ජීවිත බේරා ගැනීම
Posted on August 14th, 2018

වෛද් රුවන් එම් ජයතුංග

මම  පරමාදර්ශී වෛද්‍යවරයෙකු හෝ  පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. එහෙත් මාගේ වෘත්තිය හරහා මට මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි විය. ඉන්ටර්න්වරයෙකු ලෙස මාතලේ රෝහලේ ජීවිත අවදානම් සහිතව රෝහල් ගතවූ රෝගීන් බොහෝ දෙනෙකු හට  පළමු ප්‍රතිකාරය රෝහලේදී ලබා දී ඉන් පසු විශේෂඥ වෛද්‍යවරු හරහා අදාල දිර්ඝ ප්‍රතිකාරයන් ලබා ගැනීමට සලස්වා ඔවුන් ගේ ජීවිත බේරාගත්තෙමි.  වරක්  කඩු පහරවල් ලබා බොහෝ කැපුම් තුවාල සහ අධික රුධිර වහනය තිබූ රෝගියෙකු  ඉරිදා දිනයක සවස රෝහල් ගත කෙරුනි. එදින වාට්ටුවේ සියළු වෛද්‍යවරු නිවාඩු ගොස් සිටි අතර විශේෂඥ වෛද්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමටද නොහැකි විය. ඉන්ටර්න්වරයෙකු ලෙස මම අභියෝගය භාර ගෙන කැපුම් තුවාල මසා රුධිර වහනය නවතා ඔහුට රුධිරය පාරවිළනය කොට රෝගියාගේ ජීවිතය බේරා ගත්තෙමි. සඳුදා දහවල් දොලහත් පසුවී වාට්ටුවට ආ විශේෂඥ වෛද්‍යවරයා ඉතා උදාසීන දෙනෙත් වලින් මා කල වික්‍රමය ගැන අසා සිට පසුව කිසිවක් නොකියා වාට්ටුවෙන් පිටවී ගියේය. මගේ හිටපු බොස් යම් ආකාරයක වෘත්තීය දැවීමකට ලක්ව සිටි අතර මිනිසුන් ගේ ජීවිත බේරා ගැනීම නිසා ලබන සතුට ඔහුට වින්දනය කරන්නට නොහැකි විය. එය එක්තරා ආකාරයක අවාසනාවකි. 

පළමු පත්වීම ලබා ගෙන මිනිපේ ප්‍රදේශයේ නොදියුණු ග්‍රාම ප්‍රදේශයක තිබූ ග්‍රාමීය රෝහලකට ගිය අනෙකුත් බොහෝ වෛද්‍යවරු කලාක් මෙන්  පීපී කොට දුප්පත් ගොවි ජනතාව සූරා නොකෑවෙමි. ඒ මා තුල තිබූ යහ ගුණයක් නිසා නොවේ. බෙහෙත් ගැනීම සඳහා වී ගෝනියක් රුපියල් පණහට විකුනන , නිතරම බත් සමග මයියොක්කා කොළ මළවාගෙන කන ,දිනපතා  කසිප්පු බොන  අලසව දිවි ගෙවන  සහ  කපටි දේශපාලකයන්ව වන්දනා කරන  කෘෂවී ගිය ශරීර වලින් යුත් මනුෂ්‍ය පරාණ දැක ඇතිවූ කළකිරීම නිසාය. එහෙත්  මේ මනුෂ්‍ය පරාණ ගනනාවක් මා මගේ ශක්ති ප්‍රමාණයෙන් බේරා ගත්තෙමි. 

වරක් ඉතා බරපළ ලෙස ඇදුම සෑදී හුස්ම ගැනීම අවහිර වී මරණාසන්නයෙන් සිටි කාන්තාවකට මම මේ ග්‍රාමීය රෝහලේදී ප්‍රතිකාර කලෙමි. ඇයට ශිරා ගත කිරීම සඳහා ඇමීනොෆිලීන් නම් ඖෂධය දීමද ඉතා අපහසු විය. ඇයගේ ශිරා සියල්ලම ඇකිලී තිබුනි. මේ අසීරුතාවන් මැද රෝහලේ ලයිට්ද ගියේය. (ලයිට් යාමට හේතු වූයේ ප්‍රදේශයේ බීමත් මිනිසුන් විසින් බයිසිකල් චේන් කරකවා විදුළි වයර් වල පැටලීම සඳහා විසි කිරීමයි. පසුව මම ග්‍රාම නිලධාරීන් ලවා මේ ක්‍රියාවේ බරපතලකම  ජනතාවට පෙන්වා දුන්නෙමි )  ලයිට් ගිය විගස මට කුණුහරප මතක් විය. කෙසේ නමුත් ටෝච් එලියේ ආධාරයෙන් ශිරාවක් පාදාගෙන එම ඖෂධය එන්නත් කොට ඇයට ඔක්සිජන් ලබා දීම සඳහා ඇම්බු කලෙමි. මෙසේ පැය භාගයක් පමණ යන විට ඇය මඳ වශයෙන් හුස්ම ගන්නට වූවාය. මේ කාන්තාව සති දෙකක් පමණ රෝහලේ නැවතී සිට සුවය ලබා ගිය අතර ඉන් මාස තුනකට පමණ පසු තමන් ගේ කුඹුරේ ගොයම් පැල සිටවනවා දැක මට අසීමිත සතුටක් ඇති විය. 

නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කල සමයේදී මම බොහෝ සංකූලතා තිබූ ඝර්භිනී මාතාවන් මෙන්ම බිළිදුන් ගේ ජීවිත බේරා ගත්තෙමි. එසේම ගබ්සාවන් කොට   ආසාදන සංකූලතා මෙන්ම ජීවිත අවධාන තිබූ කාන්තාවන් රැසකගේ ජීවිත බේරා ගත්තෙමි. මේ  කාලයේදී  මිය යාමට ආසන්නව සිටි සෙලවීම් රහිත නිසා භ්‍රෑණයා මිය ගිය බවට සැක කොට  වාට්ටුවේ පසෙකට දමා සිටි කාන්තාවක් ඉන්ටර්න් වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර සමග එක්වී හදිසි   සීසර්  ශල්‍යකර්මයකට ලක් කොට බිළිඳාගේ ජීවිතය බේරා ගත්තෙමි.   

නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේදී ජීවිත රැසක් බේරා ගැනීමට සහාය දීමට මට හැකි විය. මේ අතරින් මට නිතරම සිහිපත් වන සිද්ධියක් තිබේ. වරක් බඩවැලේ සංකූලතාවක් නිසා ජීවිත අවධානම තිබූ දින හතරක් වයසැති බිළිඳෙක් හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා  ශල්‍ය වෛද්‍ය  විශේෂඥ බී.ජී.එන් රත්නසේන මහතා විසින් ගෙන එන ලදි. මෙම රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොසිටි අතර අවධානම තිබුනේ මගේ කර මතය. මම සාර්ථකව බිළිඳාව නිර්වින්දනය කලෙමි. අප දෙදෙනා විසින් බිළිඳා ගේ ජීවිතය බේරා ගත්තෙමු. මේ සිදුවීමෙන් පසු ශල්‍ය වෛද්‍ය  විශේෂඥ බී.ජී.එන් රත්නසේන මහතා තුල මා කෙරෙහි  ඇල්මක් ඇති විය. එසේම ඔහු මගේ හැකියාවන් විශ්වාස කලේය. මේ කාලයේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් සහ දේශීය වෛද්‍ය උපාධිධාරීන් අතර ඝට්ටන මතුවී තිබූ අතර වරක් ඔහු ශල්‍යාගාරයේදී විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් විවේචනය කොට මාගේ සිත රිදේදෝ කියා සිතුනු නිසාදෝ ”  අපි මේ කියන්නේ රුවන්  වගේ ෆොරින් ග්‍රැජුවෙට්ලා ගැන නෙවෙයි  කියා කීවේය. 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ යුද හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවේ සේවය කරන විට විශාදය , පශ්චාත් ව්‍යසන අක්‍රමතාවය (PTSD)  වැනි මානසික රෝගී තත්වයන් වලට ලක් වීම නිසා දිවි නසා ගැනීමට යොමු වී සිටි සොල්දාදුවන් රැසකගේ ජීවිත බේරාගත්තෙමි. තවද  නිලධාරීන් ගේ සෙසු නිලයන් ගේ හිරිහැර වලට ලක්ව ජීවිත එපාවී සිටි සොල්දාදුවන්ටද අප සහාය වූයෙමු. මින් එක් සොල්දාදුවෙකු මගේ මතකයට එයි. ඔහු සේවය කලේ පනාගොඩ කඳවුරේය. ඔහුට එක් නිලධාරියෙකු විසින් නිරන්තරයෙන්ම හිරිහැර කරන ලදි. යුද හමුදා භාෂාවෙන් මේ වදයන්ට කියන්නේ වහ කරනවා  / ෆලෝ කරනවා කියාය. කෙසේ නමුත් මේ සෙබලා තමන්ට හිරිහැර කරන නිලධාරියාට සහ ඊට උපකාර කරන ජේෂ්ඨ සොල්දාදුවන් කිහිප දෙනෙකුටද වෙඩි තබා ඉන් පසු තමාටද වෙඩි තබාගෙන දිවි නසා ගැනීමට ප්ලෑන් කොට තිබුනි. අපගේ මැදහත්වීම මගින් මේ  ව්‍යසනය මැඞලනු ලැබීය. උක්ත සොල්දාදුවාට වෙනත් සහන සේවා ස්ථානයක් අප ලබා දුන්නෙමු. එසේම මේ හිරිහැර නිසා ඔහුට වැළඳුනු ආතති සහිත ක්ලමථ සමායෝගී ආබාධයද උපදේශනය සහ ඖෂධ මගින් සුව කලෙමු. සුවවූ පසු සෙබලා තමා සැලසුම් කර ගෙන සිටි මාරක ක්‍රියාවලිය පිලිබඳ මට හෙළි කොට අප විසින් ජීවිත ගනනාවක් බේරා ගත් බව ප්‍රකාශ කලේය. යුද හමුදාවේ සේවා කල කාලයේදී මා විසින් ප්‍රතිකාර කල සෙබළුන් ගේ අනුවේදනීය කතා එක් රැස් කොට සංග්‍රාමයෙන් පසු කියා පොතක් ලියූවෙමි. මෙම පොත 2005 වසරේදී  සරසවි ප්‍රකාශකයන් විසින් එළි දක්වන ලදි. 

කැනඩාවට පැමිණි පසු මට නිව් ෆවුන්ඩ්ලන්තයේ ෆැමිලි ෆිසිෂියන් හෙවත් පවුලේ වෛද්‍යවරයෙකු ලෙස රැකියාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලැබුණි. මේ සඳහා මූලික විභාගයන් ද සමත්ව තිබූ නමුදු මාගේ ආශාව වූයේ  වෛද්‍ය මනෝ චිකිත්සනය කෙරෙහිය. කෙසේ නමුත් මම දෙලොවක් අතර තනි වූයෙමි. නිව් ෆවුන්ඩ්ලන්තයේ පවුලේ වෛද්‍යවරයෙකු ලෙස රැකියාවක් ලබාගෙන ගියහොත් මට සිදු වන්නේ කැස්සට , උණට බෙහෙත් කරමින් සංකූලතා ඇති රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කරමින් ඒකාකාරී වෘත්තීය ජීවිතයක් ගත කිරීමටය. තවද පවුලේ වෛද්‍යවරයෙකු රෝගියෙකු බලන විට පැයකට ලැබෙන්නේ ඩොලර් 30 වැනි මුදලකි. එහෙත් මනෝ චිකිත්සනය සඳහා පැයකට ඩොලර් 150 – 200 අතර ප්‍රමාණයක් ලැබේ. මා මුදල් පසුපස නොපැන්නුවද මුදල්ද ජීවිතයේ වැදගත් සාධකයක් බවට පත් වෙමින් තිබුනි. මාගේ පුතාද තව වසර කීපයක් ඇවෑමෙන් ඇමරිකාවේ හෝ කැනඩාවේ විශ්ව විද්‍යාලයකට යනු ඇත. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. මේ නිසා මම මනෝ විද්‍යාව සහ මනෝ චිකිත්සනය වැඩිදුර ඉගෙනීම පිණිස කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයටත් , සෙනෙකා මෙන්ම හම්බර් විද්‍යාල වලටත් ගියෙමි. නිව් ෆවුන්ඩ්ලන්තයේ ෆැමිලි ෆිසිෂියන් විකල්පය අත හැරීම ගැන මගේ මව මට බොහෝ සෙයින් දොස් කීවාය. එහෙත් මිනිසා කල යුත්තේ ඔහුට සිත ගිය දේය. 

වර්තමානයේ මම ඇඩික්‍ෂන් මෙඩිසින් හෙවත් මත්ද්‍රව්‍ය නිසා මනෝ කායික වශයෙන් රෝගී වූ පුද්ගලයන් සඳහා මනෝ චිකිත්සක ප්‍රතිකාර කරමි. එසේම  පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් පෙලෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කරමි. රෝහල් සහ ක්ලිනික් කිහිපයකට දිනපතා යමි. එසේම උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාල කිහිපයක ආරාධිත දේශකයෙකු ලෙසටද පශ්චාත් ව්‍යසන අක්‍රමතාවය පිලිබඳ පරියේෂකයෙකු ලෙසටද සේවය කරමි.  දිනපතා මගේ දැණුම වර්ධනය කර ගන්නෙමි. ආචාර්‍ය උපාධිය සඳහා සූදානම් වන්නෙමි. 

කැනඩාවේද මම ජීවිත බේරා ගන්නෙමි. මාගේ රෝගීන් ලෝකයේ විවිධ ජාතීන් වලට අයත් පුද්ගලයෝ වෙති. මම මනෝ සමාජීය පුනරුත්ථාපනය විශ්වාස කරමි. ඖෂධ මගින් පමණක් ජීවිත බේරා ගත නොහැකිය. ඒ නිසා මාගේ නිර්දේශයෙන් අඩු ආදායම්ලාභී රෝගීන් බොහෝ දෙනෙකුට ආබාධිත ශුභ සාධන ගෙවීම් මම ඔන්ටේ‍රියෝ රජය හරහා ලබා දුන්නෙමි. මොවුන්ට මසකට ඩොලර් 1300 පමණ ලැබේ. මේ මුදල් මගින් ඔවුන්ට නිවාස මෙන්ම අනෙකුත් මනෝ සමාජීය අවශ්‍යතා ඉටු කර ගත හැකි විය. බුදුන් වහන්සේද බණ කීවේ මිනිසුන් ගේ කුසගිනි නිවාය.එහෙත්  කැනඩාවේ වෙසෙන මාගේ සොහොයුරාට මා විසින් කරන මනෝ සමාජීය සේවය ගැන අවබෝධයක් නැත. වසරකට ඔහු තම වැටුපෙන් විශාල මුදලක් ටැක්ස් වශයෙන් ගෙවයි. ” අපි ගෙවන ටැක්ස් ගෙවල් වල ඉඳගෙන ටීවී බලන  කුඩුකාරයන්ට ගෙවනවා ” කියා ඔහු මැසිවිළි කියයි. යම් දිනක ඔහු මාගේ මනෝ සමාජීය සේවය තේරුම් ගනු ඇතැයි කියා මා සිතමි.

උතුරු ඇමරිකාවේදී මා විසින් බේරා ගත් ජීවිත ගනනාවකි. ඔවුන් සෑම දෙනෙකුටම තමාට ආවේනික අතුල්‍ය කතාවක් තිබේ. මා විසින් වර්තමානයේ ප්‍රතිකාර කරන මැන්ඩි (නියම නම නොවේ) කැනඩාවට එන්නේ පැරණි යුගෝස්ලාවියාවෙනි. වසර විස්සකට අධික කාලයක් නිසා විවිධ මත් ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඔහුගේ මනසත් ශරීරයත් ක්‍ෂයවී තිබේ. අධික විශාදයෙන් පෙලෙමින් නිවාස අහිමි මිනිසෙකු ලෙස ඉබාගාතයේ යමින් සිටි මැන්ඩි දිවි තොර කර ගැනීමට ආසන්නව සිටියේය. මම ඔහුට ආබාධිත ශුභ සාධන වැටුපක් ලබාදී ඔහුව ගෘප් හෝම් හෙවත් මානසික රෝග රැඳවියන් බලා ගන්නා නිවාසයක නතර කලෙමි. මත් ද්‍රව්‍ය භාවිතය නිසා ඔහුගේ දත්මුල් කුණුවී තිබූ අතර දන්ත ප්‍රතිකාර වෙත යොමු කොට ඒවා සුවපත් කලෙමි. මසකට වරක් ඔහු  මනෝ චිකිත්සන ප්‍රතිකාර සඳහා පැමිනෙයි. ඔහු තුල තිබූ විශාද තත්වය බොහෝ දුරට අඩුවී තිබේ. වර්තමානයේ ඔහුගේ ජීවන මට්ටම හොඳය. මිය යන තෙක් ඔහුට කරදරයකින් තොරව ජීවත් වීමේ හැකියාව තිබේ. ඔහු මාව හඳුන්වන්නේ මයි ගාර්ඩියන් ඒන්ජල් කියාය. මම ඒ පදවි නාමයට සුදුසු පුද්ගලයෙකු නොවෙමි. මා කලේ මගේ ඩියුටියයි.   

ඉතලියානු සම්භවයකින් යුත් ඩැනී (නියම නම නොවේ) මා වෙත මනෝ චිකිත්සනය සඳහා යොමු කරන්නේ මනෝ වෛද්‍ය පීටර් සෙලීනාය. ඔහු තුල ක්‍රොනික් ඩිප්‍රෙෂන් හෙවත් දුස්සාධ්‍ය විශාද තත්වයක් තිබේ. දෙවරක් ඔහු දිවි නසා ගැනීමට ගියේය. ප්‍රති විශාද ඖෂධ සඳහා ඔහු තුල ප්‍රතිරෝධයක් තිබේ. EMDR වැනි මනෝ චිකිත්සන ප්‍රතිකාර වලින් ඩැනී තුල තිබූ දුස්සාධ්‍ය විශාද තත්වය අඩු විය. තවද මම ඔහුව ආනාපානාසති භාවනාව කිරීමට පුරුදු කලෙමි. වර්තමානයේ දිවි තොර කර ගැනීමේ අදහසක් ඔහු තුල නැත. මීට සති කීපයකට උඩදී දුරකතනයෙන් මට කතා කල ඩැනී තමන් දැන් රැකියාවක නිරත වන බව කීවේය. 

සනී (නියම නම නොවේ) කැරිබියානු සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහු හිටපු උමං දුම්රිය රියැදුරෙකි. වරක් ඔහු දුම්රිය ධාවනය කරන විට එක් කාන්තාවක් ඔහුගේ දුම්රියට පැන්නාය. ඇයගේ ශරීරය කෝච්චියේ රෝද වලට යට වන කම්පනයද ඔහුට දැනුනේය. එම සිදුවීමෙන් පසු  ක්‍රමිකව  ඔහු තුල  පශ්චාත් ව්‍යසන අක්‍රමතාවය වර්ධනය විය. නින්ද නොයාම නිසා ඔහු මත් ද්‍රව්‍ය සහ මත් පැන් වලට ඇබ්බැහි විය. ඔහු රැකියාවටද නොගියේය. ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානියන් සනී ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන බවට සැක කොට ඔහුගේ වැටුප් අත් හිටවන ලදි. මේ නිසා ඔහු තවත් කළකිරීමට පත් විය. සනී මවෙත යොමු කිරීමෙන් පසු මම පුරා මාස තුනක් එක දිගට ඔහුට ප්‍රතිකාර කලෙමි. එසේම ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානියන් අමතා ඔවුන් ගේ සැක දුරු කලෙමි. මේ නිසා ඔවුන් සනී හට සහන කාලයක් දුන්නෝය. වරක් සනී ” ඔබ මාගේ ජීවිතය බේරා ගත්තා කියා කීවේය ” රෝගී තත්වය සහ ආර්ථික ගැටළු නිසා තමන් ඕවර් ඩෝස් හෙවත් ඖෂධ අධි මාත්‍රාවක් ගෙන දිවි නසා ගැනීමට සිතාගෙන සිටි බවත් මා විසින් ඔහුට සහනය සැලසූ නිසා ජීවිතය ගැන යළි විශ්වාසය ඇතිවූ බවත් ඔහු කීවේය.  

මෙලෙස වසර ගනනාවක් පුරා ජීවිත බේරා ගත් නිසා මා වීරයෙකු හෝ ප්‍රශංසනීය පුද්ගලයෙකු කියා මා නොසිතමි. මා කලේ මගේ රැකියාවයි. එසේම මා දන්නා වෛද්‍යවරු බොහෝ දෙනෙකු මටත් වඩා ජීවිත සංඛ්‍යාවක් ගලවාගෙන තිබේ. සමහරු දිනපතා ජීවිත විශාල ගනනක් බේරා ගනිති. ජීවිත බේරා ගැනීම අපගේ වෘත්තිය සමග බැඳී තිබේ. එම නිසා වර්ජන මගින් රෝගීන් ගේ ජීවිත අවදානමට පත් කිරීම නොසුදුසු බව මම සිතමි.   2000 වසරේදී තිබූ වෛද්‍ය වැඩ වර්ජනයකදී බසයකට හැපී උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙනා තරුණයෙකුට  වැඩ වර්ජනය පසෙකට දමා මම ප්‍රතිකාර කලෙමි. ඒ ගැන අද දිනයේ මම අවංකවම සතුටු වෙමි. 

වෛද් රුවන් එම් ජයතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress