චීනයටත් ඉන්දියාවටත් සමානව සලකන්න සිදුවී තිබෙන්නේ පාලකයන්ගේ දීනකම නිසයි
Posted on July 26th, 2018

අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 4,800ක ණයක් ලබා ගැනීම වෙනුවෙන් මත්තල ගුවන්තොටුපළ ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන කිහිපයක් විදේශයට පවරමින් සිටින බවට ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ආණ්ඩුවට චෝදනා කළේය.

එකී රුපියල් කෝටි 4,800න් කෝටි 2,000ක් 2019 වසරේ මෙරටට ලැබීමට නියමිත අතර රට හතර අත ණය කරමින් රාජ්‍ය දේපළ විකුණන වත්මන් හවුල් ආණ්ඩුවට එරෙහිව සමස්ත ජනතාව පෙළගස්වන බව මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

හේරත් මහතා පැවැසුවේ ආසියානු සංවර්ධන බැංකුව හා ආණ්ඩුව ඇති කරගත් ගිවිසුමෙහි 14 වැනි යෝජනා මාලාවේ සඳහන් පරිදි රටේ රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට මුදාහැරීමට ලැයිස්තුගත කර ඇති බවත් එහි ප්‍රථම පියවර මත්තල ගුවන්තොටුපළ 70%ක් ඉන්දියාවට පැවැරීම බවත්ය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (25දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘ආණ්ඩුවට දිගුකාලීන ආර්ථික දැක්මක් නැහැ. මේ නිසා ඊනියා ජාතික ආණ්ඩුව, පැවැති ආණ්ඩුව වගේම සිදු කරන්නේ රටේ සම්පත් විකිණීමත් ණය ගැනීමත් පමණයි. ආණ්ඩුව 2025 සඳහා ආර්ථික වැඩපිළිවෙළක් එළිදැක්වූවා. එයට අනුව ආසියානු සංවර්ධන අරමුදල සමඟ 2016 ගිවිසුමක් අස්සන් කළා. ගිවිසුමට අනුව ආණ්ඩුව ආසියානු සංවර්ධන අරමුදලට කොන්දේසි ගණනාවකට එකඟ වෙලා තිබෙනවා. ඉන් ප්‍රධාන එකක් වන්නේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීමයි. එම එකඟතාවට අනුව තමයි අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට යොදවන්නේ. ඊට අමතරව රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළ සඳහා නිදහස් කිරීමට ලැයිස්තු සකස් කරමින් තිබෙනවා. වරාය, ගුවන්තොටුපළ විකිණීමත් එම ආර්ථික ක්‍රියාමාර්ගවලම කොටසක්.

නිමල් සිරිපාල ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ඉන්දියානු සමාගමක් මත්තල ගුවන්තොටුපළ මිලදී ගන්න සූදානම් කියලා. ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම ගැන ලැජ්ජා විය යුතුයි. තමන් යටතේ තිබෙන ආයතනයක් විකිණීමට සිදු වන්නේ තමන්ගේ නොහැකියාව නිසායි. චීන ෂැංග්‍රිලා හෝටලයට යුද හමුදා කඳවුරේ ඉඩම දෙන කොට ඉන්දියාවට ඉඩමක් දෙනවා. එහෙම කරන්න සිදුවෙලා තිබෙන්නේ අපේ රටේ පාලකයන්ගේ දීනකම නිසායි. හම්බන්තොට වරාය චීනෙට දුන්නාම ඉන්දියාව ඒ පිළිබඳ කනස්සල්ලෙන් හිටියා. ඒ නිසා තමයි මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න ආණ්ඩුව කටයුතු කළේ.

අපේ රටේ ගුවන් සේවක සේවිකාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මත්තල පවත්වා ගෙන යා යුතු බව ගුවන් සේවයේ නිලධාරීන් යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුණා. විශාල වියදමක් නොකර එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබියදී මත්තල විකුණනවා.

අපි ආණ්ඩුවට අවධාරණය කරනවා රටේ සම්පත් විකිණීම වහාම නතර කරන්න කියලා.
ජ.වි.පෙ. මධ්‍යම කමිටු සමාජික වසන්ත සමරසිංහ,

‘පසුගියදා ආසියානු සංවර්ධන අරමුදලේ නියෝජිතයන් වෘත්තීය සමිති දැනුවත් කරන්න කියලා මේ රටට ආවා. ඔවුන්ගේ පැහැදිලි කිරීම්වලින් ඔප්පු වෙලා තිබෙනවා රාජ්‍ය ආයතන විකිණීමට ආණ්ඩුව ඔවුන් සමඟ පැහැදිලි එකඟතාවක ඉන්නවා කියලා. ඒ නිසා රනිල් – මෛත්‍රි දේපළ වෙන්දේසිකරුවන්ට අපි කියනවා විකිණීම වහා නවතනු කියලා. එසේ නොමැති නම් වැඩකරන ජනතාව සමඟ පාරට බහින්න අපි සූදානම්. රාජ්‍ය දේපළ රටේ සම්පත් ආරක්‍ෂා කර ගැනීමට පාරේ සටනක් අවශ්‍ය නම් පාරට බහින්න අපි සූදානම්.’

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙසේද පැවැසීය.

නිව්යෝර්ක් ටයිම්ස් චෝදනාව පාර්ලිමේන්තුවෙන්ම අවසන් වුණාද?

දූෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න විශේෂ අධිකරණ 3ක් පිහිටුවන්න දැනටමත් යෝජනා වෙලා තිබෙනවා. ඉන් එක් අධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබුණා. නමුත් එම ක්‍රියාමාර්ග සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ආණ්ඩුව එම අධිකරණ පිහිටුවා දූෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂට එරෙහිව තිබෙන චෝදනා පමණක් නොව මේ ආණ්ඩුවට එරෙහිව තිබෙන චෝදනාත් එම අධිකරණවලදී විභාග විය යුතුයි.

2015 අගෝස්තුවේදී ආණ්ඩුව හදන්න ජ.වි.පෙ. කිසිදු මැදිහත්වීමක් සිදු කළේ නැහැ. ජනාධිපතිවරණය අවස්ථාවේදී අපි රාජපක්‍ෂ පාලනය පරාජයට පත් කරන්න කටයුතු කළා. එසේ නොවුණා නම් අද අපේ රට මීට වඩා දූෂණයෙන් පිරී අඳුරු අගාධයකට වැටුණු රටක් බවට පත් වෙන්න ඉඩ තිබුණා.

මේ රටට හිට්ලර් කෙනෙක් වැනි පාලකයෙක් අවශ්‍යයි කියන මතය ගැන මොකද ජ.වි.පෙ. අදහස?

මිනීමරු ජාතිවාදී හිට්ලර්ලාවත්, පැසිස්ට්වාදී ජාතිවාදී ප්‍රභාකරන්ලාවත් කොහෙත්ම මේ රටට අවශ්‍ය නෑ. ඒ පාලන වර්ග 2ම සමස්ත ජනතාවම ප්‍රතික්‍ෂේප කරනවා. එවැනි පාලනයකට අපි ඉඩ දෙන්නේ නෑ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress