තීරණාත්මක සාධකයක්
Posted on August 25th, 2018

මාගම්පුත්‍ර උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරණයට වැඩි කැමැත්තක් පෙන්වමින් රනිල් හා මෛත්‍රි දෙපිලකට බෙදී ව්‍යාජ නෝක්කාඩු ගමනක යෙදෙන බව මහින්ද හොඳින් තේරුම් ගෙන සිටින මොහොතකි. ජනාධිපතිවරණය මිස පළාත් සභා මැතිවරණය ඊට කලින් පවත්වන්නට මේ දෙන්නාටම ඕනෑ නැති වගක් මහින්ද දන්නේය. රට යන අත අනුව, මහින්දටද තමන් නියෝජනය කරන ප්‍රබලම කණ්ඩායමත් සමඟ, ඉතා දුෂ්කර ගමනක් හීන් සීරුවෙන් සිය දේශපාලන නෞකාව ගල්පර අතර හැපී විනාශ වන්නට නොදී ඉදිරියට පවත්වාගෙන යෑමට සිදුව තිබෙන්නේය.

අලුත් විශේෂ මහාධිකරණ ඇති කරමින්, එක දිගට විවිධ චෝදනා යටතේ යැයි කියමින් නඩු ගොනු කරමින්, කිසියම් වේගවත් බවකින් ‘අපි නීතිය හරිටම ඉෂ්ට කළා’ය යන්න රටට පෙන්වන්නට ආණ්ඩුව සූදානම් වන රංගනයකය.

‘නෑයි කියන්නේ කොහොමද අපි මහින්දට චීනයෙන් දුන්න සල්ලි ගැන රටට කිව්වා. ගෝඨාගෙ වැරැදි උසාවියට ගෙනාවා. ගිය ආණ්ඩුවේ තව තව අයගෙ ෆයිල් ඇරියා. එක දිගට නඩු අහන්න පටන් ගන්නවා. ඒක රටට දැන් පේනවා’ යැයි කියමින් ආණ්ඩුවේ ඇතැමුන් වහසි බස් ‍ෙදාඩමින් සිටින මොහොතකය.

රට යා යුත්තේ රටේ ජනතාවගේ යහපත උදෙසා ගනු ලබන තීන්දු තීරණ මත වුවද දැන් දැන් මෙම නීතිමය වැටකඩොලු හා අවහිර කිරීම් පිළිබඳ ක්‍රියාන්විතය යන අතරම මෛත්‍රි හා රනිල් බොරු අමනාප මුහුණක් ඉදිරියට දමාගෙන මහින්දලාට බැටේ දෙන වැඩසටහනක සක්‍රියව සිටින බවත් පෙනෙන්නට ඇත. ඒ හා සමඟම මෛත්‍රි එක පැත්තකිනුත්, රනිල් තවත් පැත්තකිනුත් රට ගොඩනඟන්නට තරගයට මෙන් එක එක ව්‍යාපෘති පටන් ගනිමින් එක එක කතා කියමින් සිටින මොහොතකි.

රනිල් ‘විෂන් 2025’ ව්‍යාපෘතිය එළිදක්වමින් නව ලිබරල් ආර්ථික ඉලක්ක ගත දැක්මකට අනුව ස්වකීය ක්‍රියාන්විතය දියත් කරද්දී මෛත්‍රිටත් මොනවා හරි කරන්නට හිතුණු සෙයකි. මෛත්‍රි ඒ අනුව ‘තිරසර සංවර්ධනය’ නමැති බෝඩ් ලෑල්ල ප්‍රසිද්ධ කරමින් 2025 ප්‍රතිපත්ති සැලසුම්වලට අනුව යමින් තමන්ගේ පාර්ශ්වයේ වැඩ ක්‍රියාත්මක කරන්නට පටන් අරගෙනය. එහි රනිල්ගේ ප්‍රතිපත්තියේ නැති ග්‍රාමීය හා මහජන සුබසිද්ධියට අදාළ කාරණාවලට අතගසා ඇත්තේය.

‘එක ප්‍රතිපත්තියක් මත පිහිටා ඒ වෙනුවෙන් නිසි සැලසුම් හදා, එය බලගන්වන්න මහ පොළොව මත ක්‍රියාත්මක කරන්න සියලු දෙනා එක්ව කැපවිය යුතුයි. වැඩ කළ යුතුයි. එහෙම නැතිව පාරවල් දෙකක ගිහින් අන්තිමට නටපු නැටමකුත් නෑ බෙරේ පළුවකුත් නැ’ මේ පිළිබඳ රනිල්ගේ හා මෛත්‍රිගේ පිලේ මධ්‍යස්ථ අය මේ දෙමඟක යන විකාර වැඩ ගැන කතා වෙන්නේ එහෙමය.

එහෙත් මහින්දගේ දැක්මට අනුව මෛත්‍රි හා රනිල් ඔය යන විදියටම එසේ දෙමඟක යන එක හොඳය. ඊට හේතුව නම් අවසානයේ රනිල් කළ දේකුත්, මෛත්‍රි කළ දේකුත් නැති වන වග මහින්ද හො¼දාකාරවම දැනගෙන සිටිනව. වන්නට පුළුවන. නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයකට අනුව වුවද දෙමඟක ගිහින් මොන බක්කක්වත් කර ගන්න බැරි බව ඔය කාට කාටත් වඩා හොඳින් දන්නේ මහින්දය. ඒ නිසා ඔහුට ඒ ගැන තැවීමක්ද නැති බව පෙනෙයි.

ඒ අනුව ජනපති මෛත්‍රි පසුගිය ඔක්තෝබරයේදී ‘ග්‍රාම ශක්ති’ ජනතා ව්‍යාපාරය යැයි කියමින් පටන්ගත් වැඩසටහනින් දිළිඳුකම පිටු දකින්න සූදානම්ය. ඊට නොදෙවැනිව රනිල්ලාද, ‘ගම්පෙරළිය’ නමින් තවත් පෙරළියක් පටන් ගත්තේද ග්‍රාමීය ජනතාව ආමන්ත්‍රණය කරන කඩිනම් සංවර්ධන අරමුණු ඉලක්ක ගත කරගෙනය. ආර්ථිකය ඒ හැටි හොඳ තත්ත්වයක නැති මොහොතක මෙමඟින් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථික කරා මහ පරිමාණයෙන් මුදල් පොම්ප කර දේශපාලනමය අරමුණු තරගය ඉටුකර ගන්නට යෑමක්ය.

මහින්දගේ ණය ගෙවන්නට මහා දුකක් විඳිනවා යැයි කියන රනිල්ලාට, මෛත්‍රිලාට මේ විදියට මුදල් යොදවා දේශපාලන ව්‍යාපෘති කරන එක හරිද යන්න විමසන්නටවත් කවුරුවත් නැතිවීමද මෙහිදී කැපී පෙනෙන්නකි. මේ ක්‍රියාන්විතය මෛත්‍රි, රනිල් දෙදෙනා තරගයට එසේ කරගෙන ගියත් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ මුඛ්‍ය වුවමනාව ඇත්තේ මෛත්‍රිගේ ශ්‍රී ලනිපයටය. පළාත් සභා මැතිවරණයට මේ මෙහොතේ ගියහොත් නිසැකයෙන්ම ශ්‍රී ල.නි.ප.යට අත්වන්නේ තෙවැනි තැන හෝ ඊටත් පහළ තැනක්ය යන්න එහි ප්‍රබලයෝ විශ්වාස කරති.

රනිල්ගේ පිල ගමට වැඩ කර පෙන්වා ඉලක්කගත කරන්නේද පළාත් සභා ඡන්දය නොව ජනාධිතිවරණය බව ඉතා හොඳින් දැන සිටින්නේ වෙන කවුරුවත්ම නොව මහින්දය. රනිල් කියන්නේ ‘දැන් ආර්ථිකය ශක්තිමත්. අපට ණය ගෙවන්න පුළුවන් තැනකට ඇවිල්ලා’ කියලා වුවද එය මිථ්‍යාවක් බව මහින්ද දන්නේය. රනිල් කියන්නේ ණය ගෙවීමේ අනුපාතය 70කට පමණ පහළ අගයකට ගෙනැවිත් තිබේ යන්නය. එහෙත් මහින්ද පිලේ ආර්ථිකය දන්නා අයට මෙය වසංගන්නට බැරිය. ඔවුන් කියන්නේ රනිල් බලයට පත්වූ කාලයේදීත් එම අගය එසේම තිබුණු බවය. රටට පෙන්වන ආර්ථික ප්‍රාතිහාර්යයක් නැති බවත් කියැවෙයි.

‘චීනයෙන් ණය ගත්තා. අපටත් චීනයෙන් ණය ලැබෙනවා. මහින්දට විතරද චීනා ණය දෙන්නේ’යි කියා රනිල් පිලේ ඇච්චන්, බැච්චන් කෑ මොර දුන්නත් සත්‍යය ඊට වඩා වෙනස් බව මහින්ද දැන සිටින්නේය.

මේ චීන ණය කතාවේ ඇත්ත නම් ලංකාවේ විදේශ ණය ගැනීමේ සමස්තය අනුව එහි චීන ණය ප්‍රමාණය 6%කි. ඉතිරි ණය බර ප්‍රමාණය 40%කටත් වැඩි වන අතර මේ සියලු ණය ලබාගෙන තිබෙන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙනි. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්ද ණය ලබාගෙන තිබෙන්නේය. එබැවින් චීනයෙන් වැඩි ණයක් ගන්නට පුළුවන් ප්‍රමාණය ගැන කතාවද පුස්ස බින්දා සේ වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතයන්ද ඉතා ඉහළය. මේ අනුව එම ආයතනවලින් හිරිකිතයක් නැතිව ණය ගන්නා මෛත්‍රි – රනිල් ආණ්ඩුව චීන ණය භීතිකාවක්ද තවත් පැත්කින් මතුකර මහින්දට පහර දෙන තැනකය.
මේ සියලු කරුණු කාරණා සහ පෙළගැසීම් මැද මෛත්‍රි යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි යන මාතෘකාවද කරළියට පැමිණ තිබෙන මොහොතකි.

පළාත් සභා ඡන්දය පස්සට දාලා ශ්‍රී ලනිපය පුළුවන් තරම් එකට එකතු කරලා, පොදුජන එක්සත් පෙරමුණ වටා පිරිස් එකට එකතු කරලා මෛත්‍රි හදන්නේ යූ.එන්.පී.යෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා නවත්වාගෙන තමන්ට ආයෙත් තරග බිමට එන්නයි. ඒකට අපි නම් ඉඩ දෙන්නේ නෑ. මේ පාර යූ.එන්.පී.යෙන්ම කෙනෙක් එන්න ඕනෑ.

ජනාධිපතිවරණ සටනේ යටිබිම්ගත නාටකයනට අනුව එ.ජා.ප.යේ බහුතරයක මතය මෛත්‍රි හෝ වෙනත් කවුරුවත් හෝ නොව එ.ජා.ප.යෙන්ම කෙනෙක් වැඩේට දාන්නටය.
රනිල් ඊට හාවක් හූවක් දෙන්නේ නැතිව හ්ම්… කියන්නේ නැතිව වෙනම ගමනකය. ඇතැම් විට ඔහුගේ කල්යල් බැලීමත්, ඉවත් හොඳින් හඳුනන මහින්ද ගහන්නට යන ගැටේ දැනගෙන ඉන්නවා වන්නටද පුළුවන. අඩු තරමේ රනිල්ගේ ඉදිරිපත්වීමේ සම්භාවිතාව වැඩි බව ඉවෙන් මෙන් දැන සිටිනවා වන්නටද පුළුවන.

එහෙත් මෛත්‍රි හිතනවාට වඩා සිදුවන දේ වෙනස් වන්නට තිබෙන ඉඩකඩද වැඩිය. මෛත්‍රි ශ්‍රී ලනිපයට පිරිස් එකතු කරගන්නට හදනවාට වඩා වැඩි අගයකින් ශ්‍රී ලනිපයෙන් පොදුජන පෙරමුණට කඩාගෙන යන ඡන්ද දායකයන්ගේ ගණන වැඩිය. පොදුජන පෙරමුණෙන් මෛත්‍රි ළඟට යන පිරිසක් ගැන විශ්වාසයක් නැත. මෛත්‍රි කිසිවිටෙකත් තමන්ට දිනන්නට බැරි බව දැනුණහොත් එජාපයෙන් රනිල් ඉදිරිපත් කරන තැනකදී ඔහුට සහාය දෙන්නට යන්නේද නැත. මෛත්‍රි හා රනිල් හිර වෙන්නේ එතැනදීය. රනිල්ගේ ඉව අනුව මෛත්‍රිගේ උදවු නැතිව ඡන්දය දිනන්නට හැකි බව සිතුවේ නම් සිංහල ඡන්දවලින් මීට වඩා වැඩි අගයක් තමන් ළඟට ගාල්කර ගත යුතුය. එතැනදී රනිල්ට ඇති වාසිදායක තත්ත්වය අවමය.

මේ තත්ත්වය හොඳින් දන්නා මහින්ද නීතිමය අවුලක් නොවූයේ නම් නියත වශයෙන්ම තරගයට ඉදිරිපත් වනු ඇත. එය නියත වශයෙන්ම මෛත්‍රි හා රනිල් ආපස්සට හරවන වැඩකි. ජයග්‍රහණය ලබන්නට රනිල්ට හා මෛත්‍රිට ඇති සිහින බොඳ කර දමන්නකි. ඒ නිසා මහින්ද මෙහිදී තබන පියවර අතිශය වැදගත්ය, තීරණාත්මකය.

2 Responses to “තීරණාත්මක සාධකයක්”

  1. Christie Says:

    සින්හල චන්ද දෙකඩ කර ඉන්දියානු ඉන්දියානු චන්ද කුට්ටිය දිනාවි.

  2. Randeniyage Says:

    To hell with VediBana from Pandamas, let us have one Imran Khan too. May be too early but signs are good so far. Our දූෂණ විරෝධීන් are Horu themselves.

    ඉම්රාන් ඛාන් දූෂණ විරෝධීන්ට බලාපොරොත්තුවක් එක් කරයි
    August 26, 2018

    දීර්ග කාලයක සිට දේශපාලකයන් දූෂණ විරෝධී සටන් පාඨ ඔස්සේ බලයට පැමිණෙන අතර අපේ රටේ එය 1994 තරම් ඈතට දිවයයි. එහි ආසන්නතම උදාහරණය 2015දී අපට දැක බලාගැනීමට හැකි විය.

    අපේ රටේ කෙසේ වෙතත් ලොක්යේ දූෂණ විරෝධී සටන් පාඨය ඔස්සේ ලෝකයේ බලයට පැමිණ මේ වනවිට ජනතා අපේක්ෂා මුදුන්පමුණුවන දේශපාලන කණ්ඩායම් දක්නට ලැබේ. ඉම්රාන් ඛාන් මහතා පකිස්තානයේ නව ග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේද මෙලෙසම දූෂණයට, අල්ලසට දැඩි පහරක් එල්ල කරමිනි.

    එසේ බලයට පැමිණි ඔහු මෙතෙක් ගතවූ දින කිහිය තුළ කටයුතු කර ඇති ආකාරය අනුව දූෂණ විරෝධී කඳවුරට සුභවාදී බලාපොරොත්තු සහගත බාවයක් ලබාදී තිබේ.

    ඔහු සිය කැබිනට් මණ්ඩලය පත් කිරීමේදීද මෙම ආදර්ෂය දෙන ලදී. ඔහු සිය කැබන්ට් මණ්ඩලය සාමාජිකයන් 16කට සීමා කළේ ය.

    ඒ වගේම සිය පළමු කැබ්නට් මණ්ඩල රැස්වීමේදීම ඔහු පාකිස්තානයේ ජනපති, අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම් කරමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

    නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී තීරණය වී තිබේ. ඒ අනුව පාකිස්තාන ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු නායකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ට ගුවන් ගමන්වලදී පළමු පන්තියේ ගමන් කිරීම තහනම් කර ඇත.

    ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එහිදි ප්‍රකාශ කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවටද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීමද ප්‍රතික්ෂේප කර තිබේ.

    නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බවද ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කාළේ ය.

    කෙසේ නමුත් අපේ රටේ දූෂණ විරෝධී සටන් පාඨය කරපින්නාගෙන බලයට පැමිණි පාලකයෝ මේ වනවිටත් එම දූෂණය නැමති ජරා වළේ බැසගෙන සිටින අතර දූෂණයට අල්ලසට එහෙව සම්මත කළ යම් යම් නීතීන්ද තුට්ටුවකට මායිම් නොකරන තැනට දැන් වත්මන් පාලකයන්ද පත්ව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress