මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම
Posted on July 31st, 2018

මහාචාර්ය ජී.එල්. පීරිස්    කිරුළ පෙදෙස, කොළඹ

අධ්‍යක්‍ෂ ජනරාල්තුමා,

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,

ලේකම් කාර්යාල ගොඩනැගිල්ල,

කොළඹ 01.

 

හිතවත් මහත්මයාණෙනි,

මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම

2018 ජූලි 23 වෙනිදා මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකාවේ හිටපු විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා හැටියටද ජනාධිපතිවරයා කී කතාවේ සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට කැමැත්තෙමි. මෙම උළෙලේදී ජනාධිපතිවරයා කියා සිටියේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඉදිරිපත් නොවූ බවත්, ඒ අනුව පසුගිය රජය දරිද්‍රතාවයෙන් පෙළෙන දිස්ත්‍රික්ක වල ජනතාවට ජලය සැපයීම පැහැර හැරිය බවත්ය.

මා ද 2007 වසරේ සිට එම ආණ්ඩුවේ ඇමතිවරයෙකු විය. ඒ කාලයේදී මේ ව්‍යාපෘතිය ගැන අවස්ථා ගණනාවකදී ම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ හැටි මට මතකය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉඩම් අත්පත් කරගැනීම, නැවත පදිංචිකරවීම, හා ඉංජිනේරු සැලසුම් සැකසීම වැනි මූලික කටයුතු සඳහා මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන මෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන් බවත් මට මතකය. වාරිමාර්ග ව්‍යාපෘති දියුණු කිරීම මහින්ද චින්තන වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් විය. විදේශ කටයුතු ඇමතිවරයා හැටියට මේ ව්‍යාපෘතිය ගැන මම ජපානය, චීනය, සෞදි අරාබියාව හා ඉරානය වැනි රටවල  තනාපතිවරුන් මෙන් ම විදේශ කටයුතු ඇමතිවරුන් සමඟ ද සාකච්ඡා කර ඇත.

ජපානය මේ ව්‍යාපෘතිය ගැන සුබවාදී ලෙස ප්‍රතිචාර නොදැක්වුවද, 2007 දී පමණ සෞදි අරාබියාව මෙහි කළුගඟ අදියර සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟ වූ බව මට මතකය. 2012 දී මෙගා වොට් 30 ක ජල විදුලි ව්‍යාපෘතියක්ද සමඟ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් අවුරුදු 15 ක දිගුකාලීන ණයක් හැටියට ලබාදීමට චීන සංවර්ධන බැංකුව එකඟ විය. පාර්ලිමේන්තුවේ අය වැය විවාද මෙන්ම, මූල්‍ය කළමණාකරන වගකීම් පනතේ විධිවිධාන යටතේ, මුදල් අමාත්‍යංශය හා විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සපයන වාර්ථා කියවා බලා තිබෙන නිසා, මේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2010 ට බොහෝ කළින් බව මට මතකය. මෙයත් සමඟ ආරම්භ කරන ලද මැණික් ගඟ ව්‍යාපෘතිය 2009 දී සම්පූර්ණ කරන ලදී. කිරම ඔය 2010 දී සම්පූර්ණ විය. උමා ඔය 2009 දී ආරම්භ කරන ලදී. දැදුරු ඔය 2006 දී ආරම්භ වී 2012 සම්පූර්ණ විය. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය 2007 දී ආරම්භ වූ අතර එම ව්‍යාපෘති සමඟ කුඹුක්කන් ඔය, යාන් ඔය, හැඩ ඔය, උතුරු මධ්‍යම ප්‍රධාන ජල මාර්ගය, ගිං හා නිල්වලා වන ව්‍යාපෘතිද ආරම්භ වූ අතර එම වකවානුවේ පල වූ වාර්තා වල මේ ව්‍යාපෘති ගැන නිතරම සඳහන් විය.

මුදල් අමාත්‍යංශයේ 2010 වාර්තාවේ 247 වෙනි පිටුවේ සඳහන් වෙන පරිදි, 2010 දී කළුගඟ ව්‍යාපෘතිය සඳහා සෞදි අරාබියාවෙන් ඩොලර් මිලියන 46 ක් ලැබී තිබුණි. එම ව්‍යාපෘතිය 2014 වන විට සම්පූර්ණ කළ යුතු විය. මුදල් අමාත්‍යංශයේ 2012 වාර්තාවේ 265 වෙනි පිටුවේ සඳහන් වෙන පරිදි, මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපාදන ලබාගෙන තියෙන බව සඳහන් වේ. මේ ව්‍යාපෘතිය වේල්ලක්, ඇල මාර්ගයක්, විදුලි බලාගාරයක් ඇතුලු අංගවලින් සමන්විත විය යුතු විය. ඒ අනුව මේ ව්‍යාපෘතිය 2007 දී ආරම්භ වූ බවත්, ඒ සඳහා විදේශීය ණය ලබා ගැනීමද සිදුවී තිබුණු බව පෙනේ. 2015 ආණ්ඩු පෙරළිය නොවන්නට 2016 වෙන විට මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඉඩ තිබුණු බව මගේ විශ්වාසයයි.

එම කාල වකවානුව තුළ වාරිමාර්ග ඇමතිවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා, මේ ව්‍යාපෘති වල ප්‍රගතිය ගැන නිතරම කැබිනට් මණ්ඩලයට වාර්තා කළේය. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් උතුරු හා නැගෙනහිර පළාත් වලටද ප්‍රතිලාභ ලැබෙන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු විය. එම නිසා 2006 සිට මේ වැදගත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිවක් සිදු නොවූ බවට ජනාධිපතිවරයා කළ චෝදනාව අසා මම මවිතයට පත් වුණෙමි. 1980 ගණන් වල එජාප ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවද මේ ව්‍යාපාතිය අත්හිටුවා තිබුණේය. මහින්ද රාජපක්‍ෂ මහතා 2005 බලයට පත් වූ මොහොතේ සිට මෙවන් ව්‍යාපෘති වලට මුල් තැන දෙමින් කටයුතු කළ නිසා අද මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යථාර්තයක් වී ඇත.

මේ නිසා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විදේශය සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම් පත්‍ර මෙන්ම අයවැය ප්‍රතිපාදන යනාදියද ඇතුළත් සම්පූර්ණ විස්තර මා හට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ ඉල්ලීම මම කරනු ලබන්නේ තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධානවලට ප්‍රකාරවය.

මීට විශ්වාසී,

ජී.එල්.පීරිස්

සභාපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

හිටපු විදේශ කටයුතු අමාත්‍ය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress