කොළඹට කැඳවන පොදු ජන සේනා
Posted on September 1st, 2018

මාගම්පුත්‍ර උපුටාගැණීම  මව්බිම

“ලබන 5දා කොළඹට ගලන ජන ගඟ ආණ්ඩුව ගෙදර යැවීමේ පෙරනිමිත්තක්. ඒ නිසා මේ වැඩේ උපරිමයෙන් කෙරෙන්න ඕනෑ. අඩුවක් තියෙන්න බැහැ. හැම පැත්තෙන්ම එක් රැස්වන මහා ජන ගංගාවක් පෙන්වලා ආණ්ඩුව හෙල්ලෙන වැඩක් කරන්න ඕනෑ. ඒ නිසා හැම දෙයක්ම දෙතුන්වාරයක් හොයලා, විමසලා හරියටම සංවිධානය කර ගන්න ඕන.” ඒකාබද්ධයේ ප්‍රබලයන් මේ සටහන තබන මොහොත වන විට එසේ තම ක්‍රියාධරයන් උනන්දු කරවමින් උපරිම කැපවීමකය.

මහින්ද, බැසිල්, ගෝඨා සහ චමල්ද වෙන කවරදාකවත් නැති උනන්දුවකින් මේ සියල්ල අධ්‍යයනය කරමින් පෙරමුණේය. මෙය මෙහෙයුමක් පමණක් නොව ස්වකීය දේශපාලන අනාගතයේ තීරණත්මක හැරවුමක් ඇති කරන්නක් බව සියල්ලෝම හඳුනාගත් බවක්ද පෙනෙන්නට ඇත.

“අපට හිතවත් සියලුම මාධ්‍ය මේ මහජන ගංගාව, උද්ඝෝෂණය ගැන හරි තොරතුරු රටටම කියන්න කටයුතු කරාවි. ඒ අතරේ 5දාත් ඊට ඉස්සර 4දාත් ආණ්ඩුවේ මාධ්‍ය තමන්ගේ වසර තුන ඇතුළත කරපු දේත් වෙනදාට වඩා හොඳින් පෙන්වන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවෙ උත්සාහය මේ ජන ගංගාවේ කටයුතුවලට බාධා කිරීමයි. ඒ නිසා ගැටුමකට නොගිහින් ජන බලය පවුරක් වගේ මහින්ද වටා ඉන්නා බව පෙන්වන්නම ඕනෑ.” මේ මෙහෙයුමේ ප්‍රචාරක කටයුතු භාරගත් ප්‍රබලයන් සියලුදෙනා කටයුතු පැවැරූ ඒ ඒ සංවිධායකයන් දැනුවත් කරමින් මෙම මෙහෙයුමේ ප්‍රබල බව වැඩි කරන්නට දැඩි උත්සාහයකය.

බැසිල්ගේ ක්‍රියාන්විතය ඊටත් වඩා ගැඹුරින් ක්‍රියාත්මකය. ඔහු වැඩ පැවැරූ අය එම කටයුතු නිසි ලෙසින් ඉටුකර පෙන්වන තැනකය. මේ අතර මහින්ද වටා සිටින ඔහුට ඉතා හිතවත් උපදේශකයන්ගේ අදහස වී ඇත්තේ…

“පසුගිය කාලෙ ගෝඨා – බැසිල් – චමල් අල්ලලා එක එක කතා පැතිරෙව්වනේ. ඒ නිසා මේ ඒකාබද්ධ මෙහෙයුමේදී ඔය කියන කිසිම සහෝදරයෙක් කර අරින්නේ නෑ. ඒ ඵය මහින්ද මහත්තයා එක්ක එකාවන්ව හිටගෙන, සහෝදර බැම්මෙන් මේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවනවා කියලා මේ වැඩෙන් අපි පෙන්වන්න ඕනෑ.” කියලාය.

තවත් සමහරුන්ගේ අදහස වී තිබෙන්නේ මෙම ජන උද්ඝෝෂණයේදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී ඒ ඒ නියෝජිතයන් එම ව්‍යායාමයට හානියක් නොවන විදියට කතා කළ යුතු බවයි. පරස්පර කතා නොකිය යුතු බවයි.

“මේ ආණ්ඩුව පුංචි ඡන්දය වසර එකහමාරක් කල් දාලා බැරිම තැන තිබ්බා. පළාත් සභා මැතිවරණයත් කල් දාන්නේ දිනන්න බැරි නිසයි. ඒ නිසා ආණ්ඩුවක් විදියට මෛත්‍රිත් – රනිලුත් එක පැත්තක ඉඳලා එකට වැඩ කරන නිසා ජනතාවට මේ දෙන්නගෙ වැඩ බැරි කමත්, ඡන්දෙට තියෙන අකැමැත්ත ගැනත් කියන්න ඕනෑ. ඡන්දෙට බය වෙන්නේ ඒකාබද්ධයේ ජන බලය බලවත් නිසා බව ජනතාවට කියන්න ඕනෑ.”

කෙසේ වෙතත් මේ සංවිධාන ශක්තිය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු ආණ්ඩුවේ බුද්ධි අංශ හරහා මෙන්ම ඒකාබද්ධයත් ශ්‍රී ලනිපයත් අතර සිටිමින් දෝලනය වන සාමාජිකයන් හරහා එජාපයටද ගලායෑම නිසා එජාපය මේ විරෝධතාවට මුහුණදෙන හැටි දැනගන්න ජනාධිපතිවරයාව රහසිගතව හමුවුණේය.

මංගල, මලික් හා සජිත් රනිල් සමඟ ඊට සහභාගි වූයේ හීන් සීරුවේය.

“මේ ජන ගංගාව ගේන්නේ උපරිම ශක්තිය යොදවලයි. ඒකට අපි බය වෙලා බ්ලොක් කරන්න නරකයි. එන්න දෙන්න තියෙන්නේ. ඒ ඇවිත් හිරවෙලා කෑ ගහලා ගියාදෙන්. පොලිසිය දමලා බාධා කරලා ගැටුමක් ඇති කරවන්න ඉඩ දෙන්න නරකයි.”

එහෙත් ශ්‍රී ලනිප පාර්ශ්වයේ අදහස වූයේ මෙය ආණ්ඩුව වට්ටන කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා පොලිසිය යොදවන්න සමහර විට වේවිය කියලාය.

“කොයි පැත්තෙන් එනවද කියන්නෙත් නෑ. ඇවිත් රොක්වෙන තැන ඉඟි කරන්නෙත් නෑ. ඒ නිසා ඒ ගැන හිතන්න ඕන නෑ. ඔහේ ඇවිත් ගියදෙන්.”

එජාපයේ ස්ථාවරය යළිත් මතු කෙරුණේ එසේය. මෛත්‍රි හා රනිල් ආණ්ඩුවක් හැටියට එක්වී මීට මුහුණ දිය යුතු වන තැනට මතුපිටින් නොපෙන්වුවද තීන්දු කර හමාරය.
කෙසේ වෙතත් ජන ගංගාව ගලද්දී මහජනතාව අතරින් නැඟෙන සටන් පාඨ පවා ඒකාබද්ධයේ ප්‍රබලයන්ගේ උපදෙස් මත කිසියම් පිළිවෙළකට ඉදිරිපත් කරන්න වෙනදට වඩා සැලසුම් සහගත දෙයක් කෙරෙමින් පවතින්නේය. රටේ සම්පත් විකිණීම, ජාතික ධනය හොරකම් කිරීම, මැතිවරණ කල් දැමීම වැනි මාතෘකා කිව හැකි මුත් ඊටත් වඩා ජනතාවට දැනෙන, බඩට දැනෙන, හිතට වදින මාතෘකාව තෝරා ගත යුතුයි. ඇතැමෙක් අදහස් පළ කළහ.

කෙසේ හෝ වැඩිම බස්රථ සංඛ්‍යාවක්, වාහන සංඛ්‍යාවක් කොළඹට පැමිණෙද්දී සිදුවන තදබදය හා අපහසුතාව වළක්වන්නට බැරි නිසා මෙය ලෝකයටම පුවත් මවන, විරෝධතාවක් විදියට පෙන්වන්නට මහින්ද සූදානම්ය. මේ පෙළගැස්මත් තමන් හා තම පිලේ ප්‍රබලයන් ආණ්ඩුව කොටු කරගන්නට හදන රහසිගත උත්සාහයත් හොඳින් දැන සිටින මහින්ද මේ උද්ඝෝෂණය මඟින් එහි බරපතළකම රටට දන්වන්නට සූදානමින්ය. ඔහු පළාත් සභා මැතිවරණය පෙරට ගන්නට සූදානම් වන්නේ, බල කරන්නට හදන්නේ ඉන් ජන බලය පෙන්වා ජයග්‍රාහී මානසිකත්වයෙන් ජනාධිපතිවරණයකට යන්නටය. ජනාධිපතිවරණය පසෙකට දමා පළාත් පාලන ඡන්දයට බලමුළු කැඳවීමක්, ජන ජය තහවුරු කර ගැනීමක් මහින්ද මෙයින් අපේක්‍ෂා කරන්නේය.

අන් කවරකුටත් වඩා හොඳින් ආණ්ඩුවේ නාඩි අල්ලන මහින්ද තමන් වටා සිටින සියලු උපදේශකයන්ටත් වඩා හොඳින් කළ යුතුම දේ දැන සිටින්නේය. ඒ බව දනවමින් මහින්ද කියූවක් මෙසේය.

“අද ප්‍රතිපත්තියක් නැති දර්ශනයක් නැති පිරිසක් තමයි ආණ්ඩු කරන්නේ. අපි නොවෙයි හොරු කිව්වේ. දෙන්නට දෙන්නා චෝදනා ඉදිරිපත් කරනවා. අලුත් අධිකරණ හදන විට අපි දැනගත්තා දේශපාලන මර්දනයටයි කියලා. ආණ්ඩුව රටේ නීතිය වෙනස් කළා. නඩු පහළොස් දහසක්, විසිදහසක් විතර තියෙනවා. නමුත් අධිකරණයට ඉදිරිපත් කරන නඩු තෝරන්නේ ඇමැතිවරුයි. නීතිපති ගෙන්නල කියනවා මේ නඩුටික දාන්න කියලා. මේක තමයි මර්දනය කිරීමේ වැඩපිළිවෙළ. තමන්ගේ දේශපාලන වුවමනාකම්වලට නඩු අහන්න කලින් කියනව අත්අඩංගුවට ගන්නවා කියලා. රිමාන්ඩ් කරන මාස ගණන කියනවා.”
මහින්ද රාජපක්ෂ (2018/08/11 ගාල්ලේදී)

මහින්ද සමඟ නැඟෙන බලවේගය මොට කරන්න නම් මහින්ද ඇතුළු ප්‍රබලයන් මෙල්ල කළ යුතුය. ඒ මෙල්ල කිරීම ආණ්ඩුව කරන්නේ කොහොම දැයි ගාල්ලේදී මහින්ද සහසුද්දෙන්ම කියා දුන්නේ එහෙමය. ගාල්ල කියන්නේ මහින්දට වඩාත් වැදගත් ජනපදනමක් ඇති දිස්ත්‍රික්කයකි. ගාල්ලේ මිනිසුන් මේ කතාව අහලා හිතට අරන් තව තවත් මහින්ද වටා ළං වෙනවා ඇරෙන්න ඔවුන් ශ්‍රී ලනිපය දෙසට හැරී ආණ්ඩුවට එකතු වන්නේ නැත.

එසේනම් මහින්ද මර්දනයට එරෙහිව මුහුණ දිය යුතුය. ඒ තම ජනබලය පෙන්වා ආණ්ඩුවට දැනෙන යමක් කරමින්ය. 5දාට පාරට බස්සන්නේ එම ජන බලවේගය නිසා එය මහින්දටත් ඔහු වටා සිටින බලවේගයටත් තීරණාත්මකය. ඒ නිසාම ඉතා තදබල විදියට මේ ජනගඟ සංවිධානය කළ යුතුය. පෙළ ගැස්විය යුතුය.

එබැවින් පළාත් පාලන ඡන්දය කලින් පැවැත්විය යුතුවන තැනට ආණ්ඩුව හිරකළ යුතුය. වැට්ට විය යුතුය. දණගැස්විය යුතුය. එය ලෙහෙසිය, පහසුය කියලා සිතිය යුතු නැති වග මහින්ද කාටත් වඩා හොඳින් දන්නේය.

“මහින්දට ආයෙත් පාරක් ඉල්ලන්න පුළුවන්”ය කියන කතාවට ඒ හැටි ප්‍රතිචාර නොදැක්වූ මහින්ද “ඒක එහෙම තිබිච්චාවේ. ඊට වඩා වැඩේ තමයි පළාත් සභා ඡන්දෙ ගන්න එක”ය කියලා වැඩට බැසිය යුතු වග කියන්නේය.

පළාත් සභාව පවත්වන තැනට ආණ්ඩුව පත්වුණේ නැති නම් එහි අපවාදයද ආණ්ඩුවටය. පැවැත් වුවහොත් එය ජය ගන්නා බව දන්නා මහින්ද ඒ බව පෙන්වන්නට හැකි හැම දෙයක්ම කරන්න සූදානමින්ය. ඒ බව වටහාගෙන මහින්දගේ සැලසුමට අනුව න්‍යාය පත්‍රය අනුව සියල්ලෝම පෙළ ගැසෙන, වැඩ කරන තරමට අනුව ප්‍රතිඵලය හොඳ වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress