නාලක ගුණවර්ධන සමග සංවාදයක්
Posted on August 16th, 2018

 සාකච්ඡා කලේ   වෛද්‍ය රුවන් එම් ජයතුංග,

1) නාලක ඔබ මගේ සමකාලීනයෙක් කාලේ ඔබ ඉතා දීප්තිමත් සිසුවෙක්. බොහෝ දෙනාගේ ප්රාර්ථනය වූයේ ඔබ උසස් පෙළ විභාගයෙන් පසු  නියත ලෙසින්ම වෛද්  විද්යාලයට යනු ඇත කියායි. එහෙත් දේ එලෙස සිදු නොවූයේ ඇයි

මට ලාබාල වියේ පටන් මා යම් දිනෙක කරන්න කැමති කුමක්ද යන්න ගැන දැක්මක් තිබුණා. උසස් පෙළට ජීව විද්‍යා විෂයයන් හැදෑරුවේ විද්‍යාවට තිබූ ලැදියාව නිසාම මිස වෛද්‍යවරයකු වීමට නොවේ.

මා කුඩා කල සිටම විද්‍යාව හා තාක්ෂණය ගැන බොහෝ සෙයින් උනන්දු වුණා. ඒ සමගම මට ලිවීමේ හා කථා කිරීමේ කුසලතාවන් ද තිබුණා. මේ දෙක එකතු කිරීමෙන් මා වයස 12 පමණ පටන් විද්‍යා මාතෘකා ගැන ගවේෂණය කරන්න, සොයා ගන්නා දැනුම අන් අයත් සමබ බෙදා ගන්න ක්‍රියා කළා. මුලදී එය කළේ ‘විජය’ ළමා පත්‍රය හා එවකට (1980 දශකයේ) තිබූ එකම රේඩියෝ සේවය වූ රජයේ ගුවන්විදුලියේ වැඩසටහන් හරහා. ගුවන්විදුලියේ ‘සරස්වතී මණඩපය’ නම් ළමා වැඩසටහනට මා පිටපත් ලියුවා වගේම කටහඬින් ද දායක වුණා. සාමන්‍ය පෙළ පන්තියට එන විට ජාතික පුවත්පත්වලත් මගේ ලිපි නිතර පළ වුණා.

උසස් පෙළ සිටියදී එවකට තිබූ ‘නුවණ’ හා ‘කල්පනා’ වැනි ජාතික සඟරාවලට මා ගවේෂණාත්මක විද්‍යා ලිපි ලියුවා. මේ ලිපිවල රචකයා පාසල් සිසුවකු බව කලක් යන තුරු කතුවරුන් දැන සිටියෙත් නෑ. මා ඒ කිසිවකු පෞද්ගලිකව හඳුනන්නෙත් නෑ. තැපෑලෙන් තමයි සියලු ගනුදෙනු කළේ. මාධ්‍යවල සන්නිවේදනයට අමතරව මා දැනුම මිනුම තරග, විවාද තරග, පරිසර සුරැකීමේ වැඩ ආදියේ නිරත වුණා. මා බෙහෙවින් ප්‍රීතිමත් හා තෘප්තිමත් පාසල් කාලයක් අත් වින්දා. පාසලෙන් නික්ම ගිය පසු ඒ කිසිවක එල්බ නොසිට, පසුතැවීම් හෝ දෙගිඩියාවෙන් තොරව මගේ හැකියාවන් හා ලැදියාවන් ඒකරාශී කරන මාවතකට පිවිසුණා.

2) වෛද්යවරයෙකු වීමට සිටි ඔබ මාධ්යවේදියෙකු වීම ගැන ඔබ සිතන්නේ කුමක්ද

ඉහත කී පරිදි මා වෛද්‍යවරයකු වීමට සැළසුම් කරමින් සිටියේ නෑ. මා වෛද්‍ය විද්‍යාලයට නොයාම ගැන මගේ සමහර ගුරුවරුන් කම්පා වූ බව නම් මතකයි. ඒත් මගේ පාසලේ විබාග ප්‍රතිඵල ‘නම්බුව’ රකින්නට අශ්ව රේස් දුවන්නට මා සූදානම්ව සිටියේ නෑ. මගේ දෙමවුපියෝ ඒ වන විට මා ස්වාධීන මනසක් ඇත්තකු බව දැන සිටියා. ඒ නිසා යම් මට්ටමකින් ඔබ්බට ඔවුන් දැඩි බලපෑම් කළේ නැහැ.

වෘත්තීය විද්‍යාඥයෙක් වීමේ ආසාව නම් මට තිබුණා. එහෙත් එක් විද්‍යා ක්ෂේත්‍රයක ගැඹුරට හදාරනවාට වඩා පුළුල් විද්‍යා ක්ෂේත්‍ර ගණනාවක දැනුම සොයන හා ලබන විද්‍යා ලේඛක වෘත්තිය මා තෝරා ගත්තා. ඒ හරහා මා ජීවිත කාලය පුරා ශිෂ්‍යයකු හෙවත් ශාස්ත්‍රකාමියකු වනවා (learner for life). එය මා ලද භාග්‍යයක්. තමන් ආසා කරන දේ ජීවිකාව ලෙස කිරීමට ලැබීම කෙතරම් අපූරුද?

3) ඔබ අන් මාධ්යවේදීන්ට වඩා වෙනස් මාධ්යවේදියෙක්. ඔබ ලියන්නේ යම් විෂයක් ගැන ගැඹුරින් හදාරලා. මේ සංයමය ඇති වූයේ කොහොමද

උඩින් පල්ලෙන් හෝ ආවාට ගියාට කිසිම වැඩක් කිරීමට මා කැමති නෑ. මා ජීවිතය ජය ගත් හා දැනුමෙන් පරතෙරට ගිය අයගේ ජීවන චරිත මහත් ඕනෑකමින් හදාරනවා. ඔවුන් බොහෝ දෙනකු සාවධානව, පිළිවෙලට කොයි දෙයත් කළ අයයි. ‘යමක් කරනවා නම් එය ඉතා හොඳින් කරන්න’ [If a thing is worth doing, it’s worth doing well] යැයි මා පාසල් සිසුවකුව සිටියදීම මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට ගොස් දැන හඳුනාගත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා 1985දී දුන් අවවාදය මට අදටත් ඉතා ප්‍රයෝජනවත්.

හැබැයි මා තව දුරටත් මාධ්‍යවේදියකු නොවෙයි. දැන් මා නිදහස් විද්‍යා ලේඛකයෙක් හා නව මාධ්‍ය විශ්ලේෂකයෙක් (freelance science writer and new media analyst). මගේ වයස 20 ගණන්වල (එනම් 1987 සිට 1994 දක්වා) මා වසර කීපයක් මුද්‍රිත මාධ්‍යවල නිතිපතා වැඩ කළා. එසේ කළේ මා නොයෙක් දේ උගන්නා අතර freelancer කෙනකු ලෙසයි. කිසිදු ආයතනයකට පූර්ණ කාලීනව සීමා නොවීමට මුල සිටම මා ප්‍රවේශම් වුණා. නමුත් මා වැඩිපුරම වැඩ කළේ උපාලි පුවත්පත් සමාගම සමගයි. එහි The Island ඉංග්‍රීසි පත්‍රයේ විද්‍යා වාර්තාකරුවා හා පසුව විද්‍යා පිටුව භාර කතුවරයා ලෙස මා කළ වැඩ නිසා විද්‍යාභිවර්ධන සංගමයෙන් (SLAAS) වසරේ හොඳම විද්‍යා ලේඛකයාට පිරිනමන සම්මානය (ඉංග්‍රීසි මාධ්‍යය) දෙවරක්ම මට ලැබුණා (1988, 1989). තවත් ජාතික මට්ටමේ විද්‍යා සන්නිවේදන සම්මාන දෙකක් 1990-1992 වකවානුවේ මට පිරිනැමුණා.

බාහිරින් ලැබුණු මේ ඇගැයීම් නිසා පත්තර කන්තෝරුව තුළ සමහරුන්ට ඉරිසියාවක් මතු වන්න ඇති. මට වඩා බෙහෙවින් දෙටු මාධ්‍යවේදියෝ එළිපිටම මට කෙනහිලිකම් කරන්න ගත්තා (හැමදෙනාම නොවෙයි). උපාලි පුවත්පත් සමාගම ‘විදුසර’ සතිපතා පුවත්පත ආරම්භ කළේ 1987 අගදී. එයට උපදෙස් දීමට පත් කළ කමිටුවට කළමණාකාරිත්වය මාවද සම්බන්ධ කර ගත්තා. එහෙත් එහි සිටි එකම ද්විභාෂික මාධ්‍යවේදියා වූ මගෙන් හරිහැටි වැඩ ගන්නවා වෙනුවට නොයෙක් කොන් කිරීම් සිදු වුණා.

මේ නිසා මා වැඩි කලක් විදුසරට ලිව්වේ නැහැ. සිත් කම්පා වී ඉවත් වුණා. නමුත් The Island පත්‍රය සමග දිගටම වැඩ කළා. මෙරට මාධ්‍ය ආයතන තුළ තිබෙන කුහකකම්, කුලල්කා ගැනීම් හා ඉතා පහත් වෘත්තීයභාවය සමීපව නිරික්සූ මා, කෙමෙන් සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයෙන් දුරස්ත වුණා. 1994-1999 වකවානුවේ මා සංරක්ෂණයට කැපවූ ජාත්‍යන්තර ආයතන දෙකක සන්නිවේදන විශේෂඥ ලෙස සේවය කළා. 2000න් පසු වසර ගණනාවක් විදේශ වාර්තාකරුවකු හා මාධ්‍ය පුහුණුකරුවකු ලෙස ආසියානු කලාපය පුරාම වාගේ වැඩ කළා.  තායිලන්තය, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් රැසක මා පුහුණු කළ මාධ්‍යවේදියෝ සිටිනවා.

2012දී විදුසර 25 වන සංවත්සරයට මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලූ විට මා එය නොපැකිල ලබා දුන්නා. මෙරට විද්‍යා සන්නිවේදනයේ වත්මන් අභියෝග ගැන මා එහි විග්‍රහ කළා. එය කියවන්න මෙතැනින්. https://nalakagunawardene.com/2012/11/07/vidusara-at-25-my-interview-on-science-communication-in-sinhala/

4) ඔබ ඉංග්රීසි මාධ්යයෙන් සන්නිවේදනයට යොමු වුණේ ඇයි? වැඩිපුර මේ දැනුම සමාජගත විය යුත්තේ දේශීය භාෂාවලින් නේද?

මගේ මවුබස ඉංග්‍රීසි නොවෙතත් බොහෝ කලෙක පටන් එය මගේ වෘත්තීය බසයි. අපි පාසලේ උගත්තේ සිංහල මාධ්‍යයෙන්. එකල මවුපියන් සිංහල නම් එබසින් පමණයි දරුවන්ට රජයේ පාසලක උගන්නට ඉඩ දුන්නේ. (අද මෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැනීමට අපට වරම් තිබුණේ නෑ). එහෙත් මගේ දෙමවුපියන් පේරාදෙණිය සරසවියේ 1950-1960 ගණන්වල උගත් ද්විභාෂිකයෝ. කුඩා වියේ පටන්ම මාත් ද්විභාෂික වීමට මහත් උත්සාහ කළා.

මා ඉංග්‍රීසි උගත්තේ ස්වොත්සාහයෙන් හා ධෛර්යයෙන්. මුලදී මගේ ඉංග්‍රීසි එතරම් ප්‍රශස්ත වූයේ නැහැ. 7 වෙනි පන්තියේදී ආනන්දයේ මා සමග සිටි, කොළඹ ප්‍රභූ පසුබිමකින් ආ මගේ සගයෙක් මට ‘ගොඩයා’ කියා විහිලු කළා. එයින් එයින් මොහොතකට සිත රිදුනත් සිදු වූයේ මා දිරිමත් වීමයි. කෙටි තරංග හරහා ආ BBC, Voice of America විදෙස් රේඩියෝ විකාශවලට සවන් දෙමින්, TIME, Newsweek, Reader’s Digest වැනි ජාත්‍යන්තර සඟරාවල පරණ පිටපත් සොයා ගෙන කියවමින් මා ලියන හා කියන ඉංග්‍රීසි දියුණු කර ගත්තා. උසස් පෙළට එන විට මා බොහෝ දුරට ද්විභාෂිකයි.

පුවත්පත් ආයතනයක වැඩ කරන්න පටන් ගත් විට භාෂා දෙකෙන්ම ලියන්න මා ඉතා කැමැත්තෙන් සිටියා. ඒත් මා වැනි අයකුගෙන් ප්‍රයෝජන ගන්න දිවයින හා විදුසර පරිසරය සූදානම් වූයේ නැහැ. 1990 වන විට මා සිංහලෙන් ලිවීම මුළුමනින්ම නතර කළේ විදුසරේ අමිහිරි අත්දැකීම් නිසා හට ගත් කළකිරීමෙන්. වසර 20කට වඩා මා සිංහල මාධ්‍ය ලොවින් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටියා.

ආපසු ආවේ 2011දී එවකට ‘රාවය’ නියෝජ්‍ය කර්තෘ කේ ඩබ්ලියු ජනරන්ජන සතිපතා තීරු ලිපියක් ලියන්නට මා පොළඹවා ගැනීමෙන් පසුවයි. මට ඇත්තේ සාමන්‍ය පෙල දක්වා පමණක් විධිමත්ව උගත් සිංහල පරිචයක්. මා ලියන්නේ කථා කරන භාෂාවෙන්. මට සිංහල පණ්ඩිතකමක් කොහෙත්ම නෑ. මා හැමදේම ප්‍රශ්න කරන, ඒ හරහා උත්තර සොයා ගෙන යන්නෙක්. මුලදී චකිතයෙන් වගේ පටන් ගත් ‘සිවුමන්සල කොලුගැටයා’ කොලම මේ වන විට වසර හත හමාරක් නොකඩවා සතිපතා ලියා තිබෙනවා. (මේ කාලය තුළ ‘රාවය’ කතුවරුන් තිදෙනකු යටතේ මා ලියූ අකුරක්වත් වෙනස් නොකොට පළ කොට තිබෙනවා. මට පූර්ණ ප්‍රකාශන නිදහස් තිබෙනවා. මා ලියන දෙයට ගරුසරු ඇතිව සළකනවා. මෙය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දුර්ලභ දෙයක්.) මේ වන විට කොලම් 400කට ආසන්නයි. ඒවායෙන් තෝරා ගත් එකතු පොත් 3ක් හැටියට පළ කොට තිබෙනවා. සිතන පතන රාවය පාඨකයන් දක්වන ප්‍රතිචාර මා බෙහෙවින් දිරිමත් කරනවා.

5) නමුත් ඔබ මතභේධයට ලක් විය හැකි මාතෘකා හෝ දේශපාලන මාතෘකා ගැන ලිවීම අඩු ගතියක් පේනවා. ඊට යම් හේතුවක් තිබෙනවාද ?

මා නොදන්නා විෂයයන් ගැන ලියන්න තැත් කරන්නේ නෑ. පක්ෂ දේශපාලනය හා ක්‍රීඩා ගැන මගේ උනන්දුවක් නැති නිසා දැනුමත් අඩුයි. ආයතනගත වූ ආගම් සියල්ල මා එක සේ බැහැර කරන නමුත් ආගම්වල සාපේක්ෂ හොඳ නොහොඳ ගැන විවාද කිසිවකට එලඹෙන්නේ නැහැ. ඒවා ගැන විවෘතව කථා කිරීමට තරම් පරිනත බවක් අප සමාජයේ නැති නිසා.

නමුත් ආන්දෝලනාත්මක සමාජ ප්‍රශ්න ගැන මා සාක්ෂි සහිතව, දත්ත මත පදනම් වී කරන විග්‍රහයන් ‘සිවුමන්සල කොලුගැටයා’ තීරු ලිපියන් ඕනෑ තරම් හමු වනවා. ලක් සමාජයේ කිඳා බැස තිබෙන ලොකු කුඩා මිථ්‍යාවන් මා සෘජුවම අභියෝගයට ලක් කරනවා. රාවණා ප්‍රවාදයේ සිට නවීන ‘ලෝක විනාශ’ භීතිකා දක්වාත්, සිංහල ජාතිය හා භාෂාව ‘වඳ වී යනවා’ යැයි ජාතිවාදීන් පතුරු වන කුමන්ත්‍රණවාදී ප්‍රලාපයනුත් මා තර්කානුකූලව නිෂ්ප්‍රභ කරනවා.

ජාතිකවාදියා මානසික රෝගියෙක්ද? දිවි නසා ගැනීම්වල සමාජ විද්‍යාත්මක පසුබිම කුමක්ද? වස විසෙන් තොර ගොවිතැනකට කඩිමුඩියේ මාරු විය හැකිද? පරිසර සුරැකීමේ අරමුණු විකෘති වී අන්ත හරිතවාදයක් මෙරට පැතිරෙමින් තිබේද? අපේ දේශපාලකයන් සමාජ මාධ්‍යවලට මෙතරම් බිය ඇයි? ලිංගික සුලුතරයන්ගේ මානව අයිතීන් තහවුරු කරන්නේ කෙසේද? මෙවැනි බොහෝ කාලීන මාතෘකා මා විවෘතව සාකච්ඡා කරනවා. දේශපාලන නායකයෝ හා මාධ්‍ය කතුවරුන් රටම මුලා කරන බොරු බේගල් සමාජගත කරන සැටි මා උදාහරණ සහිතව පෙන්වා දෙනවා.

මේවා පක්ෂ දේශපාලනය නොවූවත් දේශපාලනිකයි. අතිශයින් කාලීනයි. පොදු උන්නතියට අදාලයි. තවමත් බෙහෙවින් ගතානුගතික හා අර්ධ වැඩවසම් වන ලක් සමාජයේ මෙවන් දේ තර්කානුකූලව කථා කරන විට ප්‍රතිරෝධයන් එනවා. ලේබල් ඇලවෙනවා. එහෙත් මා සැලෙන්නේ නැහැ.

6) ඔබ ආතර් සී ක්ලාක් මහතා දැන හඳුනගෙන සිටි අයෙක්. පුද්ගලයෙකු ලෙස ඔහු කෙබඳු අයෙක්ද ?

ඔහු සමඟ වසර 20ක් සමීපව වැඩ කටයුතු කළ මගෙන් ඇතැම් දෙනා විටින් විට අසන ප්‍රශ්නයක් මෙය. මගේ කෙටි උත්තරය: බොහොම සැහැල්ලු හා විනෝදකාමී චරිතයක්. පොඩියක්වත් පණ්ඩිතකම නොපෙන්වා ඕනෑ ම කෙනකු සමඟ කථාබහ කළ කෙනෙක්. උගත්කමේ බොරු මාන්නයක්, උද්දච්චකමක් හෝ දෙබිඩි පිළිවෙත් නොතිබුණු සංවේදී මිනිසෙක්. මේ ගතිගුණ විදහා දක්වන උදාහරණ හා සිදුවීම් රැසක් මා අත් දැක තිබෙනවා.

පොතපතින් පමණක් ඔහු හඳුනාගත් බොහෝ දෙනා දන්නේ ඔහුගේ චින්තනය හා බුද්ධිය ගැනයි. එහෙත් ගැඹුරු අදහස් සරල හා ව්‍යක්ත ලෙසින් සන්නිවේදනය කරන්නට ඔහුට උපකාර වූයේ ඔහු තුළ සහජයෙන් ම තිබූ හාස්‍යය හා උපහාසාත්මක ගුණයයි. සමච්චලය හෝ අවඥාව වැනි සෘණාත්මක අංග ඔහුගේ කථා කරන බසෙහි හෝ ලියන බසෙහි තිබුණේ නැහැ. ඉතා අභව්‍ය මතවාදයන් හා දැඩි උද්දච්ච මතධාරීන් හමුවේ පවා ඔහු ඉවසීමෙනුත්, සංයමයෙනුත් වාද විවාද කළා.

ක්ලාක් වචන හරඹයෙහි හා තර්කනයෙහි ගජ සමතෙක්. සමහර අවස්ථාවල යම් ප්‍රශ්නයක එක් කොණක් පමණක් අල්ලාගෙන දිගින් දිගට වාද කරන පණAඩිතයන්ව ඔහු නිරුත්තර කළේ ආචාරශීලීව හා සිනාමුසුවයි. විද්‍යා, තාක්ෂණය හා සාහිත්‍යය ගැන පුඟල් වූත් ගැඹුරු වූත් දැනුමක් තිබුණත් ආතර් සී. ක්ලාක් එයින් හිස උදුම්මාගත්තකු වූයේ නැහැ. හැම දෙයක් ම සමබරව විග්‍රහ කිරීමට, නිරවුල්ව තේරුම් ගැනීමට හා සැහැල්ලුවෙන් ගැනීමට ඔහුට හැකියාව තිබුණා.

20 වන සියවසේ පහළ වූ මහ මොළකාරයකු යයි විද්වත් තලයන්හි ලෝක මට්ටමින් පිළිගැනීමට පාත්‍ර වූවත් තමා බුද්ධිමතකු යයි ඔහු කියා ගත්තේ නැහැ. (‘බුද්ධිමතා’ යනු තමාගේ බුද්ධිය ඉක්මවා යන අධ්‍යාපනයක් ලැබීමෙන් පිම්බී ගිය කෙනකු යයි ඔහු නිතර කීවා.) කුඩා දරුවකු මෙන් කුතුහලය හා දැනුම් ගවේෂණයේ නොතින් ආශාවෙන් ජීවිත කාලය ම ගත කළා. මෙකී චරිතගති නිසා ක්ලාක් සමඟ එකට වැඩ කිරීම පහසු මෙන් ම විනෝද ජනකයි. ‘අපේ වැඩ ඉතා බැරෑරුම් ලෙස කරන අතරේ අප ගැන එතරම් බැරෑරුම් ලෙස සිතීම හොඳ නැහැ’ යයි ඔහු නිතර කී දෙයක්.

කාර්ය මණ්ඩලයේ අප දෙතුන් දෙනා සමඟ මෙන්ම මුණ ගැසීමට එන අමුත්තන්ගෙන් ද ඔහු බොහෝ දේ විමසනවා. විවිධ සංස්කෘතික, අධ්‍යාපනික පසුබිම්වලින් එන අය සිතන පතන ආකාරය ගැන ඔහු උනන්දු වුණා. තේරවිලි, ප්‍රහේලිකා හා බුද්ධි පරීක්ෂණ ආකාරයේ ගැටලුවලට ඔහු ඉතා ලැදියි. එමෙන්ම ඉංග්‍රීසි බසෙහි පද පෙරළි (puns) කරන්නටත්, සම්භාවය හා නූතන ඉංග්‍රීසි කාව්‍ය ඛණ්ඩයන් මතකයෙන් නිවැරදිව උපුටා දක්වන්නටත් ඔහු සමතෙක් වුණා.

පර්යේෂන සහායකයකු ලෙස මා ඔහු සමග අර්ධ කාලීනව වැඩ කළේ ඔහුගේ වයස 70 සිට 90 දක්වා වකවානුවෙයි. පශ්චාත් පෝලියෝ රෝගය නිසා ඔහු ටිකෙන් ටික ගතින් දුබල වෙමින් සිටියදීයි මා ඔහුගේ කොළඹ කාර්යාලයට සම්බන්ධ වූයේ. එහෙත් ඔහුගේ මානසික හා චිත්ත හැකියාවන් වයස 90 පසු වන තුරුත් තීක්ෂණව පැවතියා. ඔහු 2008 මාර්තුවේ මිය ගියේ හවුලේ ලියූ අවසන් විද්‍යා ප්‍රබන්ධ නවකථාව අනුමත කළාට පසුවයි.

7) මාධ්යවේදියකු වීම සඳහා ඔබට මහත් සේ බලපෑම් ඇති කල පුද්ගලයන් කවුද ?

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993) ඒ අතරින් ප්‍රධානයි. 1950 දශකයේ ලේක් හවුස් ආයතනයේ පත්‍ර කතුවරයකු ලෙස අදීනව ක්‍රියා කළ ඔහු 1960 පටන් ලෝක මට්ටමින් ක්‍රියා කළා. වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්. මීට අමතරව විද්‍යා සන්නිවේදකයන් ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, ආතර් සී ක්ලාක් වැනි අයගේ ආදර්ශයන් ද මට බෙහෙවින් මග පෙන්වූවා.

8) වර්තමානයේ මාධ්යවේදියෙකු ලෙස ඔබ තෘප්තිමත්

නව මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යන දෙකෙහිම ස්වාධීන සන්නිවේදකයකු ලෙස මා උද්‍යෝගිමත්ව හා තෘප්තිමත්ව ක්‍රියා කරනවා. මගේ සමකාලීනයන් බොහෝ දෙනකුට මෙන් මට (ජීවිතයේ කර ගන්නට බැරි වූ යම් දේ ගැන) ‘ඇරියස්’ නැහැ. මට පාසලේදී ‘ගොඩයා’ කියා විසුලු කළ සගයාටත්, මා තරුණයකුව සිටියදී මට වෘත්තීය හිරිහැර කළ දෙටු මාධ්‍යවේදීන්ටත් මා පසු කලෙක ස්තුතිවන්ත වූවා. ඔවුන් නොදැනුවත්ව මා දිරිමත් කළ නිසා. මට මා ගැන හීනමානයක් හෝ අධිතක්සේරුවක් ද නැහැ. මා තරග දුවන්නේ පෙර දිනයක සිටි මා සමග පමණයි.

අඩු වැඩි වශයෙන් මා ද අයත් වන ලාංකික මාධ්‍ය කර්මාන්තය ගැන නම් මට බරපතල විවේචන තිබෙනවා. අපේ ප්‍රධාන ධාරාවේ පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන තුළ ප්‍රබල ලෙස ගතානුගතිකත්වය හා අධිපතිවාදයන් ක්‍රියාත්මකයි. දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පොදු උන්නතිය පාවා දෙන්න අපේ සමහර කතුවරුන් හා දෙටු මාධ්‍යවේදීන් පැකිලෙන්නේ නෑ. මේ හැම විසමතාවකටම වරද මාධ්‍ය හිමිකරුවන්ට පමණක් පවරන්න අමාරුයි. මාධ්‍යවල වෘත්තියභාවයේ පිරිහීමට ප්‍රධාන වශයෙන්ම වග කිව යුත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්. මේ ගැන මා රාවය තීරුලිපියෙන් දීර්ඝ ලෙස විග්‍රහ කොට තිබෙනවා.

9) මාධ්යවේදියෙකුගේ සමාජ වගකීම ගැන ඔබ දරන මතය ?

පොදු උන්නතිය (public interest) වෙනුවෙන් පෙනී සිටීම, හා සියලු අධිපතිවාදයන්ට එරෙහි වීම මාධ්‍යවේදීන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ ද වගකීම යයි මා විශ්වාස කරනවා. එහෙත් මේ විපරීත කාලයේ බොහෝ මාධ්‍යවේදීන් මෙන්ම බුද්ධිමතුන් ද කල්ලි ගැසී, ගුරුකුල හදා ගෙන, අධිපතිවාදයන් ප්‍රවර්ධනය කරමින් සිටිනු අප දකිනවා.

රට, ජාතිය හා ආගම පෙරට දමා බඩ වඩා ගැනීමත් ජයට කැරෙනවා. ජන දුක මාකට් කරන, පීඩිතයන්ගේ පෞද්ගලිකත්වයට ගරු නොකරන,  ජනයා රවටන මිථ්‍යා ව්‍යාපාරවලට උඩ ගෙඩි දෙන ආකාරයේ මාධ්‍ය කලාවක් අද තිබෙන්නේ. එයින් අත් මිදී, ඩිජිටල් මාධ්‍ය හරහා තරුණ තරුණියන් සමග නව සන්නිවේදන කලාවක් බිහි කළ හැකි යයි මා සිතනවා. දැන් මගේ කාලය වැඩිපුර වැය කරන්නේ කුරුවල් වී හා කාලකන්නි වී ඇති මහා මාධ්‍ය යළි හරවත් කරන්න නොව, අලුත්ම ඩිජිටල් මාධ්‍ය පරපුරක් දිරි ගන්වන්නයි. අයාලේ ගිය අපේ මහා මාධ්‍ය ‘ඩයිනොසෝරයෝ’ වඳ වී ගියාවේ!

10) ආධුනික මාධ්යවේදීන්ට ඔබ දෙන අවවාදය කුමක්ද?

ලෝකයේ සිටි විශිෂ්ඨතම විද්‍යා සන්නිවේදකයකු වූ ආචාර්ය කාල් සේගාන් දුන් උපදෙසක් මට සිහිපත් වනවා. මා ගරු කොට ගන්නේ මෙයයි. “හැම දෙයක්ම තර්කානුකූලව විමසා බලන්න. නමුත් සංශයවාදී  වීමේත් (being sceptical) සීමා තිබෙනවා. හැම දේ ගැනම උවමනාවට වඩා සැක උපදවන්නට ගියොත් කිසිදු නව අදහසකට ඔබේ මනසට ඇතුල් විය නොහැකි වනවා. විවෘත මනසකින් ලොව දෙස බැලීමත් වැදගත්. එහෙත් මනස සීමා විරහිතව හැම දේටම විවෘත කළොත් වැදගත් හා නොවැදගත් අදහස් තෝරා ගන්නට නොහැකි වනවා. අපට අවශ්‍ය වන්නේ සංශයවාදී බවෙහි හා විවෘත මනසකින් යුතු වීමෙහි මනා තුලනයක් පවත්වා ගැනීමයි.”

 සාකච්ඡා කලේ   වෛද් රුවන් එම් ජයතුංග,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress