අජිත් පැරකුම් ජයසිංහ සමග සංවාදයක්
Posted on August 22nd, 2018

සාකච්ඡා කලේ   වෛද්‍ය රුවන් එම් ජයතුංග

අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයෙකු , බ්ලොග් රචකයෙකු , ගුරුවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙකි. ඔහු කුප්‍රකට එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. නොබෝදා  ඔහු තමන් ගේ අත්දැකීම් අළළා පොතක් පළ කලේය. මේ අජිත් පැරකුම් ජයසිංහ සමග කෙරෙන සංවාදයයි.
1) කේ පොයින්ට් හෙවත් එළියකන්ද පිලිබඳ කතිකාවක් වර්තමානයේ අවශ්‍ය වන්නේ මන්ද?

1960 ගණන්වලින් පස්සෙ ලංකාවෙ සෑම දශක දෙකකට ම වරක් වගේ තරුණ සංහාර සිදු වී තිබෙනවා. එයට හේතුව තමයි තරුණ කැරැලි. 2009 තරුණ සංහාරයෙන් පසු දැන් අවුරුදු 10ක් ගත වෙමින් තිබෙනවා. දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය හරහා වගේ ම උතුරේත් ජාතිකවාදී ව්‍යාපාර හරහා තරුණ දේශපාලනයේ අලුත් ප්‍රවණතා මතු වී තිබෙනවා. දිගන, අම්පාර වැනි තැන්වල වාර්ගික කෝලාහලවලදීත්, ආවා ගෘප් වැනි උතුරේ ප්‍රචණ්ඩ කල්ලිවලත් ඉන්නේ තරුණයන්. තරුණ දේශපාලනය හා තරුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ මම උනන්දු වන්නට හේතුව තමයි, තවත් තරුණ පරම්පරාවක් විනාශය කරා යොමු වීම වැළැක්විය යුතු යයි මා සිතන එක. මම තරුණ දේශපාලනයට කැමතියි. හැබැයි, තවත් තරුණ පරම්පරාවක් විනාශ නොවන දේශපාලනයක් වෙනුවෙන් විතරයි මා පෙනී ඉන්නෙ. විනාශ වෙච්ච තරුණ පරම්පරා තුනකත්, ඔවුන් අතින් විනාශ වුණ සෙසු අයගේත් ජවය අහිමි වීම නිසා තමයි ලංකාව අද මේ තත්වයට පත් වී සිටින්නෙ. එය නැවත සිදු විය යුතු නැහැ.

2) එළියකන්ද පිලිබඳ මුලින්ම කතා කරන්නේ රෝහිත මුණසිංහ.   රෝහිත මුණසිංහගේ එළියකන්ද වද කඳවුර පොතේ  ඔබ විසින් ලියන ලද පොත අතර යම් පරස්පරතා තිබෙනවාද ?

මේ පොතේ කතුවරයා මේ වන විටත් මා සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට පැමිණ ප්‍රකාශ සිදු කර තිබෙනවා. ඒ නිසා මා ඒ ගැන කතා කරන්නට කැමති නැහැ. පොදුවේ කතා කළොත්, සිදුවීම් අධිසංවේදීකරණය හා භාවාතිෂය ලෙස ප්‍රතිනිර්මාණය කිරීම කලාත්මක වශයෙන් නම් උසස් යයි මා සිතන්නේ නැහැ. මා ලියන්නේ නවකතා නිසාත්, මගේ සංවාදය ඉදිරියට ගෙන යන්නේ ඒ ඔස්සේ නිසාත් මා එයින් වළකින්නට උත්සාහ කරනවා. දේශපාලනික ප්‍රචාරණයන් හෙවත් ප්‍රොපගැන්ඩාවන් වෙනුවෙන් භාවාතිෂය ඉදිරිපත් කිරීම් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙත්, මා උත්සාහ කරන්නේ යථාර්ථය ඊට වඩා ගැඹුරින් ස්පර්ශ කරන්නටයි. නවකතාව ප්‍රබන්ධ සාහිත්‍යයට අයිති වුණාට භාවාතිෂය ප්‍රබන්ධ කරන එක හොඳ නවකතාවක හෝ ලක්ෂණයක් නෙමෙයි. 

3) 1988 – 89 ඒ භීෂණ යුගයේදී ඔබ වැනි ගැටවරයන් ජවිපෙ රැඩිකල් දේශපාලනය වෙත ආකර්ශණය වන්නේ කෙසේද?

ඒ වකවානුවේ තරුණ අසහනයක් තිබුණා. එක පැත්තකින් එජාප ආණ්ඩුව ප්‍රජාතාන්ත්‍රික මාවත් වසා දමලායි තිබුණෙ. 1983 කළු ජූලිය පසුබිම් කරගෙන එයට කිසිදු සම්බන්ධයක් නැති ජවිපෙ තහනම් කිරීම කියන්නෙ තරුණ දේශපාලනයට එජාප රජයේ ප්‍රතිචාරය සංකේතවත් කළ සිද්ධියක්. අපි ජවිපෙ එක්ක වැඩ කරන්නට පටන් ගත්තෙ ඒ තහනමට විරෝධයක් විධියටයි. 1980 වර්ජනයෙන් පස්සෙ වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳ වැටිලායි තිබුණෙ. 1982දි ජනමතවිචාරණයක් මගින් මහමැතිවරණය කල් දාලා තිබුණෙ. ඒ බලු වැඩේ නොකළා නම් සමානුපාතික නියෝජනය යටතෙ ජවිපෙට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙන්නෙ 1982දි. ඒ තත්වය සන්නද්ධ අරගලයක් ඔස්සේ සමාජවාදී විප්ලවයක් පිළිබඳ අදහසට උත්තේජනයක් වුණා. 1987 ඉන්දු ලංකා ගිවිසුම ජවිපෙට බහුජන කැරැල්ලකට කදිම අවස්ථාවක් සැපයුවා. ඉන් පසු සිදු වුණ දේවල් ඒ වකවානුවේ දේශපාලන ගතිකයන් විසින් හසුරුවන ලද තත්වයන් මිස කලින් සැලසුම් කර තිබුණු දේවල් නෙමෙයි. ඒ කැරැල්ල ගියේ කැරැල්ල හා මර්දනය විසින් තෝරා දුන් පාරවල් දිගේ. ඒක ඒ වකවානුවේ ජනප්‍රිය දේශපාලනය. හැබැයි, මම නම් ජවිපෙ පූර්ණකාලිකයෙකු වුණේ ජවිපෙ තහනම් කරලා, බිඳවැටිලා තිබුණු 1984 වගේ අවධියකයි. ඒ වන විට ජවිපෙ හිටපු බොහෝ අය බිය නිසා පක්ෂය අතහැර දමලායි තිබුණෙ. මට නම් මුලින් ම උවමනා වුණේ මේ පක්ෂය නැවත හදන්නටයි. 

4)  මේ  1988-89 ජවිපෙ රැඩිකල් දේශපාලනය වෙත ආකර්ශණය  වී ජීවිත විනාශ කර ගත්  පිරිස  කපටීන්ට රැවටුණු හිත හොඳ මෝඩයන් ලෙස ඇතැම් විට හඳුන්වනු ලබනවා. මේ ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද?

ඒ පිරිස හිත හොඳ පිරිසක් බව ඇත්ත. ඒත් මෝඩයන් නෙමෙයි. වැඩිදෙනෙකු ජවිපෙ එක්ක වැඩ කළේ රැල්ලට ම විතරක් නෙමෙයි. ජවිපෙ පන්ති කළා. දේශපාලන සාකච්ඡා කළා. පවත්නා තත්වය විග්‍රහ කළා. පැවති වාතාවරණය ප්‍රජාතාන්ත්‍රික නොවන එකක් බව කවුරුත් දැන සිටියා. එජාපයේ ඒකාධිපතිත්වයට සමාජයෙන් තිබුණු විරෝධය මතු වුණ ප්‍රධාන ආකාරයක් තමයි කැරැල්ල. එතනදී ජවිපෙ නායකත්වයේ දේශපාලන අපරිණතකමත්, ආණ්ඩුවේ කෘරත්වයත් නිසා තරුණ ජීවිත රැසක් විනාශ වුණ බව ඇත්ත. ඒත්, ඔවුන් විසින් සමාජයට ඉතිරි කර ගිය අත්දැකීම්, පාඩම් සම්භාරයක් තියෙනවා. ඔවුන් විනාශ වුණේ පාලනයේ කෘරත්වය හා නායකත්වයේ මුග්ධත්වය නිසා.

5) එදා ඔබලාට පන්ති කල සමහරක් නායකයන් ජනතා මුදල් සොරකම් කොට මහා මන්දිර තනාගෙන පාස් පෝට් දෙක තුන තබාගෙන ජීවත් වෙනවා. ඔබලා එදා ජීවිත පරිත්‍යාගයෙන් ගියේ  මේ වගේ දෙබිඩි නායකයන්  විශ්වාස කරගෙනද?

අද ඉන්න ජවිපෙ නායකයන්ගෙන් මට පන්ති කළ අය ඉන්නෙ ටිල්වින් සිල්වා විතරයි. ඔහු එහෙම කර නැහැ. ඔබ ඔය නම සඳහන් නොකරන නායකයා ඒ කාලෙ මා යටතෙ වැඩ කර තිබෙනවා. මට නම් නායකයන්ට වඩා වැදගත් වුණේ ඒ දැක්ම හා උපායමාර්ගයයි. විප්ලවවාදී පක්ෂයක් ගොඩනගලා එම පක්ෂයට බලය ගැනීමෙන් සමාජ විප්ලවයක් සිදු කළ හැකියි කියා මා ඒ දිනවල විශ්වාස කළා. මගේ විශ්වාසය වුණේ ඒක මිසක් නායකයන් නෙමෙයි. ඒ නිසා මම නම් මේ සම්බන්ධයෙන් කාටවත් දොස් කියන්නෙ නැහැ. මේ කාරණය මට විතරක් නෙමෙයි වෙනත් බොහෝ දෙනෙකුටත් අදාළයි. ඒ නිසා එක් වකවානුවක නායකයන් වූ අය පරිහාණියට පත් වෙනවා ය කියන එක මේ වගේ ව්‍යාපාරවලට එච්චර අදාළ නැහැ. පිටින් බලන අය ඒවා ප්‍රවර්ධනය කළාට ඒවා ඇතුළට දැනෙන්නෙ සීමා සහිතවයි.

6) එදා වියාපාරයේ සිටි සමහරක් ඝාතන මෙන්ම මංකොල්ලකෑම් කොට ඒ ධනයත් රැගෙන ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රට වලට පැන ගොස් යලිත් වරක් තව තරුණ පරම්පරාවක් ගඟ දිගේ යැවීමට උත්සහ ගන්නවා. මේ ගැන ඔබගේ අදහස?
විදේශවල සුරක්ෂිත පරිසරයන් ඇතුළෙ ඉඳගෙන ලංකාවේ තරුණයන් අවදානමට ඇද දමන දේශපාලනය කියන්නෙ වර්තමාන තොරතුරු යුගයෙ අලුත් ප්‍රවණතාවක්. මේ සම්බන්ධයෙන් එල්ටීටීඊ අත්දැකීම හරිම වැදගත්. මේ විදෙස්ගත ප්‍රජාවේ රැඩිකල් බලවේග අවසානයේදී මෙරට මහපොළෙවේ සටන් කරපු මිනිසුන්ව හුදකලා කර දැම්මා. හැබැයි, මොවුන් සතු මුදල් බලය නිසා ඔවුන්ට ලංකාවේ අදත් බලයක් තිබෙනවා. ලංකාවේ ව්‍යාපාරවලට සල්ලි ටිකක් විසි කරලා තමන්ගේ අරමුණු වෙනුවෙන් මෙහෙ මිනිසුන්ව කඩේ යවාගෙන වෙන දේ අන්තර්ජාලයෙන් බලමින් ඩ්‍රින්ක් එකක් දාන්න ඔවුන්ට පුළුවන්. ලංකාවේ තරුණයන් මේකට අහුවෙනවා. ශ්‍රමය පිළිබඳ ආකල්පත් මෙතනදි වැදගත්. මම සමාජවාදය ජීවන විලාසයක් ය කියන ආදර්ශ පාඨය ප්‍රවර්ධනය කරන කෙනෙක්. මං දැන් අවුරුදු 13ක් විතර කාලයක් දේශපාලන සංවිධානවලට සම්බන්ධ නොවී ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන මාධ්‍ය, ලේඛන හා දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යනවා. මං මුලින් ම කරගත් දේ තමයි ආර්ථික ස්වාධීනත්වය නිර්මානය කර ගත් එක. මම කිසිදු සංවිධානයක අරමුදල් මත යැපෙන්නෙ නැහැ. මං වැඩ කරනවා. දවසට පැය 18ක් විතර වැඩ කරන කාලවකවානුත් තියෙනවා. පැය හයක් සමාජ කටයුතුවලට දෙන්න පැය 12ක් ශ්‍රමය වගුරුවන්නට වෙනවා. අපි දරු පවුල් නඩත්තු කරන්නත් ඕනැනෙ. දේශපාලනය කරන්නට කලින් වැඩ කරන පුහුණු ශ්‍රමිකයෙකු වෙන්නට ඕනැ. ව්‍යාපාර හදන්නට කලින් තමන් වැඩ කරලා ඒ ධනයෙන් සමාජ වැඩ කරන්නට ඕනැ. ව්‍යාපාර ඇතුළෙ වුණත් තමන්ගෙ භූමිකාව තමන්ට තුලනය කරගන්නට පුළුවන් වෙන්න ඕනැ. තරුණයන් මේ කාරණය තේරුම් නොගෙන සමාජය වෙනුවෙන් වැඩ කරන්නට ව්‍යාපාර, සංවිධාන, පක්ෂ ආදිය සමග හිස් අතින් එකතු වෙනවා. ශ්‍රම කුසලතා නැහැ. ඉතින් බත්පත, නවාතැන, සිගරැට් එක, අරක්කු ෂොට් එක, ඇඳුම, සපත්තු කුට්ටම පවා සංවිධාන එක්ක සම්බන්ධ වෙනවා. සංවිධාන විසින් පුද්ගලයා නැටවෙන එක විධියක් තමයි ඔය. එතනදි ඩයස්පෝරාවලට බලයක් හැදෙනවා. මට කියන්න තියෙන්නෙ මං වගේ පුහුණු ශ්‍රමිකයෙකු වෙලා ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න උත්සාහ කරන්න. තමන්ගෙ දේශපාලනය තමන්ගෙ ශක්තිය මත පිහිටුවාගෙන සමාජයට යන්න. එතන ඉඳලා පුළුල් වෙන්න.

7) වරක් ඔබ ප්‍රකාශ කලා රෝහණ විජේවීර,  සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියා. මොවුන් විසින් කරන ලද ක්‍රියාවන් පිලිබඳව සමබර කතිකාවක් ගොඩ නැගුනේ නැත්තේ මන්ද?

මේක මං කලින් කියපු අධිසංවේදීකරණය සමග සම්බන්ධයි. අතීතය සමහරුන් රොමැන්තික් අතීතකාමයක් කරගන්නවා නේ. මං උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. මට කියන්නට පුළුවන් මං කැරැල්ලෙදි ඔක්කොම හොඳ වැඩ විතරයි කළේ, නරක වැඩ කරපු අය ඔක්කොම මළා, මාව රඳවා තියාගත්තෙ මහ අසාධාරණ විදියට, මට දෙතිස් වධයම දුන්නා, මං වීරයෙකු වගේ දරාගෙන හිටියා, මගෙ කොණ්ඩෙ අඩු වයසින් ඉදුණෙ ඒ කාලෙ විඳපු දුක් හින්දා, ඇස් පෙනීම අඩු වුණේ මාස අටක් ඇස් බැඳන් ඉඳපු හින්දා වගේ ඒවා. ඒකට තමයි මම කියන්නෙ මේ කරුණු භාවාතිෂය ලෙස ඉදිරිපත් කරන එක ය කියලා. ඒවා එහෙම භාවාතිෂය ලෙස ඉදිරිපත් කරන්නන්ට ඉහත නම් කියපු අය ඒ ස්වරූපයෙන් අවශ්‍යයි. ඒ අය ගැන අලුත් කියවීමකට ගියොත් තමන්ගෙ පදනම බිඳෙනවා. ඉතින් කොහොමද සමබර කතිකාවක් හැදෙන්නෙ. මම ඒකට උත්සාහයක් දරනවා. ඒකට එන පළමු ප්‍රතිචාරය තමයි, ප්‍රතික්ෂේප කරන එක. මගේ ශාස්තෘ නවකතාවට ඒක වුණා. හැබැයි මං අරගලය අතහැරියෙ නැහැ. අපි බලමු ඉස්සරහට.

8)   1988-89  කාලයේ ඔබ සමග ව්‍යාපාරේ සිට මිය ගිය සගයන් ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ඔවුන්ටත් මට වගේ ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණා නම්, ඔවුන්ගෙන් ඇතැමෙකුගෙන් හරි සමාජයට සාධනීය දෙයක් ලැබෙනවා නේ ද? මං අඩු ගානෙ සාහිත්‍යයට හරි මොකක් හරි අන්තර්ගතයක් එකතු කරන්නෙ මට ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණු නිසානේ. ඒ අතරෙ තව කොච්චර දක්ෂයන් හිටිය ද? එඩිතර මිනිසුන් හිටිය ද? ඒ ජීවය, ජවය අහිමි වුණේ සමාජයට. 

9) ඔවුන් අද දිනයේ ජීවත්ව සිටියා නම් වර්තමාන ජවිපෙ ගැන කුමන අදහසක් දරයිද?

කැරැල්ලෙන් ඉතිරි වුණ දක්ෂතා තියෙන අය වැඩිදෙනෙක් අද ජවිපෙත් එක්ක නැහැ නේ. මං හිතන්නෙ මැරුණු අය හිටියානම් ඒත් ඒක තමයි වෙන්නෙ. හැබැයි, මැරුණු ඇතැම් නායකයන්ගෙ ලක්ෂණ නිසා මීට වඩා මුළුමනින් ම වෙනස් තත්වයන් නිර්මාණය වෙන්නත් තිබුණා. හැබැයි, ඒ නායකයන් හැමෝම එක වගේ නොවන නිසා අපට ඔවුන්ගේ මැදිහත් වීමෙන් නිර්මාණය වන්නට තිබුණු හැඩතල ගැන හිතාගන්නට බැහැ. 

10) යලිත් 1988-89 යුගයක්  ඉදිරි අනාගතයේ ඇති විය හැකිද?  එවැනි තර්ජනයක් අපගේ සමාජය අභියස තිබෙනවාද?
ඉතිහාසය පුනරුච්ඡාරණය වෙච්ච අවස්ථා ඕනැ තරම් තිබෙනවා. හැබැයි, ඒවා ගුණාත්මකව වෙනස් සිදුවීම්. එවැනි අර්බුදකාරී යුගයක් නැවත උදා වෙනවා ද කියන එක තීරණය වෙන්නෙ සමාජ බලවේග පෙළගැහෙන ආකාරය අනුවයි. ලංකාවෙ එවැනි අවදානමක් තිබෙනවා. හැබැයි, ඉතිහාසෙන් එකම පාඩම නැවත, නැවත ඉගෙන ගන්නට ඕනැ නැහැ. ඒ නිසා තමයි අපට සාහිත්‍යයක්, කලාවක් වැදගත් වෙන්නෙ. ශාස්ත්‍රීය සම්භාෂණවලට වඩා කලාවෙන්, සිනමාවෙන්, නවකතාවෙන් ඇතිකරන්නට පුළුවන් සමාජ කතිකාව ප්‍රබලයි. මං මගේ අත්දැකීම ඒ සැටියෙන් ලියන්නට උත්සාහ කරන්නෙ ඒක පොදු සමාජ අත්දැකීමක් බවට ස්ථාපිත කරන්නටයි. ඒක ඉගෙන ගන්නට තව කවුරුහරි ඒ අත්දැකීම ඒ විදියට ම ලබන්නට ඕනැ නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress