විස්සේ උගුල
Posted on August 12th, 2018

උපුටාගැණීම ලංකාදීප

අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ කතිකාව යළිත් කරළියට පැමිණ ඇති සෙයකි. විවිධ පාර්ශ්ව මෙන්ම ආණ්ඩුවද මේ පිළිබඳ යම් ආකාරයක අවධානය යොමු කර තිබේ. මේ දෙස බැලිය යුත්තේ මෙකී ක්‍රියාවලියේ මූලාරම්භක අවස්ථාව ද සමඟය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු කරගෙන යන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විදේශ බලපෑම් මත ඇතිකර ගත්තකි. 2015 අගෝස්තු මැතිවරණය පවත්වා පිහිටුවාගත් ආණ්ඩුව කළේ කුමක්ද?

සැප්තැම්බර් මාසයේ දී එවකට විදේශ ඇමතිවරයා සහ ආණ්ඩුව ඇමෙරිකාවත් සමඟ එක්වී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය. මානව හිමිකම්වලට අදාළ නැති එහෙත් රටේ ව්‍යූහය වෙනස් කිරීමට මේ හරහා පොරොන්දු දී තිබුණි. නව ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩ ඇරැඹෙන්නේ එම පදනමේ පිහිටාය. ඡන්දයට පෙර දී ඇති පොරොන්දුවක් ඉටු කිරීමට මෙලෙස ක්‍රියාත්මක වූ බව එයින් පැහැදිලිය.

මේ යෝජනා කෙරුණේ ජනතාවගේ කැමැත්ත ලබාගෙන නොවේ. ජනතාවගේ අදහස් ලබාගෙන නොවේ. එය කිව යුතුම කරුණකි.

ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කළේ ඉන් පසුවය. එම කමිටුව රට පුරා රැස්වීම් පැවැත්වූයේ ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමටය. මේ කමිටුවේ සිටින අයගෙන් සියයට අනූ පහක් පමණ ​ෙෆඩරල් වෙනුවෙන් පෙනී සිටින අයයි. දෙදෙනකු හැරුණු විට ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් මේ කමිටුවල නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ‘‘ඒකීය රාජ්‍යය’’ යන වගන්තිය වෙනස් කිරීමට බුද්ධාගමට තිබෙන තැන වෙනස් කිරීමට අකැමැති වූයේ දෙතුන් දෙනකු පමණි. අනෙක් සියලු දෙනා කියා සිටියේ ඉහත වගන්තිය වෙනස් කළ යුතු බවය. මේ අය ඒකීය රාජ්‍යයට අකැමැති ​ෙෆඩරල් වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිවම තහවුරු වී තිබෙන කරුණකි. ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්, පුද්ගලයන් මේ කමිටු හමුවේ ඉදිරිපත් කළ අදහස් තැකීමක් කර නැත. සමහර අවස්ථාවල මෙවන් අය පැමිණ එවන් අදහස් දැක්වීමක් කළා යැයි සඳහන් කිරීමක්වත් නැත. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ​ගොස් සිටින නීතිඥ මහත්මයකු පැයක පමණ කාලයක් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් මෙම කමිටුව ඉදිරියේ අදහස් දැක්වුව ද ඔහු පැමිණි බවටවත් එම ලැයිස්තුවට ඇතුළත් කර නැත. මෙවන් අවස්ථා ගණනාවකි.

එසේ නම් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මහජන අදහස් ලබාගන්නා බව පවසමින් කළේ තමන්ට අවශ්‍ය කතාව වෙනුවෙන් වූ අදහස් පමණක් සටහන් කර ගැනීමය. ඊට විරුද්ධව එසේ නැතිනම් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් දැක්වුණු අදහස් බැහැර කිරීමය. මේ අයට අවශ්‍ය වූයේ ජාත්‍යන්තරයේ වුවමනාව නිවැරැදි බව පෙන්වීමටය. මේ රටේ ජනතාවට ​ෙෆඩරල් රාජ්‍යයක් අවශ්‍ය බවට තහවුරුවක් ලබාගැනීමය. ඒ අනුව මේ කමිටුවෙන් කළේ ප්‍රෝඩාවකි. මේ කමිටුවට පත් වූ අය ආකල්පමය වශයෙන් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අය නොවේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළේ ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අය එකතු කරගෙන සහ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමට වැඩි කැමැත්තක් නොදක්වන අය සමග නම් එය සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාකාරී ක්‍රියාවලියකි.

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කළේය. මේ අනුව මෙහෙයුම් කමිටුවක් ද පත් කළේය. එම කමිටුවේ කළමනාකරණය සඳහා සම සභාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට ද පියවර ගත්තේය. ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් ඔවුහුය. මෙයින් සුමන්තිරන් මහතා සිටින්නේ මොන පැත්තේ දැයි රටම දන්නා කරුණකි. ඔහු රට බෙදන, ​ෙෆඩරල් රාජ්‍යයකින් මෙහා විසඳුමක් නොදකින, ඒකීය රාජ්‍යයක් ගැන කතා නොකරන දෙමළ ජනයාගේ එකම නියෝජිතයා එල්.ටී.ටී.ඊ.ය බව පිළිගත් දේශපාලන ප්‍රවාහයක සාමාජිකයෙකි. එනිසා නව ව්‍යවස්ථාව සම්පාදනයේ දී එ්කීය රාජ්‍යයක් සම්බන්ධයෙන් කිසිදු බලාපොරොත්තුවක් ඔහු කෙරෙහි තැබිය නොහැක. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ පැකේජය සම්පාදනය කළේ නීතිඥ ජයම්පති වික්‍රමරත්නය. මේ අය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම වරදක් යැයි මා කියන්නේ නැත. ව්‍යවස්ථාව සම්පාදනයට රජය පත් කළ සම සභාපතිවරුන් දෙදෙනාම උග්‍ර ෆෙඩරල්වාදියො නම් ඒකීය රාජ්‍යයක් පිළිබඳ සලකා බැලීමටවත් රජය සූදානම් නැති බව එයින් තහවුරු වන්නකි. ඒකීය රාජ්‍යයක් සම්බන්ධයෙන් රජයේ වුවමනාව මේ හරහා ඉතා හොඳින් පෙන්නුම් කර තිබේ.

නව ව්‍යවස්ථාවක් සම්පාදන ක්‍රියාවලියට අනුකමිටු හයක් ද පත් කෙරුණි. මෙයින් ප්‍රධානම සහ වැදගත්ම කමිටුව වන්නේ මධ්‍ය පර්යන්ත අනුකමිටුවය. මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කළේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකි. ඔහු හිටපු ප්ලොට් නායකයාය. නමින් ධර්මලිංගම්ය. බලය බෙදීම තීරණය කිරීමට මෙවන් අයකු පත් කිරීමෙන් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද? මෙහි සිටින අනෙක් සාමාජිකයනුත් එක්කෝ ​ෙෆඩරල්වාදීය. නැතිනම් ඒකීය රාජ්‍යයක් පිළිබඳ ලොකු හැඟීමක් නැති අයයි. මේ තෝරා ගැනීම අනුමත කළ නොහැක. තමන්ගේ මතය තහවුරු කර ගැනීමට සාමාජිකයන් පත්කර ගැනීම සාධාරණ නැත. මේ එක් එක් අනුකමිටුවට අනුබද්ධිත විශේෂඥයන් පත් කළ ද ඔවුහු ද ෆෙඩරල්වාදියෝය. වත්මන් ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගෙන යන්නේ මේ ආකාරයට නම් එයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැත. අලුත් ව්‍යවස්ථාවක් සැකසීම අවශ්‍ය නැති බව මහ නාහිමිවරු පවා ප්‍රකාශ කළේ අනුගමනය කරන ක්‍රියාවලියේ වැරැද්ද නිසාය. දෙමළ ඩයස්පෝරාවට සහ මේ රට විනාශ කරන බලවේගවල අවශ්‍යතා ඉටු කිරීමට මේ ක්‍රියාවලිය සිදුවන බව මහ නා හිමිවරු වටහාගෙන සිටිති. මේ අනුව බලන විට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහා සංඝයා වහන්සේට විශ්වාසයක් නැත. බහුතරයක් ජනතාවට විශ්වාසයක් නැත. මේ රටේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් මෙම ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන නැත. නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පත් කරන විශේෂඥයන් ෆෙඩරල්වාදී නම් සහ සම සභාපතිවරු දෙදෙනා අති ප්‍රබල ෆෙඩරල්වාදීන් නම් ඒකීය රාජ්‍යයක් රැක ගන්නේ කෙසේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීමට යෝජනා අවසන් යෝජනාවලියේ ඇතුළත්ය. ඒ වගේම ඒකීය රාජ්‍යයක් සම්බන්ධව ඇති ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තියත් වෙනස් කිරීමට යෝජනා කර තිබේ. මේවා බරපතළ කරුණුය. විද්වත් වංචාවක් මෙතැනදී කර තිබේ. ඒකීයභාවය අර්ථ ගන්වා ඇති ආකාරයෙන් ඒ බව පැහැදිලිය. වචන හරඹ රාශියකි. මේ වචන හරඹ කිරීමෙන් ආණ්ඩුව උත්සාහ කර ඇත්තේ ජනතාව නොමඟ යැවීමටය. මෙය මෙරට සිංහල ජනතාවට කළ අවමානයකි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පිටපතේ ඒකීය රාජ්‍යය යන වචනයට යොදා ඇත්තේ ඕට්‍රියච්චි යනුවෙනි. ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වශයෙන් පවත්වා ගැනීම මේ අයගේ අදහස නම් දැනට පාවිච්චි කරන ඕට්‍රියච්චි යන වචනය පාවිච්චි කිරීමට තිබුණි. එහෙත් ඔරුමිත්තනාඩු වශයෙන් එම වචනය වෙනස් කළේය. ඔරුමිත්තනාඩු යනු එක්සත් යන අදහසය. නැතිනම් රාජ්‍යවල එකතුවක් යන අදහසය. මෙතැන තිබෙන්නේ ලොකු ප්‍රශ්නයකි. මෙලෙස කටයුතු කරන ව්‍යවස්ථා සම්පාදකයන් විශ්වාස කළ හැකි දැයි ප්‍රමුඛ ප්‍රශ්නයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 170කට වඩා වැඩියෙන් තිබේ. මා මෙහි කියන්නේ පළමුවැනි වගන්තිය සම්බන්ධයෙන් පමණක් තිබෙන විවේචනයයි. රටටම බලපාන ආකාරයට ව්‍යවස්ථාව සකසන්නේ වංචනික ලෙස නම් මෙහි ඇති අනෙක් වගන්ති සම්බන්ධයෙන් කෙසේ නම් විශ්වාසයක් තැබිය හැකිද? ඒ අනුව බලන විට නව ව්‍යවස්ථාවක් සැකසීමේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාවලියම වංචනික වූවකි. ඒ සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැත. කුමන ස්වරූපයෙන් මෙය ඉදිරිපත් කළ ද එම තත්ත්වය දුරු කළ නොහැක. මේ ක්‍රියාවලියම නීති විරෝධීය. සදාචාර විරෝධීය.

ජනතාවගේ ඇස්වලට වැලි ගසා දෙමළ ඩයස්පෝරාවට සහ දෙමළ ජාතික සන්ධානය නම් වන බෙදුම්වාදී දෙමළ දේශපාලන පක්‍ෂයේ අවශ්‍යතා ඉටුවන ආකාරයට සකස් කෙරෙන ව්‍යවස්ථාවක් වශයෙන් යෝජිත ව්‍යවස්ථාව පෙන්වා දෙන්නට පුළුවන. එක් එක් පුද්ගලයන් සහ කණ්ඩායම්වල වුවමනාවට සැකසෙන ව්‍යවස්ථාවකින් කිසි ලෙසකින්වත් රටට යහපතක් වන්නේ නැත. එවන් ව්‍යවස්ථාවකින් සිදු වන්නේ නැති ප්‍රශ්න නිර්මාණය කර ගැනීමකි. බහුතර ජනතාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන පසුබිමක් මෙවන් ව්‍යවස්ථාවකින් බිහි නොවෙන්නේ යැයි තර්ක කළ නොහැක.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සමගාමීව 20 වැනි සංශෝධනය ද ඉදිරිපත් කෙරුණි. එය ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණය. ඒ හරහා ද යම් කුකුසක් නිර්මාණය වුණි. වත්මන් ආණ්ඩුවේ ඉතිහාසය සමඟ මේ කාරණා දෙස බැලිය යුතුය. කථානායකවරයාගෙන් පටන් ගත් විට වත්මන් ආණ්ඩුව පවතින යම් යම් කාරණා වෙනස් කිරීමට වෙනත් වෙනත් නීති යොදාගන්නා අාකාරයක් දැකගත හැකිය. බොහොම අහිංසක තාලයේ නීති මීට පෙරදී ද ගෙන ආවේය. එහෙත් කාරක සභා අවස්ථාවල දී ඒවාට විශාල වශයෙන් සංශෝධන ගෙනැවිත් මුලින් පැවැති අහිංසක ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පියවර ගන්නේය. එවන් උදාහරණ කීපයකි. පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් අනුගමනය කළේ එවන් ක්‍රියාවලියකි. මේ හරහා අදටත් පළාත් සභා ඡන්ද පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කර නැත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද මෙවන් වෙනස්කම් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. යම් නීති කෙටුම්පතක් දෙස බලා ශ්‍රේෂ්ඨාධිකරණය යම් වැරැද්දක් පෙන්වා දුන්නොත් ඒවා නිවැරැදි කිරීම කාරක සභා අවස්ථාවේ දී කළ හැකිය. යම් සුළු සංශෝධන කිරීමට කාරක සභා අවස්ථාවේ දී අවකාශය තිබේ.

දස දෙනකු සිටීම ප්‍රමාණවත් බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිතන කාරණයක් පහළොස් දෙනකු සිටිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිතන්නේ නම් දහය පහළොව කිරීමට පුළුවන. එහෙත් ඉදිරිපත් කරන නීතියේ ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කිරීම කළ නොහැක. සම්මත කිරීමට සැරසෙන නීතියේ අපේක්‍ෂිත අරමුණු පරිසීමාවන්ගෙන් පිට කාරණා එයට ඇතුළත් කිරීමට සද‌ාචාරාත්මක අයිතියක් නැත. නීතිමය හැකියාවක් ද නැත. එහෙත් වත්මන් ආණ්ඩුව එවන් සද‌ාචාර විරෝධී ක්‍රියා කළේය. නීතියට පිටින් වැඩ කළේය. එවන් ඉතිහාසයක් සහිත වත්මන් ආණ්ඩුව 20 වැනි සංශෝධනය හරහා වෙනත් අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරාවිද කියන සැකය ජනිත වී තිබේ. පවතින විරෝධතා හේතුවෙන් ගෙන ඒමට නොහැකි වී තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව 20 වැනි සංශෝධනයට රිංගවීමට මේ පාලකයන් උත්සාහ ගන්නවාද යන බරපතළ සැකය ද මෝදු වී හමාරය. එම සැකය සාධාරණ වන්නේ මේ අයම මීට පෙර එවන් ක්‍රියා කර ඇති නිසාය. මේ පසුබිම යටතේ කුමන මුහුණුවරකින් වුවත් ඉදිරියට පැමිණෙන ව්‍යවස්ථා කාරණා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම බෙහෙවින්ම වැදගත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress