සීගිරි බිතු  සිතුවම් සංරක්ෂණයේ අභියෝග
Posted on August 14th, 2018

මතුගම සෙනෙවිරුවන්

සිංහල ඉතිහාසයේ  මහා සුරු විරු කම් පෑ නරපතියන් මෙන්ම මහා කාලාකාමී හැකියාවන් ගෙන් සමන්විතව සිටි නරපතියන්ද වූහ.ධාතුසේන මහරජු ගේ පුත් කාශ්‍යප ගැන කිව යුතු වන්නේ සිය ආරක්ෂාව වෙනුවෙන් ඉඳි කල බලකොටු නගරය මහා කලාගාරයක් බවට පත් කර ගත් ආකාරයයි. ඇතෙමෙක් මේ සීගිරි බල නගරය හඳුන්වන්නේ ආලකමන්දාව යනුවෙනි. රාවණ ගේ පරපුරේ කුවෙර ගේ ආලකමන්දාව යනුවෙනි. කෙසේ වෙතත් ලංකාවට කීර්තියක් අත් කර දුන් ස්මාරයකයන් අතර  සීගිරිය ඉදිරියෙන්ම ඇත. එය ලෝක උරුමයක් ලෙසට යුනෙස්කෝව විසින් නම් කරන ලද්දේය  . එහෙත් සැබවින්ම සීගිරිය යනු ජාතික උරුමයකි. සිංහලයන්ට සිය අභිමානය කියැ පෑ හැකි විස්මිත නිර්මිතයකි. සීගිරිය නිර්මාණය කොට එහි කලා කෘති නිර්මාණය කොට දැන් අවම වශයෙන් වසර එක්දහස් පන්සීයක කාලයක් ගතව ඇත්තේය. කලක් ඝන වනයට යටව පැවතුණු සීගිරිය 1831 වර්ෂයේදී   හෙළි පෙහෙළි කර ගනු ලැබිණ. එච්.සී.පී.බෙල් මහතා 1851 වර්ෂයේදී සීගිරිය තරණය කළේය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද ඒ මග ගනිමින් සීගිරි කලාගාරය නැවත ප්‍රකෘතිමත් කිරීමටත් සීගිරි කුරුටු ගී කියවා ප්‍රකාශයට පත් කරලීමටත් කටයුතු කළේය.

             ලක්දිව  චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර මුල් තැනක් ගනී. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව,  බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප  වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. මෙම චිත්‍ර ඇඳීමේදී වර්ණ භාවිතය විශේෂය. වර්ණ සකසා ගැනීමේදී රජරට බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ.මෑතකදී ඉතාලියේ ඉක්‍රොම් අයතනයේ  විශේෂඥ ෆැබ්රීසියෝ බන්ධනී විසින් කරන ලද අධ්‍යනයකදී හෙළි වී ඇත්තේ චිත්‍ර සිතුවම් කිරීමේ පෘෂ්ඨය ස්ථර තුනකින් යුක්ත බවයි.ඒවා රතු මැටි (හුඹස් මැටි) ශාක කොටස් සිහින් වැලි වලින් සමන් විතය. ස්ථර දෙකක පමණ හුණු මද වශයෙන් යොදා ගෙන තිබේ.එම වැලි මැටි බදාමය බන්ධනය කිරීමට ගිවුල් ලාටු වැනි ස්වභාවික ගම් වර්ග භාවිතා කර ඇත. ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සිංහල සාහිත්‍යයේ   දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර වී යයි සිතේ.

         මෙම අලංකාර චිත්‍ර කාලයේ විපරීත බවින් දේශගුණික විපරීත බවින් ද මුදවා ගන්නට නොහැකිය. මිල කළ නොහැකි සීගිරි බිතු සිතුවම් වරින් වර විනාශව යන්නට කරුණු ගොනු වන්නේ එහෙයිනි. වරක් සාහසිකයෙකු විසින් සීගිරි සිතුවම් මත තීන්ත ගා කුලු ගෙඩියෙන්ද පලුදු කර තිබුණි. නවසිය හැටේ දශකයේ දී මෙම විනාශය මග හරවා සිතුවම් යලි යථාතත්වයට පත් කිරීමට ඉතාලි ජාතික ලුසියානො මරන්සි පැමිණ ගියහ. පසුගිය කාලයේද ඒවා නැවතත් අභියෝග රැසකට මුහුණ දුන්හ.සීගිරිය සම්බන්ධව වගකීම දරන ආයතන කීපයකි. එකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. අනෙක මධ්‍යම සංස්කෘතික අරමුදලයි. නව සිය හැටේ දශකයෙන් පසුව සීගිරි චිත්‍ර නැවත අභියෝගයට ලක් විය. ඒ එම චිත්‍ර මතින් විශේෂයෙන්ම ලලනාවන්ගේ මුහුණු වසා ගෙන පැතිරුණු සුදු පැහැ වලා පටලයක් නිසාවෙනි.මෙම ලිපිය සැකසෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම අභියෝගය ජය ගන්නට සහ නිවරදි පරිදි සංරක්ෂණයට ගත් ක්‍රියාමාර්ගයන් පෙන්වා දීමටයි.

       අපගේ පැරණි චිත්‍ර ශිල්පීන් විහාරස්ථාන බිතු සිතුවම් මෙන්ම මෙවැනි ලෞකික සිතුවම් ඇඳීම පිණිස ස්වභාවික අමුද්‍රව්‍යන්ම යොදා ගත්හ. ඒවා වියැකී යන කල්හි. නැවත ඒවා මත සිතුවම් අදිමින් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් අනුගමනය කළහ.එයට හේතුව බෞද්ධ සංස්කෘතිය  ජීවමාන උරුමයක් ලෙසින් සැලකූ බැවිනි. මහනුවර දළාද මාළිගාවට කොටි ත්‍රස්තයන් එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් පසු. එහි වරිච්චි බිත්ති මත ඇඳ තිබූ පැරණි බිතු සිතුවම් යලි මතු විය. රජ දවස සංරක්ෂණ  ක්‍රියාදාමය එලෙසයි. විසි වන සියවසේ  මෙම චිත්‍ර සංරක්ෂණයට නවීන රසායන ද්‍රව්‍යයන් යොදා ගන්නට සිදු විය.1943 දී ෂානා වුල්ලා ඛාන් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතා සහ මහාචාර්ය නන්දා වික්‍රමසිංහ යන  යන විද්වතුන් මේ සීගිරි චිත්‍ර සංරක්ෂණයේ පුරෝගාමීන් වූහ. ඉන්පසු නන්දා වික්‍රමසිංහ මැතිණිය යටතේ එහි දෙවනියා වශයෙන් කටයුතු කළ 1983 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්වුණු යූ .වතුගේ මහතා දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ   රසායන සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ධූරය දරයි.

    1968 ඔක්තෝබර් 13 දින සීගිරි චිත්‍ර විනාශ කළ පසු මරන්සි මහාතා ගේ උපදෙස් මත ඒම චිත්‍ර  වල ගා තිබූ තීන්ත ඉවත් කර නැවත යථා තත්ත්වයට පත් කර ගන්නා ලදී. 2004 වසරේ දී යට සඳහන් කළ පරිදි ලලනාවන් ගේ මුහුණ මතින් පැතිර ගිය සුදු වලා පටලය කුමක්දැයි නිවරදිව හඳුනා ගන්නා ලද්දේ යූ. වතුගේ මහතාය.ඔහු එම සොයා ගැනීම විස්තර කරන්නේ මෙසේය.

       සීගිරි චිත්‍ර සංරක්ෂණය පිළිබඳ නිරන්තර අවධානයෙකින් ඉන්නට සිදු වන්නේ ඒ චිත්‍ර ලෝක උරුමයන් අතරට එක් වීම නිසයි. මෙම චිත්‍ර සංරක්ෂණයට අපට වරින් වර යුනෙස්කෝ සංවිධානයේ විශෙෂඥයන් ගෙන උපදෙස් ලැබෙනවා. මම රසායන සංරක්ෂණ අංශයට එක් වූවාට පසු ඉන්දියාවට ගොස්  පුහුණුව ලබා පැමිණියා.2004 වර්ෂයේ දී මා දැක්කා මෙම චිත්‍ර නැවත යම් අභියෝගකට මුහුණ දී තිබෙන වග ඒවා සඳහා යම් අකාබනික රසායන වර්ග කීපයක් යොදමින් යථා තත්තවයට පත් කිරීමට වෑයම් කරමන් සිටින අවදියේ 2010 දී පමණ මේ විනාශය පත්‍ර මාර්ගයෙන් ප්‍රසිද්ධ වුණා. එම වාර්තා නිසා මට එරෙහිව පරික්ෂණයක් පවා සිදු වුණා. එහිදී මහාචාර්ය ජගත් වීරසිංහ මොහාන් අබේරත්න මහාචාර්ය නිමල් සිල්වා වැනි විද්වතුන් ගේ කමිටුවක් පත් කලා.නමුත් ඔවුහු තහවුරු කලා මම භාවිත කළ රසායන ද්‍රව්‍ය මගින් එම විනාශය සිදු නොවුණ බව. ඒ සමගම යුනෙස්කෝවේ අනග්‍රහය මත ඉතාලි ජාතික බන්ධනී ද ලෝක උරුම කාර්යාලයේ කැකුලේ සහ ක්‍රිස්ටීන් ප්ලෙෂර්  මෙහි පැමිණ මේ චිත්‍ර ගැන පර්යේෂණ කරමින් වාර්තා දෙකක් එළි දක්වා තිබෙනවා. ඊට අමතරව පුරාවිද්‍යා පශචාත් උපාධි අයතනය මගින් කල පරීක්ෂණය මගින් (පොලිවිනියුල් ඇසිටේට් ) වැනි දෙයක් මෙම පටලය තුළ තිබෙන බව තහවුරු කර ගත්තා.මම කලින් නිගමනය කළ සැකය ඔවුන් තහවුරු කර තිබෙනවා. ඒ කියන්නේ මේ මතුව තිබෙන්නේ ජිප්සම් විශේෂයක්. 2014 වසරින් පසුව මම නිවි හැනිල්ලේ මෙම චිත්‍ර යළිත් සංරක්ෂණය ආරම්භ කොට අද වන විට එය අවසන් කොට තිබෙනවා. මෙම වලා පටලය මතු වීමට හේතුව මරන්සි මහතා විසින් කැඩුණු බදාම සවි කිරීමට භාවිතා කල පෙසොලෝනා බදාමයේ ජිප්සම් සහ ගම් වර්ග තිබීමයයි අනුමාන කරනවා.. වාතයේ තෙතමනය සමග එක්කාසු වී මේවා සිහින් පටලයක් ලෙස විසිරෙන්නට පටන් ගත්තා. නමුත් මම තේරුම් ගත්තා අකාබනික රසායන වර්ග කීපක් පාවිච්චි කිරීමෙන් මෙම උවදුර පහ කර ගත හැකි බව. මොකද මැටි බදාම වල සහ වර්ණ වල තිබෙන කාබනික රසායන සහ අකාබනික රසායන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එම වෑයම සාර්ථක වුණා. දැන් ඒ ගුහාවේ චිත්‍ර නැවත යථා තත්වයට පත්ව තිබෙනවා.

            සැබවින්ම මෙම අත්දැකීමෙන් අපට පසක් වන්නේ ඉතාමත් අවම පහසුකම් යටතේ වුවද පුරා විද්‍යා දෙපාර්තමේනේතුවේ  විශේෂඥයන්ට ලංකාවේ සංරක්ෂණ කටයුතු කළ හැති ආකාරයයි.2016 දී දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ අර්ජුන මහතා සහ පිරිසක් එක්ව සීගිරිචිත්‍ර නව ඩිජිටල් ක්‍රමයට පිටපත් කිරීම එක් උදාහරණයක්. ඒ ඡායාරූප මගින් සිදුවන හානි ඉතා ඉක්මනින් හඳුනාගන්නට හැකිවනවා. එම නිර්මාණ ශීලී තත්ත්වය වැඩි දියුණු කිරීමට නම් නව තරුණ නිළධාරීන් ඉදිරියට ගත යුතුය. වැඩි දුර පුහුණුවට විදේශ වලට යවා යලි මෙහි ගෙන්වා ගෙන ලංකාවේ බිතු සිතුවම් මෙන්ම වාස්තු නිර්මිතියන් ආරක්ෂා කර ගත යුතුයි.එහෙත් ශෝචනීය තත්ත්වය නම් දෙපාර්තමේන්තුවේ සිටින නිළධාරින් බොහොමයක් සරිලන වැටුපත් නොලැබීමත් උසස් වීම් නොලැබීමත් වැඩි දුර පුහුණු සඳහා අවශ්‍ය පහසු කම් නොලබමින් කළ කිරීමෙන් පසු වීමයි. වතුගේ මහතා ද තව වැඩි කලක් යන්නට ප්‍රථම විශ්‍රාම යන්නේය.ඉන්පසු ඒම රික්තය පිරවීම ලෙසෙහි පහසු නොවේ. ඇමති වරුන්ගේ  සහ ලේකම් වරුන් ගේ බල අරගල වලට මැදි වී මිරිකී තිබෙන මෙවැනි වටිනා ආයතන යලි නගා සිටුවීමට නම් ඒවායේ මුල් පුටුවලට පුරාවිද්‍යාව මෙන්ම රටේ සංස්කෘතිය ස්පර්ශ කරන අවංක නිළධාරීන් පත් විය යුතුය.ලංකාවේ ස්මාරකයන් සියල්ල අයත් වන්නේ ජාතික උරමයන්ටයි. ඒවා කෞතුක වටිනා කමකින් යුක්ත වුවද ජීවමාන සංස්කෘතියේ පැතිකඩයන්ය. ඒවා කලමනාකරනයට පුරාවස්තු ආඥා පණත ප්‍රමාණවත් නැත. ඒ වෙනුවට ජාතික උරුම කළමනාකරන පණතක් අවශ්‍ය වන්නේය.එසේ  නොවන  විට සීගිරිය වැනි අගනා ජාතික උරුමයන් චීනයට හෝ ඉන්දියාවට පවරා දීමට යමෙක් කටයුතු කරන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ..

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress