ඒකාබද්ධයේ 69දෙනා ස්වාධීන වෙන්න යති
Posted on August 13th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට (14දා) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පවරා දීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන විය යුතු බවට තර්කයක් ඉදිරිපත් වීම නිසා මෙවැනි තීරණයක් ගැන අවධානය යොමු කිරීමට තීරණය කළ බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මොන තර්ක ඉදිරිපත් කළද රටේ ජනමතයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් විපක්ෂයේ අති බහුතරය හිමි ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බවත් රංජිත් ද සොයිසා මහතා අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ විට ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර යම් අවදානමකට පත්වීමේ අවස්ථාවක් දේශපාලන විරුද්ධවාදීන් ඇති කළද රටේ පොදු මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලුම දෙනා සූදානම් බවද රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress