එකතු වෙන්න! ගෝඨා විද්වතුන්ගෙන් ඉල්ලයි
Posted on September 1st, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

දේශප්‍රේමී බලවේග එක්ව සංවිධාන කරන ‘ජනබලය කොළඹට’ නම් වූ ආණ්ඩු විරෝධී රැලියට සහභාගි වන ලෙස හිටපු
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තිකයන් ඇතුළු බුද්ධිමතුන්ට
ආයාචනයක් කරයි.

සිය අස්සනින් පෙරේදා (31දා) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔහු එම ආයාචනය කරයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන කටයුතුවලට එක්වීමෙන් වැළකී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි දේශපාලන ව්‍යාපාරයක් සඳහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආයාචනයක් කරන පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාව ජාතියක් ලෙස ඓතිහාසිකව සමාජයීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් මෙතරම් පහළට වැටුණු අවධියක් නොවූ බවද එය නිවැරැදි කිරීමට පසුගිය කාලයේ සංවිධානගත වීමට උත්සාහ දැරූ බවද එම නිවේදනයේ සඳහන් කරයි.

ප්‍රධාන දේශපාලන ධාරාවේ දේශපාලන කටයුතුවලට එක්වීමෙන් වැළකී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවද සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම සංකල්පයෙන් ඔබ්බට ගොස් රට තුළ සිදුවෙමින් පවතින නැවත නිවැරැදි කළ නොහැකි සහ දරාගත නොහැකි විනාශය අබිමුව සියලු දෙනා පෙරට පැමිණිය යුතු දිනය උදා වී ඇතැයිද ඔහු පවසයි. විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රාජ්‍ය යාන්ත්‍රණය භාවිත කරමින් අසාධාරණ සහ අත්තනෝමතික ලෙස දරුණු දේශපාලන මර්දනයකට යටත් කර තිබෙන බව තම නිවේදනය මඟින් සඳහන් කරන හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සියල්ලම බිඳ දැමීමට රජය කටයුතු කරමින් ඇතැයිද කියයි. ජාත්‍යන්තර ගිවිසුම්, ඔස්සේ නැවත රට විනාශය කරා ගෙනයන ආකාරයද සඳහන් කරන හෙතෙම ජාතික, ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණමින් ඇතැයිද පවසයි. ජාත්‍යන්තරව පිළිගත් සියලුම ආර්ථික දර්ශක ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පහත වැටී ඇති බවද සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික හා දේශපාලනික ප්‍රයෝජන පිණිස සාමය හා සංහිඳියාව විනාශ කරමින් ඇතැයිද චෝදනා කරයි. රණවිරුවන් දඩයම් කිරීම ඇතුළු ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමයම ජනතා උදහසට ලක් වී ඇතැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress