සෑම ආණ්ඩුවක්ම බලය රැක ගන්න මිනී මැරුවා
Posted on August 28th, 2018

මතුගම – වසන්ත කුමාර බුලත්සිංහල – ප්‍රභාන් උපුටාගැණීම  මව්බිම

මේරටේ හැම ආණ්ඩුවක්ම තමන්ගේ බලය රැකගන්න මිනිස්සු මැරුවා. එක ආණ්ඩුවකට විතරක් ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. මේ හැම ආණ්ඩුවක්ම තමන්ගේ බලය රැකගන්න මිනිස්සු මරලා දැම්මා’ යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා අගලවත්තේදී කීවේය.
අගලවත්තේ පැවැති ජනහමුවක් අමතා කුමාර වෙල්ගම මේ අදහස් පළකළේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේ කීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ත්‍රිමා විතාන ශිෂ්‍යයාගේ ඔළුවට පරාල ඇණ ගහලා මැරුවේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බව දැන් සමහර අයට අමතකයි. මේ විදියට යූ.එන්.පී. ආණ්ඩුව මිනීමැරුම් ගණනාවක් සිදු කළා. බටලන්ද වධකාගාරය අමතක නැහැ. දැන් මේවා සමහර අයට අමතක වෙලා වගෙයි කතා කරන්නේ. ඒ නිසා අපි මේවා මතක් කර දිය යුතුයි.


මම කෙළින් කතා කරන කෙනෙක්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා වැරැදි දෙයක් කිව්වොත් මම එතුමාගේ ළඟට ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ඒක කියනවා. එතුමා හරි දෙයක් කියනකොට මම අත්දෙකම උස්සලා එතුමා සමඟ ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ වෙල්ගමගේ හැටි දන්නවා. වෙල්ගම කියන්නේ මගේ නෑදෑයෙක් කියලා මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි කියන්නේ අන්න ඒ නිසයි. වෙල්ගම මේ දේවල් කියන්නේ මහින්ද රාජපක්‍ෂලාට තියෙන ආදරය නිසා බව එතුමන්ලා දන්නවා.

අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ආණ්ඩුව විතරක් නෙවෙයි ජනාධිපතිව වුණත් විවේචනය කරලා ගෙදර ඇවිල්ලා බය නැතිව නිවී සැනසිල්ලේ නිදාගන්න පුළුවන් නායකයකු අපට අවශ්‍යයි. මම අවස්ථාවාදියකු නම් එදා මම ඉල්ලන ඇමැතිකමක් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙන් ලබාගන්න තිබුණා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇරුණාම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට තියෙන ලොකුම ඔළුවේ කැක්කුම මමයි.

මම කෙළින් කතා කරන මිනිහෙක්. මේ රට, ජාතිය පාවාදීලා මොනවා ලැබුණත් මට වැඩක් නැහැ.

මට මන්ත්‍රි, ඇමැති, අගමැති තනතුරු අවශ්‍ය නැහැ. මේ රටේ සෑම ජාතියකම, සෑම ආගමකම මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. අපේ ලොකුම ජයග්‍රහණය ඒකයි. අපේ පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ. එහෙම අවශ්‍යතා තිබුණා නම් ඔබතුමා කියන එක හරි කියලා දේශපාලන ඩීල් දාලා ඇමැති, අගමැති තනතුරු ගන්න තිබුණා. දේශපාලනය නැතිව ගෙදර හිටියත් කුමාර වෙල්ගම ළඟ දේශපාලන ඩීල් නැහැ.

මට හොඳට දේශපාලනයේ දුරදිග පේනවා. ඒ නිසයි මම ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා කිව්වේ. 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව නීතිය ආපස්සට ගේන්න බැහැ. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ මහත්තයාට තරග කරන්න පුළුවන්. 19 වැනි සංශෝධනය අනුමත වූ දින සිට ඉදිරියටයි තියෙන්නේ. ආපස්සට ඒක බලපාන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලු මන්ත්‍රිවරු බිම බලාගෙන ඉන්න වෙලාවේ කුමාර වෙල්ගම නැඟිටලා මුලින්ම කිව්වා හවුල් ආණ්ඩුවට අකැමැතියි කියලා. හවුල් ආණ්ඩුවකට යන්න එපා කියලා මට කියලා දුන්නේ මට දේශපාලනය ඉගැන්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. නමුත් ඒක මෛත්‍රිපාල සිරිසේනට අමතක වෙලා ගියා.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයාටයි මටයි එකට මැතිනිය කිව්වා කවදාවත් හවුල් ආණ්ඩුවකට යන්න එපා කියලා. චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ජනපති අපේක්‍ෂකකම දෙන්න අකැමැති වුණා. නමුත් මම එදා එතුමියට කිව්වේ ජනාධිපති අපේක්‍ෂකයා බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කළ යුතු බවයි. චන්ද්‍රිකා නෝනා ඒකට මගෙත් එක්ක අමනාප වුණා. අනුර බණ්ඩාරනායක මහතා ඒ නිසා මැරෙන තුරු මා සමඟ කතා කළේ නෑ.

දැන් අපට උදාවෙලා තියෙන්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවක්. සිරිසේන මහත්තයා මට නඩු තුනක් දාලා තියෙනවා. නමුත් මම බය නැහැ. මම වැරැදි කරලා නෑ සිරගෙවල්, පොලිසි තියෙන්නේ අපට යන්න තමයි.

එදා ගෝල්ෆේස් ගියාටත් වඩා වැඩි පිරිසක් ලබන පස්වැනිදා කොළඹ ගිහිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න බල කළ යුතුයි.
මතුගම – වසන්ත කුමාර
බුලත්සිංහල – ප්‍රභාන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress