එක්නැලිගොඩ අතුරුදන් වීම ගැන හිරේ තපින බුද්ධි නිලධාරියාගේ බිරිය හඬ හඬා රටට කියන දුක්ගැනවිල්ල
Posted on August 25th, 2018

අරුණි මල්ලවආරච්චි උපුටාගැණීම  මව්බිම

2017 වසරේ එක්තරා දිනයකි. වෙලාව මධ්‍යම රාත්‍රියත් ඉක්මවා තිබිණි. නිවෙසක කාමරයක් තුළට වී තරුණ කාන්තාවක් නිදිවර්ජිතව සුසුම් හෙළමින් සිටියාය. තම සැමියා ඒ වන විටත් නිවෙසට නොපැමිණීම ඇගේ වියවුලට හේතු වී තිබිණි. ඇයගේ මනසේ මැවෙමින් තිබූ සැකය හා බියමුසු සිතිවිලි සිතේ සැනසීම නැති කොට තිබිණි. ඇය වරෙක කාමරයේ ඒ මේ අත ඇවිද්දාය. තවත් වරෙක ජංගම දුරකථනය දෙස බලමින් සැමියාගෙන් ඇමතුමක් බලාපොරොත්තු වූවාය. නමුත් ඒ කිසිවකින් සහනයක් අත්නොවීය. ගත වන තත්පරයක් පවා ඇයට දැනුණේ පැය ගණනක කාලයක් සේය.

වේලාව පාන්දර 2.30ට පමණ විය. ඇය නින්දත්, නොනින්දත් අතර තරගයකට වැටී සිටියාය. ජංගම දුරකථනය නාද වීමත් සමඟ ඇයගේ සිතට අස්වැසිල්ලක් ලැබිණි. දුරකථනය අතට ගත්තද එහි සඳහන් වූයේ සැමියාගේ අංකය නොව වෙනත් නුපුරුදු අංකයකි. නමුත් ඇය දෙගිඩියාවෙන් ඇමැතුමට සම්බන්ධ වූවාය.

”මම ආවා. ‍ෙදාර අරින්න” යි කියනා නුහුරු පිරිමි හඬකි. ඒ කටහඬ තම සැමියාගේ නොවන බව ඇයට හැඟුණ සිත් තැවුලෙන් සිටින සැමියා බීමත්ව පැමිණෙන්නට ඇතැයි සිතූ ඇය ඒ නිසා කටහඬ වෙනස් වී ඇතැයි සිතුවාය. නමුත් ඇය එකවරම ‍ෙදාර වෙතට නොයා ජනේලයෙන් එළිය බලා ඔහුට ‘අප්පච්චි’ කියා ආමන්ත්‍රණය කළාය. නමුත් එයට පිළිවදන් ලෙස ලැබුණේ උගුර පෑදීමේ හඬක් පමණි. ”බීලා තමයි ඇවිත් ඉන්නේ, බනින්න ඕනා” සිතමින් ඇය දුහුල් රාත්‍රි ඇඳුම පිටින්ම ගොස් නිවෙසේ ඉදිරිපස ‍ෙදාර හැරියාය.

නමුත් ඇගේ අබිමුවේ තම සැමියා සිටියේ නැත. ඒ වෙනුවට ඇය එහා මෙහා පැහැදිලිව පෙනෙනා ගේට්ටුවෙන් දුටුවේ අත්දිග සුදු කමිසයක් හා කලිසමක් හැඳ සිටිනා තට්ටය පෑදුණු පිරිමි රුවකි. ඇයගේ සිතට එකවරට දැනුණේ මහත් වූ භීතියකි.

ඇය හැඳ සිටින්නේ රාත්‍රි දුහුල් ඇඳුමක් බව සිහිපත් වූ නිසාම ඇය නැවත නිවෙස තුළට ගොස් ‍ෙදාර වහගන්නට සැරසුණාය. එවිටම සුදු අත්දිග කමිසය හැඳගත් නාඳුනන පිරිමියා කතා කළේය. ඒ සමඟම තවත් පිරිමින් කිහිපදෙනකු ඔවුහු සමඟ සිටින බව ඇය දුටුවාය. නමුත් ඒ අතර තම සැමියා නොසිටි බව ඇය වටහා ගත්තාය.

අපි සී.අයි.ඩී. එකෙන්. ගේට්ටුව අරින්නැ’යි ඔහු කීවේය. යුනිෆෝම් ඇඳගත් තුවක්කු අතේ දරා සිටින පිරිමි කිහිපදෙනෙක්ද ගේට්ටුව අසලට පැමිණියහ. ඒ සමඟම ඇයවත් තල්ලුකොට ගෙන ඔවුහු ඇගේ නිවෙස වෙතට ඇතුළු වූහ.

ඇයට පුටුවක වාඩි වෙන්නැයි කියූ ඔවුහු ඇය වට කොට ගෙන සිටින්නට වූහ. දුහුල් රාත්‍රි ඇඳුම නිසා අපහසුතාවට පත් ඇය, තමාට ඇඳුමක් මාරු කරගෙන ඒමට අවස්ථාව ලබා දෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළාය. නමුත් ඒ අවස්ථාව ලබා දීමට තරම් ඔවුහු කාරුණික නොවූහ. අසරණ වූ ඇය අත් දෙකෙන් ළැම පෙදෙස වසාගෙන පුටුවේ වඩා වී සිටියාය.

ඔයා දන්නවද කර්නල් කුමාරරත්නවයි, කර්නල් සිරිවර්ධනයි? අඳුරනවා නේද? ඔයාට අද ඒ දෙන්නා කතා කළා නේද? කතා කරලා ඔයාට තර්ජනය කළා නේද? ඔවුන් එවර ඇසූ ප්‍රශ්නවලින් ඇය විමතියට පත් වූවාය.

”මම එහෙම සර්ලා දෙන්නෙක්ව දන්නේ නැහැ. මට අද කතා කළෙත් නැහැ. මට ඒ අය තර්ජනය කළෙත් නැහැ.” ඇය පැවැසුවාය. නමුත් එය පිළිගන්නා ලෙස ඔවුහු ඇයට බල කරන්නට වූහ. නමුත් ඇය දිගින් දිගටම කියා සිටියේ තමන් එවැනි දෙදෙනකු නොහඳුනනා බවකි.

”ඔයාගේ මහත්තයා අහිංසකයි. ඔයාගේ මහත්තයා මේකට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඔයා මිනිහට කියන්න ඕනා අපි කියන දේවල් පිළිගන්න කියලා. කර්නල් කුමාරත්නයි, කර්නල් සිරිවර්ධනයි තර්ජනය කළා කියන එක පිළිගන්න කියන්න”යි පැවැසුවේ එතැන සිටි එස්.අයි. ප්‍රේමතිලක නම් තැනැත්තෙකි. නමුත් ඇය ඔහුට එකඟ වූයේ නැත.

”කර්නල් කුමාරරත්නවයි, කර්නල් සිරිවර්ධනයි දැකලවත් නැති මම කොහොමද එහෙම කියන්නේ. අනෙක මම තවම දන්නේ නැහැ ඔයාලා මගේ ගෙදරට ආවේ ඇයි කියලවත්, කෝ මගේ මහත්තයා එයාට මොකද වුණේ. ”ඇය නැවතත් ඔවුන්නේ ඇසුවාය.

එතකොට ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ නේද? ඔවුන් ඇසුවේ උපහාසාත්මකවය. මම මහත්තයාගේ කෑම්ප් එකේ ඉන්න අයව දන්නේ නැහැ. එයා ඒ කාගෙවත් නොම්බරයක්වත් මට දීලා නැහැ. කාවවත් මට අඳුන්නලා දීලත් නැහැ. ඒ නිසා මම අඳුනගන්න උත්සාහ කරලත් නැහැ. ඇය තමාගේ නිර්දෝෂී බවට කාරණා කීවාය. නමුත් ඔවුන්ද පසුබසින බවත් නොපෙනිණි. පැයක් පමණ එකම දේ පවසා ඇයව එකඟ කරවා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව ඔවුහු ඇගේ සැමියාව නිවෙස තුළට කැඳවාගෙන ආහ.

එක් නිලධාරියෙක් ඇගේ සැමියාට අපහාසය මුසු වදන් කියමින් බනින්නට වූවේය.
”මුන් බුද්ධි අංශයේ නොවෙයි වැඩ කරන්නේ. මුන් මන්ද බුද්ධිකයෝ, මොනවා හරි ඇහුවාම මුන් දන්නේ නැහැ. මුන්ට මතක නැහැ. මුන්ගේ බුද්ධි අංශයට කියන්න ඕනෑ බුද්ධි අංශය කියලා නෙවෙයි. මන්ද බුද්ධි අංශය කියලා. එසේ පරිභව කෙරූ පසුව එස්.අයි. උඩවත්ත නම් තැනැත්තා පැයක් පමණ කල් වරමින් ලියූ පිටු දෙකක තුනක විස්තරයක් ඇය වෙත පෑවේය.

‘මෙන්න මේකේ අස්සන් කරන්න. ඔයාගේ මහත්තයාව භාර ගත්තා කියලා’ නමුත් ඔහු එසේ කීවත් ඇය එයට එකවර අස්සන් කිරීමට මැළි වූ අතර එය කියවා බලන්නට අවශ්‍ය බව පැවැසුවාය. නමුත් ඔහු එයට ඉඩ නොදුන්නේ වේලාව නැති බව පවසමින්. එනිසා ඇයට එය නොකියවාම අස්සන් කිරීමට සිදුවූවාය. සැමියාව ඇයට භාරදී ඔවුන් නිවෙසින් පිටත් වූයේ පාන්දර 4.00ට පමණය.

මේ කතාව මේ වන විටත් ඇය මාධ්‍යයන්ට අනාවරණය කොට අවසන්ය. එදින මෙම අත්දැකීමට මුහුණ පෑවේ මහේෂිකා උළුගෙදර නම් වූ එක් දරු මවකි.

ඇගේ සැමියා වූයේ බුද්ධි අංශ නිලධාරි කෝප්‍රල් වසන්ත උළුගෙදරය. මහේෂිකා උළුගෙදර නම් වූ ඇය ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ පූර්ණ කාලීන ක්‍රියාකාරී සාමාජිකාවක වන අතර ඇය ජාතික හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ සේවයෙහි නිරත වූ සේවිකාවක්ද වූවාය.

ඒ සම්බන්ධයෙන් මහේෂිකා උළුගෙදර ‘මව්බිම’ට කරුණු අනාවරණය කළේ මේ අයුරිනි.
2017 අවුරුද්දේ තමයි මුලින්ම මේ සිදුවීම වෙන්නේ. මගේ ජංගම දුරකථනයට උදේ ඇමතුමක් ආවා. මගේ සැමියාගේ මහ ගෙදරින්. ඔහුගේ ගම නුවර. ඒ පණිවුඩයෙන් කිව්වේ මගේ සැමියාට උදේ අපරාධ විමර්ශන ඒකකයට (සී.අයි.ඩී.) එන්න කියලා. මගේ සැමියා නීතිගරුකව සේවය කරපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙක්. මට සිතා ගන්න බැරිවුණා ඇයි එයාට සී.අයි.ඩී. යට එන්න කිව්වේ කියලා. ඔහු එදා හිටියේ රාජකාරියේ. සාමාන්‍යයෙන් රාජකාරියේ ඉන්න නිසා මම ඔහුට කතා කරන්නේ නැහැ. මම මේ පණිවුඩය කියන්න ඕන නිසා එදා එයාගේ මොබයිල් ෆෝන් එකට අරගෙන පණිවුඩේ දුන්නා.

මම පුතාව ඉස්කෝලෙන් ගන්න රාජගිරියට ගිහින් හිටියේ. වේලාව 11.30ට විතර ඇති. මහත්තයා දන්නවා මම පුතාට ඉස්කෝලේ ඇරෙනකන් ඉස්කෝලේ ගාව ඉන්නවා කියලා. ඔහු එතැනට ඇවිත් මට කොළ වගයකුයි, ඔහුගේ ෆෝන් එකයි දීලා සී.අයි.ඩී. එකට යනවා කියලා ගියා. එදා මහත්තයා ඒ ගිය ගමන ගෙදර ආවේ පාන්දර 2.30 – 3.00ට විතර. ඒ සිදුවීම මම මාධ්‍යයට කිව්වා. එදා මම හරියට අපහසුතාවට පත්වුණා. මගේ මහත්තයා ඒ කාලේ ගිරිතලේ වැඩ කළේ. ඒ වගේ දුරක ඉඳලා පැය හත අටක් බස් එකේ නැඟලා තමයි අත්‍යවශ්‍ය බුද්ධි වාර්තා අරගෙන කොළඹට එන්නේ. ඒවා නිසි පරිදි නිසි වේලාවට නොදුන්නා නම් මේ යුද්ධය ඉවර කරන්න බැරි බවයි ඒ දවස්වල හැමෝම ආඩම්බරයෙන් කිව්වේ.

ප්‍රගීත් එක්නැලිගොඩ කියන මාධ්‍යවේදියා අතුරුදන් කිරීමට සම්බන්ධයෙන් කිහිපදෙනකුම සැකපිට අත්අඩංගුවට ගත්තා. සී.අයි.ඩී.ය කියන ආකාරයට මගේ මහත්තයත් ඒ අතුරුදන් කිරීමට සම්බන්ධයිලු. මට මතකයි රූපවාහිනියේ සහ පුවත්පත්වල ඒ මාධ්‍යවේදියාගේ නම කියන කොටත් මගෙන් මහත්තයා ඇහුවා ‘ඒ කවුද’ කියලා. ඇත්තටම මමයි මහත්තයයි දෙන්නම ඒ මාධ්‍යවේදියාගේ නම ඇහුවෙත් ඒ සිදුවීම්වලින් පස්සේ. සී.අයි.ඩී. එකේ බැරිකම වහගන්න මගේ සැමියාව මේකට පටලවන්න හදනවා. 2017 නොවැම්බර් ඉඳලයි ඔවුන් මගේ සැමියාට කරදර කරන්නේ. අවස්ථා තුනකදී එන්න කියලා කටඋත්තර ගත්තා. ඒ හැම වතාවකම ඔවුන් කියන්නේ මගේ සැමියා ඔය කියන මාධ්‍යවේදියාගේ පසුපසින් ගියා කියලා පිළිගන්න කියන එකයි.

මුල් වතාවේ සැමියාව අරගෙන ගිහින් ගෙදර ගෙනත් දැම්මේ පාන්දර 3.00ට විතර. ඒ සිදුවීම් වෙලා දවස් 3කට පස්සේ අපේ ගෙදරට නවගමුව පොලිසියේ නිලධාරියෙක් ආවා. පොලිස් බයික් එකක. මහත්තයාට ආයෙත් වතාවක් පසුවදා උදේ 9.00ට සී.අයි.ඩී. එකට යන්න කියලා ඒ නිලධාරියා කිව්වා. මම ඔහුගෙන් ඇහුවා හේතුව දන්නවාද කියලා.

එතකොට ඔහු මට කිව්වා ප්‍රගීත් එක්නැලිගොඩ කියලා මාධ්‍යවේදියෙක් පැහැරගෙන යෑමකට සම්බන්ධව කටඋත්තර ගන්න කියලා. එදා ඔහු කිව්වේ නැහැ මාධ්‍යවේදියා ඝාතනය කළා කියන චෝදනාවට කියලා. මම මගේ සැමියට කතා කරලා පණිවුඩේ දුන්නා. පසුවදා මගේ සැමියාව කෑම්ප් එකේම නිලධාරීන් විසින් සී.අයි.ඩී. එකට භාරදීලා තිබුණා. එදා ඔහු ගිහින් තිබුණේ නිල ඇඳුමෙන්.

එයා සී.අයි.ඩී. එකට ගිහින් මොනා කළාද? මොනවා ඇහුවද? මම දන්නේ නැහැ. මම පුතා එක්ක මිදුලට වෙලා හිටියා. වෙලාව 12.00ට වගේ ඇති. මට ඇහුණා ගේට්ටුව පැත්තෙන් උස් පිරිමි කහඬවල් කිහිපයක්. ඊට මීටර් 50ක් විතර දුරින් වාහනයක් නවත්තලා තිබුණා. මම දැක්කා අර මිනිස්සු යුනිෆෝම් ඇඳලා, රණශූර පදක්කම ඇඳලා ඉන්න මගේ මහත්තයාගේ කමිසයේ කොලර් එකෙන් ඇදගෙන ගේ පැත්තට එනවා.

මට පුදුම දුකක් ඇතිවුණේ. රට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු හමුදා නිලධාරියෙක්ට ඇයි මේ තරම් නින්දා කරන්නේ කියලා. මම කවදාවත් මගේ සැමියාව නිල ඇඳුමෙන් දැකලා නැහැ. පුතත් එහෙමයි. මගේ සැමියාව ඒ විදියට දැකපු පුතා හරිම ආශාවෙන් ගිහින් සැමියාගේ ඇඟේ එල්ලුණා. ඒක දැකපු එස්.අයි. උඩවත්ත මගෙන් ඇහුවා ඇයි මෙහෙම ඇඟේ එල්ලෙන්නේ මීට කලින් මෙහෙම දැකලා නැද්ද කියලා. මම ඔහුට කිව්වා පුතා විතරක් නෙවෙයි මමවත් ඔහොම දැකලා නැහැ කියලා. එතකොට ඔහු මට කිව්වා.

එහෙනම් ෆොටෝ එකක් ගහලා තියාගන්න. ආයෙ දකින්න වෙයිද දන්නේ නැහැ කියලා.
ඔවුන් මාවයි, මහත්තයාවයි එක්කගෙන ගේ ඇතුළට ගියා. ඉඳගන්න කිව්වා. ඊට පස්සේ ආයෙත් මහත්තයාගේ ෆෝන් එක ඉල්ලුවා. මම ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ මගෙන් බලෙන්ම වගේ ෆෝන් එක අරගෙන මගේ කැමැත්තෙන් ෆෝන් එක ඔවුන්ට භාර දුන්නා කියලා අස්සන් කරන්න කියලා කොළයක් දුන්නා. එදත් මට ඒකෙ තිබුණ ඒවා බලාගන්න බැරිවුණා. ඔවුන් නැවත නැවතත් මහත්තයාට කිව්වා එයා 2009දී ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ පසුපසින් ගියා කියන එක පිළිගන්න කියලා. නමුත් මගේ මහත්තයා කිව්වා ඔහු එහෙම කෙනෙක් දන්නේ නැහැ. එහෙම කෙනෙක්ව ෆලෝ කළෙත් නෑ කියලා. එයා ඇහුවා මොකටද මම නොකරපු දෙයක් පිළිගන්නේ කියලා. ඒකට එතැන හිටපු එස්.අයි. ප්‍රේමතිලකට තරහා ගියා. ඔහු නැඟිටලා මගේ මහත්තයාට ගහන්න හැදුවා. ඒ වෙලාවේ මගේ අම්මත් එතැන හිටියා. ඇය පිළිකා රෝගියෙක්. ගැබ්ගෙල පිළිකාවකින් ඇය පීඩාවට පත්වෙලා ඉන්නේ. ඇය මගේ මහත්තයාට ගහන්න හදනකොට කිව්වා හරි ෂෝක් මම අම්මා කෙනෙක් මම මෙතැන ඉන්නකොට ඔයාලා කොහොමද කිසිම චෝදනාවක් ඔප්පු වෙලා නැතිව නිල ඇඳුමක් ඇදගෙන ඉන්න හමුදා නිලධාරියෙක්ට ගහන්නේ කියලා. ඊට පස්සේ එස්.අයි. ප්‍රේමතිලක සන්සුන් වුණා. නමුත් ඔහු හයියෙන් කෑගහගෙන මගේ මහත්තයාවත් ඇදගෙන එළියට ගියා.

ආයෙ ගෙදර ගෙනාවේ පාන්දර 2.30ට විතර. මහත්තයාව මට භාරදුන්නා කියලා එදත් කොළයකට අස්සන් කරන්න කිව්වා.

මම ඔවුන්ට කිව්වා ඔවුන් හැමදේම නීතියට අනුවනේ කරන්නේ. මහත්තයාව ඔවුන්ට භාරදුන්නේ මත්තයාගේ සේවා කඳවුරෙන්, එහෙනම් මට භාර නොදී මහත්තයාව නැවත කඳවුරටම භාර දෙන්න කියලා. එතකොට ඔවුන් මට උපහාසයට වගේ කිව්වා දැන් කොහෙට භාර දුන්නත් එකයි කියලා. එදත් මම බයට නොකියවාම අස්සන් කළා.

අපිට දිගින් දිගටම මේ කරදරය ඉවසන්න බැරි නිසා අපි පහුවදාම මානව හිමිකම් කොමිසමට ගිහින් මේ අවනඩුව කිව්වා. ඔවුන් අපිට නැවත දවස් දෙකකින් එන්න කිව්වා. අපි අපිට වුණු හැමදේම කිව්වා. ඔහොම ඉන්න අතරතුර පසුගිය අගේස්තු 09දා මගේ මහත්තයාට ආයේ සී.අයි.ඩී. එකෙන් එන්න කිව්වා. එදත් ඔහුව නිල ඇඳුමත් අන්දවගෙනම ගිහින් කඳවුරේ හමුදා නිලධාරියෙක් භාරදීලා තිබුණා.

එදාම රෑ 9.00ට විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ සැමියාගෙන්.
“මාව අත්අඩංගුවට ගත්තා. හෙට උදේ මාව හෝමාගම උසාවියට දානවා. මේ ගැන කෑම්ප් එකෙන් දන්නවාද අහන්න කිව්වා. මම කෑම්ප් එකේ නොම්බරය හොයාගෙන ඔවුන්ගෙන් ඇහුවා. නමුත් ඔවුන්ට ඒ ගැන සී.අයි.ඩී.යෙන් දැනුම් දී තිබුණේ නැහැ ඒ වෙලාවේ. මගේ මුළු ලෝකෙම කඩන් වැටුණා වගේ වුණා. අම්මත් ලෙඩ වෙලා එයාට පහුවදා මහරගම පිළිකා රෝහලේ සැත්කමක් කරන්න යෙදිලා තිබුණා. ඒ නිසා තාත්තට අම්මා එක්ක රෝහලට යන්න වුණා. පුතාවත් මම තාත්තා එක්ක රෝහලට යැව්වා. මම උසාවියට තනිවම යන්න බැරි නිසා මම මගේ හොඳම යාළුවෙක්ට කතා කළා. මම ජීවිතේට උසාවියකට ගිහින් තිබුණේ නැහැ.

එදා මම යාළුවත් එක්ක අපේ නීතිඥ මහත්තයාට දෙන්න මුදලුත් අරගෙන උසාවි ගියා. එදා සවස 3.40ට විතර වගේ තමයි සැමියාව උසාවියට ගෙනාවේ. 5.00ට විතර නඩුව ඉවර වුණා. මට මහත්තයා එක්ක වචනයක්වත් කතා කරන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ අතර එස්.අයි. ප්‍රේමතිලක සහ එස්.අයි. උඩවත්ත කියන දෙන්නා මට කිව්වා මගේ සැමියාගේ නිල ඇඳුම තියෙන බෑග් එකත් එයාලගේ වාහනෙක තියෙනවා ඒක ගන්න එන්න කියලා. මම ඒක ගන්න එයාලා එක්ක වාහන පාර්කින් ඒරියා එකට ගියා. යාළුවා ලෝයර්ට සල්ලි දෙන්න එතැන නවත්තලා මම තනියමයි ගියේ. වාහනේ හිටිය තව පුද්ගලයෙක් මට බෑග් එක දෙන්න හදනකොට අර දෙන්නා මගේ ඇඟට කඩන් පැන්නා.

අපි උඹලගේ ගෙදර ඇවිත් කියපුවා, කරපුවා සේරම ලෝයර්ට කියලා උඹ මොන වාසියක් ගන්නද හදන්නේ. උඹ තමයි මේ හැමදේම කරන්නේ. අපි උඹව බලාගන්නම් කියලා මට තර්ජනය කරලා මට බෑග් එක දුන්නම මම යන්න හැදුවා. එතකොට ඔවුන් මට බෑග් එක චෙක් කරන්න කිව්වා. මම ඕනි නෑ කිව්වම ඔවුන් මට බල කළා, මම බයට චෙක් කළා.

එදා සී.අයි.ඩී. එක අධිකරණයට ඉදිරිපත් කරපු බී (ඕ) වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ මගේ සැමියා 2009 අගෝස්තු මාසයේ දවසක ප්‍රගීත් එක්නැලිගොඩ දඹුල්ලේ සිට එනකොට ඔහු ආපු බස් එකේම නැඟලා කොළඹ ආපු බවත් සැමියාගෙන් ප්‍රශ්න අහනොකටයි ජංගම දුරකතන වාර්තා මගිනුයි ඒක තහවුරු වුණා කියලයි. ඉන් අනතුරුවයි මගේ සැමියාව අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර ගත කරන්නේ. මගේ සැමියගේ නීතිඥයන් කියනවා 2010 මාධ්‍යවේදියා අතුරුදන් වීම ගැන මගේ මහත්තයාගේ බී වාර්තාවේ සඳහන් වෙලා නෑ කියලා. නමුත් සී.අයි.ඩී.ය. මගේ මහත්තයාව මේකට පටලවලා මිනී මැරීමේ චෝදනාවක් දාලා අසත්‍ය බී වාර්තාවක් හදලා එයාලගේ නොහැකියාව වහන්න හදනවා.

තවමත් ඔය කියන මාධ්‍යවේදී මහතා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එකවත් හොයාගෙන නැහැ. සී.අයි.ඩී. එක මුලින් කරන්න ඕනා එක්නැලිගොඩ මහතා ජීවත්වනවාද මරලද කියලා හොයන එකයි. ඒ ගැන ඇසින් දුටු සාක්ෂිවත්, විද්‍යාත්මක සාක්ෂිවත් නැතිව ඔහුව පැහැරගත්තා, මරා දැම්මා කියලා මගේ සැමියාට චෝදනා කරන්නේ කොහොමද? මම මේක දකින්නේ සී.අයි.ඩී. එක තමන්ගේ නොහැකියාව වහගන්න කරන මාධ්‍ය සංදර්ශනයක් විදියට.

මගේ මහත්තයා ඇත්තටම මේකට සම්බන්ධයි නම් මම වචනයක්වත් කියන්නේ නැහැ. ඔහු වරදක් කළා නම් දඬුවමක් දෙන්න. නමුත් ඊට පෙර ප්‍රගීත් එක්නැළිගොඩ මහත්තයාට මොකද වුණේ කියලා රටට කියන්න. ඉන්නවද මැරිලද කියලාවත් නොදන්න කෙනෙක්ව පැහැරගත්තා, මැරුවා කියලා තවත් අයට චෝදනා කරන්නේ කොහොමද? ඒක හරිම ප්‍රහේළිකාවක්නේ.

මගේ පුතා ලබන වසරේ ශිෂ්‍යත්වේ ලියනවා. ඔහුගේ මානසික මට්ටම බිඳිලා. ඒ ළමයා බයවෙලා. මගේ යාළුවෝ පවා අපේ දිහා බලන්නේ මිනීමරුවෝ ගාණට. හොඳම යාළුවා පවා අපිව මඟහරිනවා. සමහරු මාව ෆේස් බුක් එකෙනුත් අයින් කරලා දාලා. මහත්තයාගේ වැටුප් නවත්වලා. අපිට ජීවත්වෙන්න ආදායමක් නැහැ. පුතාව පන්ති යවන්න විදියක් නෑ. මගෙ අම්මා පිළිකා රෝගියෙක්. අපි අන්ත අසරණ වෙලා ඉන්නේ.

මම ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු බුද්ධි අංශයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා මුලින් මගේ මහත්තයාට ඇප ලබා දෙන්න කියලා. ඊට පස්සේ මේ අපරාධයේ සුලමුල සොයන්න කියලා. මේ විදියට අන්තවාදී වෙලා තීන්දු තීරණ ගන්න සී.අයි.ඩී.යේ මහත්වරුන්ගෙනුත් මම ඉල්ලීමක් කරනවා මුලින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට මොකද වුණේ කියලා රටට කියන්න කියලා. ඊට පස්සේ චෝදනා කරන්න අපරාධය කරපු අයට විරුද්ධව.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress