සිංගප්පූරු ගිවිසුමට මෛත්‍රි අත ගහයි
Posted on August 13th, 2018

උපුටාගැණීම  මව්බිම

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට තිබේ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අදහස් සලකා බලමින් මෙම කමිටුව පත් කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් කිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන්ද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මඟපෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමටත් එමඟින් අපේක්ෂිතය.

එසේම මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාජීය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලුම පාර්ශ්වයන් වෙත විවෘතව ඉඩ සලසා දී තිබේ.

විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින්වර අතුරු වාර්තා මඟින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර, අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත භාරදීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress