එහෙ ජිනීවා උගුල්… මෙහේ පාවාදීමේ පනත්… රණවිරු දඩයමේ නවතම තත්වයයි මේ
Posted on September 2nd, 2018

රියර් අද්මිරාල් සරත් වීරසේකර උපුටා ගැන්ම Lanka Lead News

ලංකාවේ මානව හිමිකම් කොමිසමක් පිහිටුවා ඇත. එහි ප‍්‍රධාන වගකීමක් වනුයේ අපේ රටේ මනුෂ්‍යයන්ගේ අයිතීන් උල්ලංඝනය වූවාද, වනවාද කියා සොයා බලා අවශ්‍ය පියවරයන් ගැනීමය. ‘‘ලංකාවේ’’ රණවිරුවෝ යැයි මෙහිදී සඳහන් කරන්නේ අනෙක් රටවලද ‘‘රණවිරුවන්’’ කියා කොටසක් සිටින බැවිනි. ‘‘රණවිරුවා’’ යනු රණබිමේ වීරවරයාය හෙවත් යුද පිටියේ සටන් කරන වීර සෙබළාය. ඔහුට ද ගෙවනුයේ රජයේ සේවකයන්ට ගෙවන වේතනය වුවද ඔහුගේ රාජකාරිය රජයේ සේවකයනට වඩා හාත්පසින් වෙනස්ය. රජයේ සේවකයා හෝ පුද්ගලික අංශයේ සේවකයා හෝ උදෑසන සේවයට ගොස් හැන්දෑවට නිවසට පැමිණෙයි. හමුදාවේ සෙබළා යුද්ධයට ගියවිට නැවත නිවසට සුවසේ ඒම ගැන කිසිදු විශ්වාසයක් තබාගත නොහැක. එක්කෝ ඔහු මිය යා හැකිය. නැතහොත් සටනේදී අතුරුදන් විය හැකිය. එසේත් නැතහොත් සදාකාලික ආබාධිතයෙක් විය හැක. එසේම ඔහු සතුරාගේ ග‍්‍රහණයට හසු වුවහොත් ඔහුට අත්වන ඉරණම ශිෂ්ට ලෝකයේ කාහට වුවද සිතාගත නොහැක. සෙබළා යුද්ධ කරන්නේ රටේ සෙසු ජනතාවගේ මානව හිමිකම්, එනම් ඔවුනට බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය, ලබාදෙනු පිණිසය. ඔහු එසේ කරන්නේ තමාගේ ජීවිතය, අත් පා අහිමිකර ගනිමින්ය. එය ඇත්ත වශයෙන්ම අගය කළ යුත්තකි. රටේ ජනතාව එය අගය කරන්නේ එම සෙබළා ‘‘රණවිරුවා’’ හෙවත් යුද පිටියේ වීරයා යන ගෞරව නාමය පුද කරමිනි. මා මෙසේ මෙම ලිපිය ආරම්භ කරනුයේ ‘‘අපේ රටේ රණවිරුවෝ කියා කොටසක් නැත ඉන්නේ පඩියට වැඩ කරන තවත් එක්තරා රජයේ සේවකයන් පිරිසක්’’ යැයි කියන පුද්ගලයන් ද අද සමාජයේ අප අතර සිටින බැවිනි. එවන් පුද්ගලයන් සිටින සමාජයකින් රණවිරුවාට සාධාරණයක් ඉටුවේද? ඔවුන් ද ඇතුළු සමස්ත ජනතාවගේ මානව හිමිකම් ආරක්‍ෂා කළ රණවිරුවාගේ මානව හිමිකම් අද වන විට ආරක්‍ෂා වී තිබේද? එසේ නොවන්නේ නම් එයට වගකිව යුත්තේ කවුද?

විදෙස් රටවලත් රණවිරුවෝ සිටී යැයි මා පැවසුවේ ඒ රටවල නායකයෝ සහ ඒ රටවල ජනතාව තමන්ගේ රණවිරුවන්ව ආරක්‍ෂා කරන සැටි පෙන්වීමටය. ‘‘තෙරේසා මේ’’ යනු මහා බි‍්‍රතාන්‍යයේ අගමැතිවරියයි. ඇය පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයකදී කියා සිටියේ ත‍්‍රස්තවාදීන් සමග සටන් කරන තම හමුදා භටයන් ආරක්‍ෂා කිරීමට තමා එංගලන්තයේ මානව හිමිකම් නීති වෙනස් කිරීමට වුවද පසුබට නොවන බවය. ඒ ත‍්‍රස්තවාදීන් යනු කවුරුන් දැයි තමා සහ ලෝකයා හොඳින් දන්නා බැවිනි.

ඇමෙරිකාවේ රණවිරුවන් ආරක්‍ෂා කිරීමේ පනතක් සකසා අනුමත කොට තිබේ. එය හඳුන්වන්නේ ‘‘හේග් ආක‍්‍රමණ පනත’’ යන අනුවර්ත නාමයෙනි. එම පනත ඉදිරිපත් කර ඇත්තේ විදේශීය අධිකරණ මගින් ඇමරිකන් හමුදා භටයන්ට එරෙහිව කෙරෙන නඩු විභාග වළක්වාලීමටය. තමාගේ රටේ හමුදාවන් පිටරටවලට පාවා නොදීමටය. කවර හේතුවක් මත හෝ එවන් අන්තර් ජාතික අධිකරණයක් මගින් ඇමරිකන් සෙබළෙක්ව අත්අඩංගුවට ගතහොත් ‘‘බලය’’ යොදා එම සෙබළාව නිදහස් කර ගැනීමට ඔවුන්ට අයිතිය තිබේ. අන්තර් ජාතික අධිකරණ, සිරගෙවල්, බොහෝ තිබෙනුයේ නෝර්වේ රටේ ‘‘හේග්’’ නුවරය. මෙම පනත ‘‘හේග් ආක‍්‍රමණ’’ පනත යනුවෙන් හඳුන්වන්නේ එබැවිනි. ඇමරිකන් රණවිරුවෙක් වෙනුවෙන් ‘‘හේග්’’ නුවර ආක‍්‍රමණය කිරීමට වුවද ඇමරිකාව සූදානම් බැවිනි.

වෙනත් රටවල රණවිරුවන් එසේ ආරක්‍ෂා වෙද්දී අපේ රටේ පාලකයෝ අපේ රණවිරුවාව විදේශීය රටවල අධිකරණයන්ට සහ අන්තර් ජාතික අධිකරණයන්ට පාවා දී ඇති අයුරු අප මීට ප‍්‍රථම පෙන්වා දී ඇත්තෙමු. ඒ ‘‘අතුරුදන් කාර්යාල පනත’’, ‘‘බලාත්කාරයෙන් අතුරුදන් කරවීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත’’ සහ ‘‘අපරාධ පිළිබඳ අන්‍යොන්‍ය සහයෝගිතා පනත’’ මගිනි. සංහිඳියා යාන්ත‍්‍රණය උදෙසා පත්කර ඇති උපදේශන කාර්ය සාධන මණ්ඩලයේ සිටින අපේම රටේ පුද්ගලයෝ ඔවුන්ගේ නිර්දේශ හරහා රණවිරුවාව නින්දිත අයුරින් පාවාදී ඇති අන්දමද අප මීට පෙර මෙම පුවත්පත මගින්ම පෙන්වා දී ඇත්තෙමු. අද අප පෙන්වා දීමට යන්නේ ලංකාවේ මානව හිමිකම් කොමිසම මගින් අපේ රණවිරුවන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සැකෙවින් විස්තර කිරීමටය.

ලංකාවේ හමුදා, පොලිස් පුද්ගලයන් හට විදේශීය සාම සාධක හමුදා සේවයට යෑමට අවස්ථාව තිබේ. එම අවස්ථාව ලද පුද්ගලයන් හට විදෙස් සේවා පිළිබඳ මහඟු අත්දැකීම් සම්භාරයක් ලැබෙන අතරම අමතර මුදලක් ද වේතනය ලෙස ලැබේ. ඔවුන් ගෙයක් දොරක් සාදා ගන්නේ, දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා යොදන්නේ බොහෝ විට එම මුදල්ය. නමුත් දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ ත‍්‍රස්තවාදී යුද්ධයට සම්බන්ධවුණු කිසිම සෙබළෙකුට, නිලධාරියකුට අපේ රටේ මානව හිමිකම් කොමිසම මගින් මේ වනතුරු එම අවස්ථාවට සහභාගි වීමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා නොමැත. කර්නල් වසන්ත හේවගේ ඇතුළු යුද හමුදා සෙබළු 101 දෙනෙක් මාර්තු මස 6 වන දින සිට විදෙස් සාම සාධක හමුදා සේවයට යෑමට බලා සිටින අතර පොලිස් නිලධාරීන් 14 දෙනකුට ද අද වන විට එම අවස්ථාව ගිලිහී යමින් පවතී. මෙහි තිබෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වය නම් අපේ රටට හිමි එම අවස්ථාව අපේ රටේ වගකිවයුත්තන්ගේ අකාර්යක්‍ෂමතාව සහ කුහකකම හේතුවෙන් අහිමිව යන්නේ නම් ඒ අවස්ථාව වහා ඩැහැගෙන එය තමාගේ රටේ හමුදා නිලධාරීන් ලබාදෙන්න විදේශීය රටවල් ඕනෑ තරම් නොඉවසිල්ලෙන් බලා සිටීමයි.

එක්සත් ජාතීන්ගේ සංගමයේ නීති රීති අනුව සාම සාධක හමුදා සඳහා පුද්ගලයන් අනුයුක්ත කරන විට සම්පූර්ණ කළ යුතු කොන්දේසි කිහිපයක් තිබේ. එනම් ඔවුන් කිසිම ජාත්‍යන්තර මානුෂීය නීති සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය නොකළ බවටත්, ඔවුන්ට පෙර එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වලදී විනය හේතූන් මත රටින් නෙරපා නොහැරිය බවටත් අදාළ රට සහතික කළ යුතු බවය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප‍්‍රකාශක නික් බිම්බැක්, 2018 අපේ‍්‍රල් මස 18 වැනි දින පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් ප‍්‍රශ්න තිබෙන බැවින් 2016 වර්ෂයේදී අදාළ නිර්දේශ නම් සෝදිසි කිරීම සඳහා ‘‘අමතර පියවරයන්ද’’ ගෙන ඇති බවයි. මෙතෙක් රජයේ ස්ථිර නියෝජිතයා සහ එක්සත් ජාතීන්ගේ සංගමය මගින් කරන ලද එම සෝදිසි කිරීම් (අදාළ පුද්ගලයන් පිළිබඳ නිෂ්කාශන වාර්තා) උක්ත බිම්බැක් ප‍්‍රකාශය අනුව ‘‘අමතර පියවරයන්’’ ගැනීම සඳහා ලංකා විදේශ අමාත්‍යාංශයට 2016 වසරේදී දන්වන ලදි. විදේශ අමාත්‍යාංශය මගින් එම කාර්යය ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැවරූ විට එහි වර්තමාන සභාපතිනිය වන දීපිකා උඩුගම කියා සිටියේ ඔවුන්ගේ මූලික ප‍්‍රඥප්තියට අනුව එවන් සෝදිසි කිරීම් ඔවුන්ගේ රාජකාරීන්ට අයත් නොවුණත් එය ඔවුන්ට පවරා ඇත්තේ 19 වන සංශෝධනයට අනුව ස්ථාපිත කරන ලද ඔවුන්ගේ එම මානව හිමිකම් කොමිසම ස්වාධීන වගකිව යුතු ආයතනයක් නිසාය යන්නෙනි.

එසේ නම් මේ සම්බන්ධව ලංකා මානව හිමිකම් කොමිසමට පැවරී ඇත්තේ සාම සාධක හමුදාවන්ට නම් කරන පුද්ගලයන් අපරාධ නොකළ බවටත් ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කර නොමැති බවටත් සෝදිසි කොට සහතික කිරීමය. එසේ නම් කරන ලද පුද්ගලයන් ද ඒ බවට සහතික විය යුතුය. ඉහත සඳහන් කරන ලද පුවත්පත් සාකච්ඡාවේදී බිම්බැක් මහතා ප‍්‍රකාශ කර සිටියේ එය කරන අයුරු එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම්ගේ ප‍්‍රතිපත්ති කොමිටිය මගින් 2012/18 වන තීරණයේ සඳහන් කර ඇති බවය.

එම තීරණයේ ප‍්‍රකාශිතව ඇත්තේ මෙසේය. ‘‘මෙම ප‍්‍රතිපත්තිය මහලේකම්ගේ ප‍්‍රතිපත්ති කොමිටිය විසින් 2012 වසරේ දෙසැම්බර් මස 12 වන දින ගන්නා ලදි. එනම් (අ) එක් එක් රජයන් විසින් තමන් නම් කරන පුද්ගලයන් අපරාධ කර නොමැති බවටත්, ජාත්‍යන්තර මානුෂීය මානව හිමිකම් නීති කඩනොකළ බවටත් සහතිකවීම (ආ) එසේ නම් කරන ලද පුද්ගලයන්ද තමන් එවන් වැරැදි නොකළ බවට සහතිකවීම (ඇ) එවන් සෝදිසි කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයක්ද අදාළ පුද්ගලයන්ගේ පෙර මානව හිමිකම් කාර්ය භාරයන් සම්බන්ධ විස්තර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කිරීම යනුවෙනි.

ලංකාවේ මානව හිමිකම් කොමිසමේ රාජකාරීන්, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියටත්, ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියටත් සීමා වී තිබේ. එසේම මෙවන් ‘‘සාමසාධක සෝදිසි කිරීම්’’ තමන්ගේ රාජකාරීන්ට අයත් නොවන බවටද එහි සභාපතිනිය ප‍්‍රකාශ කොට ඇත. එසේ නම් දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ අදාළ ජාත්‍යන්තර මානුෂීය/මානව හිමිකම් නීති උල්ලංඝනය කර නැති බවට පරීක්‍ෂා කිරීම සඳහා ලංකා මානව හිමිකම් කොමිසමට ඒ අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සහ අත්දැකීම් තිබෙනවාද නැද්ද යන්නයි. එසේ නොමැතිනම් ඔවුන්ගේ ඒ සම්බන්ධ වාර්තා කොතෙක් දුරට විශ්වාස කළ හැකිද යන්නයි.

අපේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂඥ කොමිටියද, ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයාද පිළිගෙන තිබේ. එබැවින් මෙහිදී බලපානුයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පමණි. මානව හිමිකම්වලට අදාළ වනුයේ ජාත්‍යන්තර සිවිල්/දේශපාලන ප‍්‍රඥප්තියට අනුව ජීවත් වීමේ අයිතිය වධ හිංසා වැළැක්වීම සහ වහල් සේවයට අදාළ නීති පමණි. එසේ නම් මෙතැනදී අප සැලකිය යුත්තේ අපේ රටේ පැවැති සන්නද්ධ අරගලයේදී ජාත්‍යන්තර මානුෂීය නීතීන් උල්ලංඝනය කළා ද යන්න පරීක්‍ෂා කිරීමට ලංකාවේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය විශේෂඥ දැනුම තිබේද යන්නයි.

නමුත් ලංකාවේ මානව හිමිකම් කොමිසමට පමණක් නොව ලංකාවේ අධිකරණයට පවා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්‍ෂා කිරීමට අවශ්‍ය දැනුම නොමැති බවට ජිනීවා මානව හිමිකම් 3011 යෝජනාව මගින්ද, මනෝරි මුත්තෙට්ටුවේගම, කේ. ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ වැන්නන් සාමාජිකත්වය දැරූ සංහිඳියා යාන්ත‍්‍රණය උදෙසා වූ උපදේශන මණ්ඩලය විසින් ද පෙන්වා දී තිබේ. එසේ පෙන්වා දී ඇත්තේ අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි වුවද විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුම් අධිකරණයක් අප රටේ ස්ථාපිත කළ යුතු යැයි යන නිර්දේශයෙනි. විදේශීය විනිසුරුවන් ගෙන්වන්නේ ලංකාවේ විනිසුරුවන්ට ඒ අවශ්‍ය දැනුම නැති බව ඔවුන් පිළිගන්නා බැවිනි. මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් උල්ලංඝනය ගැන පමණක් කි‍්‍රයාකිරීම සඳහා පත්කර ඇති කාර්ය මණ්ඩලයකට හදිසියේම ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කළා ද නැද්ද යන්න පරීක්‍ෂා කිරීමට අවශ්‍ය ඥානය ලැබෙන්නේ කෙසේද? එවන් ඥානයක් නොමැති පුද්ගලයන් විසින් කරන්නාවූ සෝදිසි කිරීම් කොතෙක් දුරට විශ්වාස කළ හැකිද?

යුද හමුදාව, පොලිසිය මගින් සාම සාධක හමුදාවන් සඳහා නම් කර ඇති පුද්ගලයන් එක් එක් වශයෙන් ගෙන ඔවුන් කිනම් දිනයක කිනම් අවස්ථාවක කිනම් ආකාරයේ මානුෂීය නීතියක් උල්ලංඝනය කර ඇත්දැයි පැහැදිලිව සඳහන් කළ යුතුය. එසේ පරීක්‍ෂා කිරීමට ඔවුනට පැහැදිලි විශේෂඥ දැනුමක් නොමැති නම් එම ‘‘සෝදිසි’’ කිරීම් හිතුමතේට කරන්නක් වන අතර එයින් එම අදාළ පුද්ගලයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බැව් කිවයුතුය. මෙහි හාස්‍යජනක පැත්ත වනුයේ එසේ මානව හිමිකම් කඩකරන්නේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට පත්කර ඇති මානව හිමිකම් කොමිසම මගින්ම වීමය. මාර්තු මාසයේ 6 වැනි දින සිට අද දක්වා එම සෝදිසි වාර්තා ලබාදීමට අසමත් වීම තුළින්ම ඔවුන් අදාළ හමුදා/පොලිස් නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර තිබේ.

තමන්ට ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළා ද නැද්ද යන්න ගැන අවබෝධයක් නොමැතිවිට මානව හිමිකම් කොමිසමට කළ හැක්කේ යුද්ධයට කිසිසේත්ම සම්බන්ධ නොවූවන් පමණක් සාම සාධක හමුදාවන් සඳහා අනුමත කිරීමය. එසේ වුවහොත් තම ජීවිතය කැප කොට යුද්ධ කළ රණවිරුවන්ට එයින් වන අසාධාරණය කොපමණද? ඊට අමතරව ඔවුන් යුද අපරාධකරුවන් යැයි ලෝකයා ඉදිරියේ හංවඩු නොගැසෙන්නේද? ආචාර්ය දීපිකා උඩුගම සභාපතිත්වය දරන මානව හිමිකම් කොමිසම එක්කෝ තමන්ට අවශ්‍ය දැනුම නැති බව ප‍්‍රකාශ කළ යුතුය. නැත්නම් වහාම නිෂ්කාශන වාර්තා භාරදිය යුතුය. ප‍්‍රමාද වන්නේ නම් ඒ සඳහා ද ඉදිරිපත් වීමට සූදානම්ව සිටිය යුතුය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress