරන ලදි. එහෙත් බහුතරයක් වූ නිලධාරීන් මෙම ප්‍රතික්‍රියා බියගුළු කම නිසා මතු වන බව සලකා යුද ආතතියෙන් පෙලෙනවුන්ට ඉතා කර්කශ ලෙස සලකන ලදි. මේ නිසා බොහෝ දෙනෙකු ගේ රෝගී තත්වයන් උත්සන්න විය​. 

යුද්දය නිසා මතුවන මානසික ප්‍රතික්‍රියා පිලිබඳව බොහෝ වෛද්‍යවරුන්ට දැනුමක් තිබුනේ නැත​. එහෙත් 1978 වැනි කාලයක උතුරේ සේවය කල එක් පොලිස් නිලධාරියෙකු විසින් පෙන්වන ලද ක්ලමථ ප්‍රතික්‍රියාවන් පිලිබඳ මීගමුව ප්‍රදේශයේ  සේවය කල එක් වෛද්‍යවරයෙකු  ගේ අවධානයට ලක් විය​. එහෙත් ඒ පිලිබඳබ සායනික කථිකාවක් සිදු නොවීය​. 

යුද්ධයේ භයංකාරත්වය සමග යුද ආතතිය සොල්දාදුවන් තුල වර්ධනය විය​. එහෙත්  හමුදාවන් වල සිටි තීරණ ගැනීමට බලය තිබූ උසස් නිලධාරීන්ට ඒ පිලිබඳව ප්‍රාග් ඥාණයක් නොවීය​. එසේම මේ කාලයේ  හමුදාවන් වල සේවය කල වෛද්‍යවරු බොහෝ දෙනෙකුටද මෙම තත්වය ගැන කිසිදු අවබෝධයක් නොවීය​. මේ කාලය තුල යුද ආතතිය හෝ සංග්‍රාම විඩාව පිලිබඳව කිසිම සායනික  සාකච්ඡාවන් වෛද්‍ය ප්‍රජාව අතර සිදු නොවීය​. 

1984 වැනි අතීත කාලයක එක් ලුතිනන්වරයෙකු තමන් ගේ ඒකකයේ සිටි සමහරක් සොල්දාදුවන් විසින් පෙන්වන ලද යුදමය ක්ලමථ ප්‍රතික්‍රියා නිරීක්‍ෂණය කරනු ලැබීය​. ඔවුන් අතර පැතිරෙන නොසන්සුන්කම , සමහරක් විට විනය නොතකා ක්‍රියා කිරීම , නින්දේදී බියට පත් වීම​, අධි කෝප ප්‍රතික්‍රියා , ඔහුගේ විමසුමට ලක් විය​. එහෙත් උසස් නිලධාරීන් කිසිවෙකු මේ ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත​. 

1985 වසරේදී කොටි ත්‍රස්තවාදීන් විසින් අනුරාධපුර නගරයට කඩා වැදී සිවිල් වැසියන් සිය ගනනාවකට වෙඩි තබා ඝාතනය කරන ලදි. මේ අනපේක්‍ෂිත ඝාතන නිසා අනුරාධපුර නගරයේ වාර්ගික කෝලහල පැන නැග්ගේය​. නගරයේ සිටි ද්‍රවිඩ වැසියන් ආරක්‍ෂාකාරී ලෙස ඉවත් කිරීම ඇරඹිනි. මේ අවස්ථාවේදී අධි කෝපයට පත්වූ එක් සෙබලෙකු විසින් තම ගිනි අවියෙන් වෙඩි තබා නිරායුද ද්‍රවිඩ සිවිල් වැසියන් කිහිප  දෙනෙකු ඝාතනය කරන ලදි. තීව්‍ර  ප්‍රතික්‍රියාවකට ලක්වූ මෙම සොල්දාදුවාව පාළනය කර ගැනීමට ඔහුගේ අණ දෙන නිලධාරියාටද නොහැකි විය​. ඒ නිසා අණ දෙන නිලධාරියා විසින් වෙඩි තබා උක්ත සෙබලාව මරා දමන ලදි. මෙකී සිදුවීමෙන් පසුවද යුද්ධය හා ක්ලමථ ප්‍රතික්‍රියා පිලිබඳ කතිකාවක් ගොඩ නඟා ගන්නට බලධාරීන් අසමත් වූහ​. 

ශ්‍රී ලංකා හමුදාවන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර යුද ගැටුම් උත්සන්න වෙමින් පැවතිනි.   මේ නිසා හමුදා රෝහල් තුවාලකරුවන් ගෙන් පිරී යන ලදි. එහෙත් ප්‍රමුඛතාව දෙන ලද්දේ කායික තුවාල වලට පමණි. යුද්ධය නිසා මානසිකව තුවාල ලැබූවන් නොසලකා හරින ලද්දේය​. ඔවුන්ව හඳුන්වන ලද්දේ ව්‍යාජ ලෙස රෝගාබාධ පෙන්වන්නන් / චොකලට් සොල්දාදුවන් / බොරුකාරයන් / බියගුල්ලන් ලෙසටය​.  කායික තුවාල ලද්දන් සඳහා  ප්‍රතිකාර කරන ලද්දේ ඔවුන් ගේ කායික තුවාල වලට පමණි.  ඔවුන්  මානසිකව ලත් තුවාල උග්‍ර වීමට ඉඩ දෙමින් කායික  තුවාල සුව වූ වහාම ඔවුන්ව නැවතත් යුධ පෙරමුණට යවන ලදි.

මේ අතර යුද කලාප වල වර්ධනය වන සිය දිවි නසා ගැනීම් , ශාරීරික හානි කර ගැනීම් (self harm)  , විනය විරෝධී ක්‍රියා., මෙහෙයවුම් වලදී පෙන්වන අඩු අභිප්‍රේරණය, හමුදාවෙන් පළා යාම් නිසා හමුදා නායකයන් සිටියේ විමතියෙනි. මේ සඳහා හේතු කුමක්ද කියා බොහෝ දෙනෙකුට අවබෝධයක් නොවීය​. සියළු අසාමාන්‍ය චර්‍යාවන් විනය විරෝධී චර්‍යා ලෙසට පොදුවේ හඳුන්වා මූලික ප්‍රශ්නය යටපත් කර දමන ලදි. අවම වශයෙන් යුද ආතතිය පිලිබඳ සොයා බැලීමට විද්වත් කමිටුවක් හෝ පත් කිරීමට හමුදා නායකත්වයට දැණුමක් තිබුනේ නැත​. 

 පළවන ලෝක මහ යුද්ධයේදී  ,  දෙවන ලෝක මහ යුද්ධයේදී  , කොරියානු යුද්ධයේදී     සහ වියට්නාම් යුද්ධයේදී යුද ආතතියේ ලක්‍ෂණ සොල්දාදුවන් විසින් පෙන්වනු ලැබීය​. එම ප්‍රතික්‍රියා යුද හා වෛද්‍ය විද්වතුන් විසින් අධ්‍යනය කරන ලදි. එහෙත් ඊලාම් යුද්ධයේදී බොහෝ කලක් යන තෙක් මේ කිසිවක් සිදු වූයේ නැත​. මේ නිසා යුද්ධය විසින් ඇති කල මානසික රෝගී තත්වයන් වර්ධනය විය​. 

යුද්ධය නිසා උතුරේ මෙන්ම දකුනේ සිවිල් වැසියන් බොහෝ දෙනෙකු කායික මෙන්ම මානසික රෝග තත්වයන්ට ගොදුරු වූහ​. 1998 වසරේදී මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් මහතා ඔහුගේ Scarred Minds කෘතිය හරහා ඊලාම් යුද්ධයේදී සිවිල් වැසියන්ට සිදුවූ කායික මානසික හානි පිළිබඳව පෙන්වා දෙනු ලැබීය​. එහෙත් යුද ආතතිය පිලිබඳව දකුණ තවමත් සිටියේ තම නොදැනුවත්කම යන අන්ධකාර වනාන්තරය තුලය​.   

යුද්ධය නිසා මානසික රෝග වල වර්ධනයක් තිබෙන බව මේ කාලයේදී මනෝ වෛද්‍ය රනිල් අබේනායක මහතා පෙන්වා දුන්නේය​. එහෙත් හමුදා නායකත්වය සංග්‍රාම විඩාව හෝ යුද ආතතිය තම හමුදාව ආක්‍රමණය කරන බවට සිතීමට මැලි වූහ​. තවද සමහරක් මනෝ වෛද්‍යවරු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ඇමරිකානු රෝගයක් බවත් ශ්‍රී ලංකාවේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය දක් නට නොමැති බවත් ප්‍රසිද්ධියේ කියන්නට වූහ​. මෙම සාවද්‍ය මතය නිසා යුද ආතතියට ප්‍රතිකාර කිරීම තව දුරටත් ප්‍රමාද විය.    

 වෛද්‍ය සරත් පඞුවාවල  සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු යුද හමුදාවේ බාහිර මනෝ වෛද්‍යවරු ලෙස සේවය කළහ​. ඊලාම් යුද්ධය ආශ්‍රිතව මනෝ විද්‍යාත්මක ක්ලමථ මෙන්ම කාංසා අක්‍රමතා ඔවුන් නිරීක්‍ෂණය කලහ​. වෛද්‍ය නීල් ප්‍රනාන්දු කොලඹ යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කිරීම සඳහා 2002 වසරේදී මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට මූලික විය​. මෙම ඒකකය මගින් යුද ආතතියට ලක්වූ සොල්දාදුවන්ට උපදේශන මෙන්ම මනෝ ප්‍රතිකාර ලබා දෙන ලදි. මේ ඒකකය ක්‍රියාත්මක වූයේ බොහෝ බාධා මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවන් මධ්‍යයේය​. යුද ආතතිය මෙන්ම සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  පිලිබඳව එවකට කොලඹ යුද හමුදා රෝහලේ සිටි අණ දෙන නිලධාරියාට දැණුමක් මෙන්ම විචක්‍ෂණභාවයක් නොවීය​. මේ නිසා නිසි අයුරින් මෙම ප්‍රතිකාර ඒකකයට සම්පත් ලබා දුන්නේ නැත​. එසේම මෙම නිලධාරියා ගේ මුල් වීමෙන් 2006 වසරේ මෙම ඒකකය වසා දමන ලදි. මේ නිසා ප්‍රතිකාර ලබා ගත නොහැකිව යුද ආතතියෙන් පෙළුණු සොල්දාදුවන් බොහෝ දෙනෙකු දිවි නසා ගන්නා ලදි. 2012 වසරේදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පෙන්වා දුන් අන්දමට 2009 – 2012 අතර කාලයේ යුද හමුදාවේ සොල්දාදුවන් 400කට ආසන්න ප්‍රමාණයක් දිවි නසාගෙන ඇත​. මේ සඳහා වගකිව යුතු හමුදා නිලධාරීන් තුල තිබූ නොදැනුවත් භාවය , සත්‍ය පිලි ගැනීමට තිබූ අකමැත්ත , අසංවේදී බව යන සාධක කැපී පෙනුනි. අවසානයේදී ඊලාම් යුද්ධයේ මනෝ විද්‍යාත්මක දුර්විපාක නිසා වින්දිතයන් බවට පත් වූයේ යුද පෙරමුණට ගිය සොල්දාදුවන් වූහ​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර මනෝ   වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග ඒකකයේ  2002 වසරේ සිට 2006 දක්වා සේවය කලේය. ඔහු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු – International Scientific Committee සාමාජිකයෙකි. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිළිබඳ පරියේෂකයෙකු වන ඔහු Shell Shock to Palali Syndrome -PTSD Sri Lanka Experience ග්‍රන්ථයේ කතුවරයාය ) 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress