බලගතු සේනා දැන් නම් ඕනෑ
Posted on August 3rd, 2018

උපුටාගැණීම  මව්බිම

රටේ නායකත්වයට පත් නොවී දෙවැනි පෙළ පුටුවේ කාලයක්ම වාඩි වී සිටිමින් රටට සේවය කළ මිනිසුන් බොහෝය. ඔවුන්ට අනුව රට ගොඩනැඟීම ප්‍රමුඛ වූවා මිස තමන් ගොඩනැඟී මුල් පුටුවට ඒම ප්‍රමුඛ කාරිය නොවීය. කෙසේ වෙනත් රටක නායකයකු වන්නට සිතා සිටින්නකු වෙත්නම් හේ මහත් ඉවසිලිවන්තයකු විය යුතුය. බැනුම් අහන්නට පමණක් නොව නොයෙකුත් අකටයුතුකම්වලටද මුහුණ දෙන්නට හැකි අයකු විය යුතුය. දරා ගැනීමේ ශක්තිය නායකයකු ළඟ නැතිනම් ඔහුට වැඩි කලක් යන්නට බැරිය. ඒ අනුව ඔහු ඇද වැටුණාය යනු රටක් ඇද වැටුණාක් මෙන් වැනසෙනු ඇත.

විරුද්ධ පාර්ශ්වයේ බොහෝ අය ජේ.ආර්.ට තවමත් බනින්නේ එසේ නොබැන බැරි නිසාය. එසේත් නැතිනම් කලින් බැනලා තිබුණු හැටියට ඒ බැනපු ඒවා වෙනස් කරන්නට බැරි නිසාය. තවත් විදියකින් කියනවා නම් මේ උන්දැලාට ජේ.ආර්. දැකපු ඇත්ත දැන් තේරුම් ගිහින් තිබුණා වුණත් “ජේ.ආර්. හොඳය” කියා කියන්නට බැරි වෙන තරමට බරපතළ විදියට ගොළුවන් සේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක පුටුව බලාගෙන කටයුතු කරන්නට සිතා සිටින හා නායකයන් වන්නට සිතා සිටින්නන්ට ජේ.ආර්.ගේ ඉවසීමේ ගුණය හදාරන්නට ඕනෑ වී ඇත්තේ ඒ තරමටම මේ අයට ඉවසීමක් හා තමන්ගේ යුතුකම හා වගකීම ගැන වැටහීමක් නොමැති නිසාය. ජේ.ආර්.ට බලය ලැබෙන විට එනම් හයෙන් පහක බලය සහිත බලගතුම පිරිසක් සමඟ අගමැති වන්නට වන විට ඔහුට වයස අවුරුදු 72කි.

අවුරුදු හැත්තෑ දෙකක් වයස ගතවන තුරුම ජේ.ආර්. ඉවසුව නිසා ඔහුට ඉතා හොඳ මිණිකැට මල්ලක් ගරා ගන්නට හැකි වූයේය. වයසත් එක්ක, ඉවසීමත් එක්ක අමතර ලබා ගත් දැනුමත් එක්ක මිනිසුන්ගේ හැසිරීම් ගැන සටකපටකම් ගැන ප්‍රායෝගිකව ලබාගත් දැනුමත් එක්ක ජේ.ආර්. ඉතා ඉහළ මට්ටමෙන් දේශපාලනයේ තෙම්පරාදු වුණේය.
“එක වෙලාවකට හිතෙනවා මට මේ කෙරුවාව අල්ලා දාලා ඔය කෑ මොර දීලා නායකකම ගන්න ඉන්න උදවියටම මේක කරගන්න දීලා ගෙදර යන්න” කියලා ජේ.ආර්.ට හිතුණා නම්, එසේ වූවා නම් 77 පෙරළිය සිදුවන්නේ නැත. මේ රටේ ආර්ථිකය ලෝකයාට විවෘත කරන්නට ලැබෙන්නේ නැත. වේගයෙන් දියුණු වන ලෝකයට මේ රට බද්ධ කරන්නට ලැබෙන්නේ නැත. ඉන්දියාවේ, බංග්ලාදේශයේ, චීනයේ නායකයන් දෙවරක් හිත හිතා පස්ස ගහද්දී විවෘත ආර්ථික ක්‍රමයට අප යා යුතු යැයි ජේ.ආර්. සිතුවේ ඊට බොහෝ කලකට පෙරය. ජේ.ආර්. ඉස්සර වුණේය. ඉන්දිරා ගාන්ධිට මේ හැරවුම තේරුම් ගිය නිසා ඉන්දියාවට වඩා අප එක සීරුවේ යෝධ පිම්මක් පනින්නට සූදානම් වූ බව දැනී ඇය සැලුණු වාර අනන්ත විය. ජේ.ආර්. තනිව මේ ගේම ගැහුවේ නැත. ඔහුට වයස 72ක් වන තුරු දැනුම් තේරුම් ඇතිව සොයාගත හැකිව තිබුණු මිණිකැට මල්ලක් එකතු කරගනිමින් පසු වුණේය.

රොනී ද මැල් ඔහුගේ හොඳ තේරීමකි. රොනීට මුදල් ඇමැතිකම කරන්නට වෘත්තීය සුදුසුකම අන් අයටත් වඩා ඕනෑවටත් වඩා පූර්ණ වී තිබුණේය. රොනී දක්‍ෂ පරිපාලකයෙකි. නිලධාරියෙකි. ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ හොඳ ප්‍රතිඵල ලද්දෙකි. ශ්‍රී ලනිපයෙන් රොනී ගලවා ගන්න ජේ.ආර්.ට හැකි විය. 1925 අප්‍රේල් 11දා උපන් රොනී, ජේ.ආර්. 77 ආණ්ඩුව හදද්දී ඔහුගේ වයස අවුරුදු 52කි. එය හො¼දට තෙම්පරාදු වූ පරිණත වයසකි.

රොනී එවක ලෝකයේ සිදුවන ආර්ථික පෙරළිය ගැන හොඳින් කියවා තිබුණෙකි. ජේ.ආර්.ට දැනුණු ඉව ඔස්සේ රොනී 77 පිහිටුවන ආණ්ඩුවේ මුදල් ඇමැතිකමට ඕනෑ කරන දැනුමින් පිරී සිටියේය. ජේ.ආර්.ගේ තවත් මැණිකක් වූයේ ලලිත්ය. ලලිත්ගේ උගත්කමත් ලලිත්ගේ දැනුමත් ගැන ජේ.ආර්. හොඳින් දැන උන්නේය. ලලිත්ටවත් නොදැනීම ජේ.ආර්. සැලසුම් හැදුවේය. හාවඩ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ නව දැනුම හඹා ගිය අලුත් ලෝකයක ප්‍රවණතාවන් දුටු ලලිත් ඕනෑම වගකීමක් දැරිය හැකි නායකත්ව ලකුණු තිබුණු අයෙකි. 1936 නොවැම්බර් 26දා උපන් ලලිත් 77 පෙරළිය වෙද්දී වයස අවුරුදු 41ක ශක්තිමත් වැඩ කළ හැකි වැඩි ධාරිතාවකින් හෙබියේය. ලලිත්ට රටේ ආර්ථිකය විවර කරද්දී වෙළෙ¼දාමත් නාවික හා භාණ්ඩ ප්‍රවාහන ප්‍රවණතාවන් නවමු මඟක් ඔස්සේ නංවන්නට හැකියාවක් තිබුණේය.

ජේ.ආර්. එකතු කරගත් තවත් මැණිකක් වූයේ ගාමිණීය. ගාමිණී ඇතැම් විට ජේ.ආර්.ට අන් අයට වඩා ළෙන්ගතුව සමීපව සිටියේය. 1942 මාර්තු 20දා උපන් ගාමිණීට 77 ජේ.ආර්.ගේ ආණ්ඩුව පිහිටුවද්දී වයස අවුරුදු 35කි. ලලිත්ට වඩා අවුරුදු 6කින් බාල වුවත් ලලිත් තරමටම ගාමිණී ද හපනෙක් විය. ඔහු වඩාත් අකර්ෂණීය රූප සම්පත්තියකට හිමි නායකත්ව ලක්‍ෂණ පළකළ අයෙකි. ජේ.ආර්. තම විශ්වකර්ම බලාපොරොත්තුව ගාමිණීට පවරන්නට සිතා උන්නේ මේ සියල්ල ඉවසීමෙන් නිරීක්‍ෂණය කරමින් සිටි නිසාය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හා බි්‍රතාන්‍ය කේම්බි්‍රජ් සරසවියේ දීප්තිමත් සිසුවකු වූ ගාමිණීට ඓතිහාසික පෙරැළියක වගකීම භාර වන්නේ ඒ අනුවය.

මේ සියලු දැන උගත් අය හදා ගන්නා සිහිනය දකිමින් සිටි ජේ.ආර්.ට ඊටත් වඩා මැණිකක් තිබුණේය. ඒ ප්‍රේමදාසය. ප්‍රේමදාස සමඟ ජේ.ආර්.ට පන්තිමය ගැටලුවක් තිබුණේය යැයි ඇතැමුන් කියූවත් ප්‍රේමදාස පොදු ජනතාව තුළින් මතුවූ පොළොවේ පය ගසා ජීවත්වී පොදුජන නායකයකුව සිටි බව ජේ.ආර්. අත්දැකීමෙන්ම දැනගෙන උන්නේය. ඉතාමත් පහළම තැනක සිට සමාජයේ දැවැන්ත යුතුකම් සම්භාරයක් ඉටුකළ හැකි, පොදු ජනතාවගේ හැඟීම් වටහා ගත හැකි ප්‍රේමදාස ඕනෑම කෙනකු බව ජේ.ආර්. දැන උන්නේය. 1924 ජුනි 23දා උපන් ප්‍රේමදාස ජේ.ආර්. ගේ 77 ආණ්ඩුව පිහිටුවද්දී වයස අවුරුදු 53ක අයෙකි. හොඳින් තෙම්පරාදු වූ අයෙකි. ප්‍රේමදාස ඒ අනුව රොනීට වඩා අවුරුද්දකින් වැඩිමල්ය. රොනී, ලලිත්, ගාමිණී වැනි තෝරා ගැනීම්වලට එහා ගිය දැක්මකුත් ජේ.ආර්. ළඟ තිබුණේය.

ජේ.ආර්.ගේ “ප්ලෑන් ඒ” හි සුපිරි තෝරා ගැනීම ප්‍රේමදාස, රොනී, ලලිත්, ගාමිණීය. එහෙත් දුර දැක්මක් ඇති ජේ.ආර්.ට “ප්ලෑන් ඕ” කියාද දෙයක් තිබුණේය. එහි ව්‍යාපාරික ඥානයත්, ලෝකයේ ආයෝජන රටා හා නව නිපැයුම් ගැනත් දැක්මක් ඇති උපාලි විජයවර්ධන ද ඉලක්ක ගතව තිබුණේය. තෝරා ගැනුණු ලැයිස්තුවේ එකට සිටියේය. 1938 පෙබරවාරි 17දා උපන් උපාලි රාජකීය විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි. 77 ජේ.ආර්.ගේ ආණ්ඩුව පිහිටුවද්දී උපාලිගේ වයස අවුරුදු 39කි. ගාමිණීට වඩා උපාලි අවුරුදු තුනකින් වැඩිමල්ය. උපාලි ඍජුවම, එක හෙළාම, මුල් වටයේදීම ජේ.ආර්.ගේ ආණ්ඩුවට එකතු වූයේ නැති වුවත් ජේ.ආර්.ගේ හිතේ උපාලි ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණේය.

ජේ.ආර්.ගේ “ප්ලෑන් ඛ්” හි සිටි ප්‍රමුඛයා රනිල්ය. 1949 මාර්තු 24දා උපන් රනිල් 77 ආණ්ඩුව පිහිටුවද්දී වයස අවුරුදු 28ක තරුණයෙකි. යමක් හඹා යද්දී ඉවසිලිවන්තව ඒ කරා යන තරුණ නීතිවේදියකු වූ රනිල් ගැන ජේ.ආර්. මේ කාටත් වඩා හොඳින් දැන උන්නේය. ගාමිණී අතුකෝරල ද තවත් තෝරා ගැනීමකි. ගාමිණී අතුකෝරලද 77 ආණ්ඩුව පිහිටුවද්දී වයස අවුරුදු 26ක තරුණයෙකි. ඒ නිසා රනිල්ට වඩා අවුරුදු 2ක් බාල ගාමිණී රනිල්ගේ නියෝජ්‍ය ඇමැති සගයා කරන්නේය.

ජේ.ආර්.ගේ ඉවසීමේ දුෂ්කර චාරිකාව තුළ එකතු කරගත් අය අතරින් අද ඉතිරිව සිටින්නේ රනිල්ය. ඒ නිසා රනිල්ට ජේ.ආර්.ගේ ප්‍රායෝගික දේශපාලන පොතේ පිටු අතරින් “ජේ.ආර්.ගේ ඉවසීමේ කලාව” කියවා තව තවත් තෙම්පරාදු වන්නට ඉඩහසර ලැබුණේය.

ජේ.ආර්.ගේ ආණ්ඩුවේ නවකයකු වූ රනිල් “ප්ලෑන් ඛ්” හි සිටි ජේ.ආර්. තෝරාගත් චරිතයකි. අවුරුදු 28දී ජේ.ආර්.ගේ අත්වාරුවෙන් සුළැඟිල්ලේ එල්ලී ආ රනිල් ඒ ආශීර්වාදයෙන් මේ වෙද්දී දිගු ගමනක් පැමිණ සිටින්නේය. දැන් රනිල්ට වයස අවුරුදු 69කි. මේ කාලය තුළ ඔහුද නායකයන් කිහිප දෙනකු යටතේම ඉවසා පදම් වී තෙම්පරාදු වී හොඳට පත්තියම් වී සිටින්නේය.

රනිල්ටද ජේ.ආර්.ට මෙන් ප්ලෑන් ඒ,ඕ,ඛ් තිබිය හැකිය. ඒ ප්ලෑන්වල ප්‍රායෝගික නායකයන් සිටිය හැකිය. ආර්ථිකය, ආයෝජනය, වෙළෙ¼දාම, විදෙස් කටයුතු, නාගරික සංවර්ධනය, නිවාස හා ඉදිකිරීම් තාක්‍ෂණය වැනි පුළුල් විෂයයන් ධාරා යටතේ ඒ අය තෝරාගෙන තිබිය හැකිය. රනිල්ට මේ ඉවසීමෙන් ලබාගත් අත්දැකීම්වලින් ලබාගත් දැනුම මේ මහ පොළොවේ පැළ කරන්නට අනාගත නායකයන්ගෙන්ද උපරිම දායකත්වය දැනුම අවැසි වන්නේය.

මේ මොහොතේදී අන් කවරදාකටත් වඩා ඒ කැපවීම, අවංක බව, නැඟී සිටීම අවශ්‍ය වන්නේය. දායක විය යුත්තේය. එසේ නොමැතිව ජේ.ආර්. ගහපු ගේම ගහන්න රනිල්ට තනිවම සටන් කළ නොහැක්කේය. කළ හැක්කක් වෙතොත් ඒ ‘ටීම් වර්ක්’ එකක් තුළින් පමණය. රනිල් ඉවසිලිවන්ත නායකයකු වන නිසාම නැඟී සිටින්නට දෙවැනි පෙළ නායකයන්ගෙන් මීට වඩා දැනෙන සහායක් ඕනෑම වන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress