විශේෂ අධිකරණය විවෘත කරන්න තලතා දේවිය ගියාට අගවිනිසුරු නෑ.. මෙහෙම ගියොත් ගෙදර යන්න වෙන්නේ ඇඳිවතත් නැතිවයි..- විමල් පාර්ලිමේන්තුව හොල්ලයි..
Posted on August 24th, 2018

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ  (lanka C news)

ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් දිගින් දිගටම ඡන්ද කල් දමමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කළහොත් මේ යහපාලන ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවනු ඇත්තේ ඇඳිවත ද අහිමිව බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ දී පැවති පළාත් සභා කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළ කොට්ඨාස නීර්ණය කිරීම පිළිබඳවයි මේ විවාදය පැවැත්වෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය විදිහට කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පැවැත්වීම පිළිබඳව අපේ ප්‍රතිපත්තිමය එකඟතාවක් තිබෙනවා. නමුත් කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට ජනතාවගේ තිබෙන කැමැත්ත දඩමීමා කරගෙන අද මේ මැතිවරණ ක්‍රමය සංශෝධන ක්‍රියාදාමය සිදුවන්නේ මැතිවරණ නොපවත්වා සිටීමටයි. දැන් මේ ආණ්ඩුවට මැතිවරණයක් කල් දමන්න ඕන නම් ඒ මැතිවරණය පවත්වන ක්‍රමය සංශෝධනය කරන්න පටන් ගන්නවා. එතකොට ඒකට ‘කෝඳුරු තෙල් හත් පට්ටයක්‘ හොයන් එනකන් මැතිවරණය කල් යනවා.

‘වාසිදායක ලෙස කොට්ඨාස හැදුවත් පුංචි ඡන්දය පැරදුනා‘

මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සදහා අපේ පාලනය යටතේ සකස් කළ පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයන් පැත්තකට දාලා අලුතින් තමන්ට වාසිදායක ලෙස කොට්ඨාස නීර්ණය කිරීමට පටන් ගත්තා. ඒ නිසා මැතිවරණය අවුරුදු කිහිපයක් කල් ගියා. අවසානයේ දී තමන්ට වාසිදායක කොට්ඨාස හදන් ඡන්දයට ගියත් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස බලයේ හිටපු ආණ්ඩුවක් පළාත් පාලන ඡන්දයෙන් පැරදිලා විපක්ෂයේ හිටපු අපට විශිෂ්ට විජයග්‍රහණයක් ලැබුණා. දැන් පළාත් සභා ඡන්දය කල් දැමීමටත් මේ කොට්ඨාස සීමා නිර්ණය යොදාගෙන තිබෙනවා. ආණ්ඩුවේ එක කොටසක් ‘කොට්ඨාස සීමා නිර්ණය හොඳට කරලා තිබෙනවා‘ කියනවා. අනෙක් කොටස ‘අපිට සෑහීමකට පත් වෙන්න බැහැ‘ කියනවා.

‘මෙහෙම ආණ්ඩුවක් මොකටද? ‘

දැන් බැලුවම මේ ගැන ආණ්ඩුව ඇතුළෙම එකඟතාවක් නැහැ. එහෙම නම් මේක ආණ්ඩුවක්ද? අර සරත් ෆොන්සේකා මහත්තයාගේ දුක්ගැනවිල්ල ගැන අහපුවාම මට ඇත්තටම අඬන්න හිතුණා. කැබිනට් ඇමතිවරයෙකු වැටී තිබෙන තත්ත්වය එක්ක රටේ අනෙක් මිනිස්සු ගැන කවර කතා ද? මෙහෙම ආණ්ඩුවක් මොකට ද ?

‘තලතා දේවිය ගියාට අගවිනිසුරුතුමා නැහැ‘

දැන් බලන්න, මේ ආණ්ඩුව විශේෂ මහාධිකරණ පිහිටුවනවා. ඒවා විවෘත කිරීමට අධිකරණ ඇමතිවරිය ලෙස තලතා දේවිය ගියාට අගවිනිසුරුතුමා හෝ ඒ විශේෂ මහාධිකරණවල විනිසුරුතුමන්ලා එම අවස්ථාවන්ට ඇවිත් නැහැ. නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඇවිත් නැහැ. මෙමගින් පෙනෙන්නේ කුමක්ද? මේ ආණ්ඩුව මේ රට ඇදගෙන යන ගමන ගැන විනිසුරුවරුන් පවා ඉන්නේ වේදනාවෙන් බව නොවේද? අද මේ රටේ පාලනයක් නැහැ. සරත් ෆොන්සේකා මහත්තයාගේ අවනඩුව අහන්න කෙනෙක් නැහැ. මැතිවරණ ක්‍රමය ඇද ඇද කල් මරනවා වගේ මේ අය මේ රටත් දවසින් දවස ප්‍රපාතයට ඇදගෙන යමින් තිබෙනවා.

‘පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න‘

රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහි විශ්වාසභංගයේ දී ‘දෙන්නම් බැටේ‘ කියලා හිටපු මන්ත්‍රීවරු ටිකත් ඔන්න කුට්ටිය ලැබුණාම හීලෑ වුණා. එහෙම මන්ත්‍රීවරු ටිකක් කුට්ටිය දීලා හීලෑ කර ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලය හදා ගෙන රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා අපි කියන්නේ ‘පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න‘ කියලයි. ‘ඊට පවතින බාධාවන් වහා ඉවත් කරන්න‘ කියලයි. දැන් මේ ආණ්ඩුව කරන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන බාධාවන් වවාගෙන කෑම. ඒකෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටයි බාධා ඇති වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය පවා පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතුයි කියා තීන්දුවක් දී තිබෙනවා. එහෙම තීන්දුවක් තිබියදී තමයි මේ ආණ්ඩුව ජනතාවගේ ඡන්ද බලයත් සමග සෙල්ලම් කරමින් ඉන්නේ. දැන් බලන්න, මේ පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා වැඩ කරන්නේ ජනාධිපතිවරයාට උවමනා විදිහට. තවත් ඇමැතිවරු කටයුතු කරනවා අගමැතිට උවමනා විදිහට. අද ජනාධිපති එකක් කියනවා, අගමැති තව එකක් කියනවා. මේ දෙන්නාටම විරුද්ධ දෙයක් මුදල් ඇමති කියනවා. එතකොට විදේශ ආයෝජකයන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සත පහක් අරන් ඒවිද? අද යමක්කමක් තිබෙන මිනිස්සු තමන්ගේ දේපළ ටික විකුණලා රට යන එකයි සිදුවෙමින් පවතින්නේ. අද රට එතැනට වැටිලා ඉවරයි. අද ස්වදේශික ව්‍යාපාරිකයාට විශාල බදු බරක් පටවලා. ඒ බදු බර දරාගන්න බැරුව අද ව්‍යාපාර වැහෙනවා.

‘ඇඳිවතත් අහිමි වෙවී!‘

මේ සියල්ලම සිදු වෙද්දි මහා ආර්ථික සමෘද්ධියක් ගැන සුරංගනා කතා කියමින් අගමැතිවරයා රට වටේ හීනෙන් වගේ ඇවිදිනවා. දැන් අපට ජනාධිපති කියන තේරවිලි, අගමැති කියන සුරංගනා කතා අහගෙන ඉන්න වෙලා තිබෙනවා. අපි ඉතාම ඕනෑකමින් කියනවා ‘මහත්වරුනි මේ රට මේ විදිහට අසරණ කරන්න එපා‘ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් ඡන්දය කල් දමමින් ජනතාව සමඟ දිගින් දිගටම සෙල්ලම් කළොත් ‘ ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නේ ඇඳිවතත් අහිමිවයි‘ කියලා අපි අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress