සිංගප්පූරු ගිවිසුමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ජනපති නියෝග කළ යුතුයි
Posted on August 13th, 2018

ඉෂාරා සිල්වා , උදයන්ති මුණසිංහ උපුටාගැණීම  මව්බිම

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදන අත්හිටුවමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා විසින් සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විද්වත් කමිටුක් පත්කිරීම පිළිබඳ බෙහෙවින් සතුටු වන නමුත් අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (12දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මේ වනවිට යම්කිසි සුබදායක තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිංගප්පූරු ගිවිසුම පිළිබඳව සොයාබලා වාර්තා කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති අපි කවුරුත් ගරු කරන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමත් සමඟ. නමුත් ඒ කමිටුව පත්කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් සිදුවන්නේ නැහැ. එයට හේතුව තමයි මේ වනවිට ඒ ගිවිසුම හොර රහසේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු දෙපාර්තමේන්තුවට චක්‍රලේඛ මඟින් උපදෙස් ලබාදීලා තිබෙනවා.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් ගිවිසුම යටතේ තිබෙන තීරු බදු සියල්ල නිදහස් කරලා දෙරාජ්‍ය අතර භාණ්ඩ හුවමාරුව සිදුකිරීමට. මේ ගැසට් නිවේදනවල තිබෙන තිලාපින්, මගුරන්, ආඳන්, තල්මසුන්, ඩොල්ෆින් මසුන්, මුහුදු උෟරන්, මුහුදු සිංහයන්, නිල්වරල් සහිත ටූනා යන ධීවර ආඥා පනත මඟින් සීමා කළ විශේෂ වර්ගවලට අයත් මත්ස්‍ය සම්පත, ඊළගට ගරුඬවලින් ලබාගන්නා සිලිකා වැලි, තිරිවාණා, වළං මැටි, හුනුගල්, කිරිගල්, අලුහුනු, කිරිගරුඬ, පොස්පෙක්ට් වැනි ස්වාභාවික සම්පත් ,දළ ඇතුන්, අලි, සර්පයන්, ගිරවුන්, මී මැස්සන්, ගෙඹි කකුල්, හාවුන්, වඳුරන් වැනි සතුන්. ඊළඟට මනුෂ්‍ය ශරීරයෙන් ඉවත් කරන කෙස්, සතුන්ගේ මුත්‍රාශ, ආමාශ, උෟරන්ගේ ඉවත් කරන ලොම්, නාගරික කසළ, කුණු කානු මඩ, ටින්වල ඉවතලන දෑ, තඹවල ඉවතලන දෑ හා සුන් බුන්, ගහකොළවල අතුරිකිලි, පලතුරු ගස්, වේවැල්, පලතුරු බීජ, පැළෑටි බීජ යනාදී වශයෙන් සාගර සම්පත්, ගහකොළ, සතා සීපාවා, ඔවුන්ගේ ශුක්‍ර ධාතු ඇතුළු සියලු දේවල් තීරු බදු රහිතව හුවමාරු කර ගැනීම කියලා ගැසට් නිවේදන නිකුත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සිංහල, දෙමළ, ඉංගී්‍රසි ගැසට් නිවේදනවල කොළ අලවල තියෙනවා. ඒ අලවපු කොළ ගැලෙව්වහම තියෙනවා බදු නිදහස් කරන්න මේ ගිවිසුමෙන් කටයුතු කරන හැටි. මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කළ බව සඳහන් කළත් අපේ මන්ත්‍රිවරු කිසිකෙනකුට මේක ලැබිලා නැහැ. මේක තියෙන්න පුළුවන් සම්පන්දන් මැතිතුමාගේ කාර්යාලයේ සහ අනුර කුමාර දිසානායක මහතාගේ කාර්යාලයේ විතරයි.

නිල විපක්ෂයේ කාර්යභාරය හරියට කෙරෙන්නේ නැහැ. සතා සීපාවා විතරක් නෙවෙයි අවුරුදු සියයකට වඩා පැරැණි පුරාවස්තු පවා තීරු බදු රහිතව අපේ රටින් යවන්න පුළුවන් මේ ගිවිසුම අනුව. මෙය ඉතා බරපතළ වගේම ලංකා ඉතිහාසයේ මෙවැනි පාවාදීමක් කරපු ගැසට් පත්‍රයක් කිසිම දිනක තිබිලා නැහැ.

ආචාර්ය හර්ෂ ද සිල්වා වගේ අය කිව්වා මේ ගිවිසුමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණයේ බන්දුල ගුණවර්ධන විරුද්ධ වන්නේ, මගේ ඔළුව ‍ෙදාරක හැප්පිලා එතැනින් පස්සේ අවුල් වීමක් තුළ තමයි මේ තත්ත්වය දකින්නේ කියලා.

මේ රටේ වෛද්‍ය විශේෂඥයන්, නීති විශේෂඥයන්, නීති විශාරදයන්, පරිසරවේදීන්, විද්වතුන්, මේ වෙනකොට ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂය දැන් මේ දේවල් කරනවා නම් මීට වඩා වැඩි බලයක් වැරැදීමකින්වත් ඔවුන්ට ආවොත් මුළු රටම විකුණනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress