පින් ඇති රැකියාවක්
Posted on August 8th, 2018

වෛද් රුවන් එම් ජයතුංග

රැකියාවක් ඉල්ලා උපාවාස කරන පාරවල් වහන ශ්‍රී ලාංකික උපාධිධාරීන්  රැකියාව සඳහා අවශ්‍ය කුසලතාවන් වර්ධනය කර ගැනීම පිලිබඳ සිතීම අවමය. ඔවුන් බොහෝ දෙනෙකු සිතන්නේ උසස් පෙළ සහතිකය සහ උපාධි සහතිකය ඉදිරිපත් කල පමනින් ඔවුන්ට රැකියාවක් ලබා ගැනීම සඳහා අයිතිවාසිකමක් තිබන බවයි.  එහෙත් දියුණු රට වල තත්වය බොහෝ සෙයින් වෙනස් ය. උපාධි සහතික තිබූ පමණින් කෙනෙකු රැකියාවක් සඳහා සුදුසුකම් නොලබයි. 

සංවර්ධිත රටවල් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අදාල පුද්ගලයාට සොෆ්ට්ස් ස්කිල්ස් හෙවත් මෘදු කුසළතා, සන්නිවේදන කුසළතා , අන්‍ය පුද්ගලයන් සමග කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කිරීමේ හැකියාව , ඉනීෂියේටිව් හෙවත් ප්‍රත්‍යුත්ක්‍රම ශක්තිය , ධනාත්මක ආකල්ප ඇති බව , මෝටිවේෂන් හෙවත් අභිප්‍රේරණය , තනිව අධීක්‍ෂණයකින් තොරව වැඩ කිරීමේ හැකියාව , තැනට සුදුසු නුවන ඇති බව යනාදී දක්‍ෂතාවන් තිබේද යන්න සොයා බලා සුදුසු පුද්ගලයා ඔවුන් තොරා ගනිති.  

එහෙත් ලංකාවේ මුල් තැන දෙන්නේ පේපර් කොලිෆිකේෂන් හෙවත් සහතිකයටය. මෙම අධ්‍යාපන සහතිකය පමණක් අතැතිව රැකියාවට එන්නන් තුල සන්නිවේදන කුසළතා නැත, ඔවුන්ට  කණ්ඩායම් හැඟීමක් නොමැත. ඔවුන් ආයතන රන් කරන්නේ පියන්ලාගෙන් කේලම් අසාගෙනය. තමන් ගේ කාර්‍ය මණ්ඩලයේ පුද්ගලයන් සතු කුසළතා තක්සේරු කරන්නට දන්නේ නැත. ඒ නිසා අදාල වැඩයට තෝරා ගන්නේ ඒ විෂය නොදන්නා පුද්ගලයාවය. ඉරිසියාව සහ කුහක බව නිසා තමන් යටතේ සිටින දක්‍ෂයන්ට බිය වෙති. ඔවුන් කපා දැමීමට නිතරම මාන බලති. මේ නිසා ආයතනයත් රටත් යන්නේ  පසුපසටය.  

උතුරු ඇමරිකාවේ රැකියා සඳහා තෝරා   ගැනීම පිලිබඳ මට යම් අත්දැකීමක් තිබේ. මීට වසර ගනනාවකට පෙර නිවාස රහිත මිනිසුන් ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ පරියේෂණයක් කැනඩාවේ ප්‍රකට විශ්ව  විද්‍යාලයක් විසින් ආරම්භ කරනු ලැබීය.  කැනඩාවට පැමිනි මුල් කාලයේදී මම මේ  පරියේෂණ රැකියාව සඳහා අයදුම් කලෙමි.  මෙම පරියේෂණ වියාපෘතිය හොඳට ගෙවීම් කරනු ලැබීය. ඒ නිසාද එය මට ආකර්ශණය විය.   

මාව සම්මුඛ පරීක්‍ෂණයට ලක් කරන ලද්දේ  ඩැල්හවුසි විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරියක , කැනේඩියානු මානසික සෞඛ්‍ය සංගමයේ මනෝ වෛද්‍යවරයෙකු සහ නිවාස රහිත මිනිසුන් ගේ දිවමන් අත් දැකීම් තිබූ සහ වර්තමානයේ පුනරුත්ථාපනය වූ පුද්ගලයෙකි. 

මා අපේක්‍ෂා කල මුත්  ඔවුන් මගේ අධ්‍යාපන සහතික පත් ඉල්ලාගෙන ඒවා පරික්‍ෂා කලේ නැත.  ඔවුන්ට වැදගත් වූයේ අධ්‍යාපන සහතික වලට වඩා අනෙකුත් කුසළතාය. ඔවුන් මට සිනාරියෝස් හෙවත් කල්පිත අවස්ථාවන් විසි ගනනක් දුන්හ. එවැනි අවස්ථාවක මා කරන්නේ කුමක්ද කියා ඇසූහ. මා දුන් පිලිතුරු හරි හෝ වැරදි කියා කීවේ නැත. අසා  සිටියා පමණි. සමහරක් විට ඔවුන් යම් යම් දේවල් ඔවුන් සටහන් කර ගත්හ. ඉන් පසු ඒ අනුසාරයෙන් ප්‍රශ්න ඇසූහ. 

මෙසේ පැය එක හමාරක් පමණ මගෙන් ප්‍රශ්න කොට මාව නිදහස් කරන ලදි.  අදාල පරියේෂණ රැකියාව සඳහා මට  සුදුසුකම් තිබූ නමුදු මෙලෙස ප්‍රශ්න කිරීමක් මා අපේක්‍ෂා නොකලෙමි. මා සිතුවේ ලංකාවේ මෙන් සර්ටිෆිකේට් බලා  “පුතා   හෙට ඉඳන් වැඩට එන්න”  කියා කියයි කියාය. මෙම සම්මුඛ පරීක්‍ෂණයට මැක් මාස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය උපාධියක් කරන අයෙකුද පැමින සිටියේය. තවද අපේක්‍ෂකයන් අතරින් සුදු හමක් නොතිබූ තැනැත්තා මා විය. මේ නිසා මට සෘණාත්මක සිතිවිළි පහළ විය.  

සති දෙකකට පසුව ප්‍රතිඑල ආවේය. මේ පරියේෂණ ප්‍රොජෙක්ට් එක සඳහා මාව තේරි තිබුණි. පසුව හෙළිවූ පරිදි කේස් සිනාරියෝස් හෙවත් කල්පිත අවස්ථාවන් වලදී මා විසින්  එම අවස්ථාවන් තක්සේරු කිරීම , ගත යුතු පියවර යනාදිය නිරවුල්ව කීම නිසා  ඔවුන් මට අවස්ථාව දී තිබුණි.    

ලංකාවේ  උසස් පෙල විභාගයෙන් බොහෝ විට ක්‍රියේටිවිටි හෙවත් නිර්මාණශීලීතාව , කොමන් සෙන්ස් හෙවත්  වැටභෙන නුවණ ,  ඇබ්ස්ට්‍රැක්ට් තිංකිං හෙවත් වියුක්ත චින්තනය ,   අවකාශ චින්තනය වැනි බුද්ධි එලයන් මිණිතයට ලක් කරන්නේ නැත. උසස් පෙල විභාගය මූලිකව ස්මෘතිය මිණිතයට ලක් කරයි. සංවර්ධිත ලෝකයේ ළමුන් සඳහා මේ වන විට ඕපන් බුක් විභාග තිබේ. එනම් ඔබට පොත් විභාගයට ගෙන ගොස් පිලිතුරු දිය හැක. මේ විභාග වල මනින්නේ බුද්ධි මට්ටම සහ බොක්ස් එකෙන් බැහැරව සිතීමේ දස්කමයි.   

මා  ජේෂ්ඨ වෙද්‍ය නිලධාරියෙකු ලෙස රජයේ රෝහල් වල සේවය කරන විට ඔපරේෂන් තියටර් එකේ සේවය කල ඉන්ටර්න් වෛද්‍ය වරුන්ටත් වඩා කොමන් සෙන්ස් තිබෙන සහ බුද්ධිමත්  උපස්ථායකලා කීප දෙනෙක් දුටුවෙමි.  එහෙත් මොවුන් අපගේ පසුගාමී අධ්‍යාපන ක්‍රමයෙන් විසිවී ගිය අය වෙති . මින්  හලාවත රෝහලේ සිටි එක් උපස්ථායක කෙනෙක් ඉතාලියට බෝට්ටුවෙන් ගොස් ඔහුගේ බුද්ධිය එම සමාජයේ භාවිතා කොට දැන් ඉතා හොඳට  සාර්ථකව  ජීවත් වෙයි. 

 රජයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් සමහරක් සමග මා සංවාදයේ යෙදී තිබේ. ඔවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් තුල පසුගාමී ආකල්ප තිබේ. සමහරක් ෆැක්ස් එකක් යැවීමට පවා දැන සිටියේ නැත.  විදෙස් භාෂා දැණුම , පරිගණක දැණුම බොහෝ දෙනෙකු තුල තිබුනේ නැත. ඒවා වර්ධනය කර ගැනීමටවත් බොහෝ දෙනෙකු උනන්දු වූයේද නැත.  මෙය ඉතා කණගාටුදායක තත්වයකි.

ලංකාව දියුණු රටක් කිරීමට නම් අධ්‍යාපන සහතික වලට සාමගාමීව මෘදු කුසළතා අපේක්‍ෂකයන් තුල වර්ධනය කල යුතුය. එහෙත් අවාසනාවකට මෙන් සමාජය තුල ඒ පිලිබඳව කතිකාවක් පවා නොමැත. 

 

වෛද් රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress