බැසිල්ගෙන් අනු සංවිධාන ජාලයක්
Posted on July 29th, 2018

ඉෂාරා ද සිල්වා, ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු උපුටා ගැන්ම ජනබල

තෝරාගත් විශේෂිත ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා අනු සංවිධාන ජාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, උපාධිධාරීන්, ගොවි, ධීවර, ව්‍යාපාරික,පෙරපාසල් ගුරුවරුන් ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම සංවිධාන ජාලය ස්ථාපිත කිරීමට නියමිතය.
ගොවි, ධීවර සහ උපාධිධාරී සංවිධාන ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩනැංවේ. ව්‍යාපාරික පෙරමුණු ජාලය නගර සහ පළාත් පාලන බල ප්‍රදේශ මට්ටමිනුත් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය රාජ්‍ය විශ්වවිද්‍යාලසියල්ලෙහිම ශාඛා සහිත ජාතික සංවිධානයක් ලෙසත් කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ ස්ථාපිත කිරීම අපේක්ෂාව බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ස්ථාපිත කෙරෙන මෙම සංවිධාන ජාලයට අදාළ සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවලදී පවත්වා තිබේ. මෙම අනු සංවිධාන ජාලය මෙරට දේශපාලන පක්ෂයක් සතු විශාලතම අනු සංවිධාන ජාලය බවට ගොඩනංවන බව බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබේ.
වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හේතුවෙන් සෑම ක්‍ෂේත්‍රයකින්ම බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ඉල්ලුමක් පොහොට්ටුවේ අනු සංවිධාන ජාලය වෙත ලැබෙමින් පවතින බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නායකත්වයෙන් පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ සහ පළාත් පාලන නියෝජිතයන්ගේ මෙහෙයවීම යටතේ ස්ථාපිත කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress