මහජන බැංකුවේ අධ්‍යක්‍ෂගේ සමාගමට කෝටි දාහක ණයක් දුන්නේ කොහොමද? චම්පික-අජිත් ඇමැතිවරු තොත්ත බබාලා වෙති
Posted on August 8th, 2018

උපුටාගැණීම  මව්බිම

මහජන බැංකුවේ අධ්‍යක්‍ෂවරයකු වන ජෙහාන් අමරතුංග මහතා විධායක උප සභාපති ධුරය දරන සමාගමකට රුපියල් කෝටි 1000ක ණයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචාරය කුමක්දැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (7දා) ප්‍රශ්න කළේය.

ඊයේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙම ණය ලබාදීම පසුපස ඇමැතිවරයෙක්ද සිටින බව රවි කරුණානායක මහතා කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා මෙසේද පැවැසීය.

මහජන බැංකුවේ කෝටි 1000ක් විතර එක අධ්‍යක්‍ෂවරයෙක්ගෙ කොම්පැනිවලට දීලා තියෙනවා. ඇමැතිවරයකුත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. අපි මහ බැංකුවෙන් අහන්නේ ලසන්ත ගුණවර්ධන රුපියල් ලක්‍ෂයේ ලෝන් 8ක් දුන්නා කියලා අයින් කරන්න පුළුවන් නම් මේ වගේ අධ්‍යක්‍ෂවරයකුට විරුද්ධව කටයුතු කරන්න මහ බැංකුවට කොන්දක් නැද්ද? මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්නෙ මහ බැංකුව ඒ අයට ඕන විදියට වැඩ කරන්න ගිහිල්ල. ඒ ඇමැතිවරු ඇඟිලි ගහල තියෙනවාද? රටේ ලක්‍ෂ 10ක ණයක් ගන්න ගියොත් ලක්‍ෂ 20ක වත්කම් ඉල්ලනවා. එහෙම තියෙන කොට මේ අය මොන වත්කම්ද දීලා තියෙන්නෙ. මම අහන්නෙ මොනවද මේ ගැන මහ බැංකුව කරන්නෙ කියලා. මට ආරංචියි තවත් ඇමැතිවරයකුට සම්බන්ධ ආයතනයකට මිලියන 4000ක මේ වගේ ලෝන් එකක් දෙන්න යනවා කියලා. අපි මේවා හොයන්න අවශ්‍යයි. ඒ අය ඇඟිලි ගහනවා අනෙක් අය සම්බන්ධයෙන්. කිසි දෙයක් නැති තැන්වල ඇති කරලා තියෙන තැන්වල යටපත් කිරීම තමයි තියෙන්නේ.

අදාළ ණය මුදල සම්බන්ධයෙන් ඊයේ (7දා) කොළඹ පැවැති උත්සවයකදී ඇමැති පාඨලී චම්පික රණවක කියා සිටියේ මේ ගැන කිසිවක් තමන් නොදන්නා බවය. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඇමැතිවරයා කියා සිටියේ ඒ ගැන මහජන බැංකුවෙන් විමසිය යුතු බවය.

රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන්ද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කළ අතර රාජ්‍ය ඇමැතිවරයාද කීවේ තමන් ඒ ගැන නොදන්නා බවය.
එම නිශ්චිත කාරණය ගැන අවබෝධයක් තමන්ට නොමැති බවද අජිත් පී. පෙරේරා මහතා කීවේය.

මේ අතර අදාළ ණය මුදල සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මුනිවත රකින බව හිටපු පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහද කියා සිටියේය.

මහ බැංකුව බිඳපු වෙලාවෙත් ඔය ඇමැතිවරු ටික කිව්වේ නෑ එහෙම දෙයක් වුණේ නෑ කියලා. අපි දන්නෙ නෑ. බලන්න ඕනෙ කියල තමයි කිව්වේ. දැන් යූ.එන්.පී. එකේ ඇමැතිවරුන්ගෙ ගෝල බාලයෝ අපේ රටේ රාජ්‍ය බැංකු ටික සුද්ද කරන්න පටන් අරන් තියෙන්නෙ. මේ අයට වගකීමක් නැද්ද මේ ගැන සොයන්න. අනෙක් මන්ත්‍රිවරුන්ගෙ සහ වෙනත් අයගෙ වංචා හොයනවා යැයි සමරසිංහ මහතා කීවේය.

මේ ඇමැතිවරු, ආණ්ඩුවේ හොරකම් ගැන සහ වංචා දූෂණ ගැන මොකුත් නොදන්න තොත්ත බබාලා විදියට හැසිරුණාට තමුන්ගෙ පෞද්ගලික වුවමනා එපාකම් මත දාන රාඩා වගේ නඩු ගැන නම් හොඳට දන්නවා යැයිද රජයට සම්බන්ධ දේශපාලකයකු මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress