විදුහල්පතිනිය දණගැස්වීමේ සිදුවීමේ මානව හිමිකම් වාර්තාව කෝ ?
Posted on August 27th, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මීට  වසරකට වැඩි කළකට පෙර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  විසින් විමර්ශනයක් පවත්වනු ලැබීය.  

නමුත් මෙම විමර්ශනය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාව අදාල පාර්ශව වෙත ලැබී නොමැති බැවින් එය වහා ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කළේය.

එම ලිපිය පහත දැක්වෙන අතර ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස ඉල්ලමු.

 27/08/2018

ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය

ගරු සභාපතිතුමිය,

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,

14, ආර් ඒ ද මැල් මාවත

කොළඹ  4

 ප්‍රිය සභාපතිතුමියනි,

ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් විසින්බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සම්බන්ධයෙනි.

මෙයට වසරකට වැඩි කළකට පෙර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් පවත්වනු ලැබීය.  මම එහි පැමිණිලිකරු ලෙස සාක්ෂි දුන් එක් සාක්ෂිකරුවෙකු සහ අදාළ විමර්ශනය සම්පූර්ණයෙන්ම නීරීක්ෂණය කළ පුද්ගයෙකු වෙමි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණය තවමත් අදාළ පාර්ශව වෙත දැනුම් දී නැත.

මෙම සිද්ධිය රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, මෙයට පෙර අධ්‍යාපන කේෂ්ත්‍රයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් චෝදනා පිළිබද විමර්ශනයේ දී කොමිෂන් සභාව දැක්වූ කාර්යක්ෂම භාවය ඌව ප්‍ර‍ධාන අමාත්‍යවරයාට එරෙහි පරීක්ෂණයේ සිදුව නොමැති බව අපගේ නිරීක්ෂණය යි.

අදාළ විමර්ශනයේ වාර්තාව හැකි ඉක්මනින් අදාළ පාර්ශවයන් වෙත ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress