සජිත් ගේමක් ගහයි ද?
Posted on September 6th, 2018

මේඝනාද උපුටාගැණීම  මව්බිම

ඩඩ්ලි සේනානායක මිය යන විට ප්‍රේමදාස හිටියේ ඉන්දියාවේ ය. සිද්ධිය දැනගත් වහාම ඔහු සිය බිරිය සමඟ පෙරළා ලංකාවට ආවේ ය. ලංකාවට ආ ප්‍රේමදාස සේනානායකලාගේ ‘වුඩ්ලන්ඩ්ස්’ වලව්වට පා තැබුවේ දැඩි චකිතයකිනි. එහිදී ඩඩ්ලිගේ බාල සහෝදරයා රොබට් නොහිටින්න ලොකු ප්‍රශ්නයක් ඇති වන්නට ඉඩ තිබුණේ ය. ප්‍රේමදාසයි ඩඩ්ලියි හිටියේ හොඳ හිතකින් නොවේ ය. 1973 අප්‍රේල් 13 වැනිදා සිදු වූ ඩඩ්ලිගේ මරණයට සති දෙකකට පමණ පෙර සිට ප්‍රේමදාස සහ ඩඩ්ලි අතර පත්තර රණ්ඩුවක් හට ගත්තේ ය. එජාප කෘත්‍යාධිකාරියට ගහලා ප්‍රේමදාස යැවූ ලිපිය 1973 අප්‍රේල් 1 වැනිදා “සිලෝන් ඩේලි නිව්ස්” පුවත්පතේ පළ වීමෙන් පසු ඩඩ්ලිට ප්‍රේමදාසත් එක්ක නහුතෙට නැග්ගේ ය. ප්‍රේමදාසට එරෙහිව විනය පියවර ගන්නා බව ඇඟැවූ ඩඩ්ලිගේ චෝදනාත්මක පිළිතුරු ලිපියක් 1973 අප්‍රේල් 7 වැනිදා “සිලෝන් ඩේලි නිව්ස්” පුවත්පතෙහිම පළ විය. ඩඩ්ලිගේ ලිපියේ තිබූ “පංගාඩම් පත්තර” චෝදනාවට ප්‍රේමදාසට හොඳටම නැග්ගේ ය. අප්‍රේල් 9 වැනිදා ප්‍රේමදාස ඒ පත්තරෙන්ම ඩඩ්ලිට සැර උත්තරයක් දුන්නේ ය.

“පක්ෂයේ අභ්‍යන්තර සංවාදයක් ප්‍රවෘත්ති පත්‍ර ඔස්සේ කිරීමේ අවශ්‍යතාව ඇතැම් විට ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඔබටත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පහදා දිය හැකි වනු ඇත. පක්ෂයේ සම ලේකම් වන ඔහු, මෑතකදී මේ හා සමාන අත්දැකීමක් ලබා ඇත. ජනමාධ්‍ය ඔස්සේ අති විශාල සාමාජික සංඛ්‍යාවකට කරුණු දැනගන්නට සැලැස්වීම ස්වල්ප දෙනකුගේ ඒකාධිකාරයක් නොවිය යුතු බවට ඔබ එකඟ වනු ඇත. “පංගාඩම් පත්තර” යනුවෙන් ඔබ හඳුන්වන දේ සම්බන්ධයෙන් කෘතහස්ත දේශපාලනඥයන් විසින් ඇති කරන ලද මුල් බැසගත් සම්ප්‍රදායන් අනුගමනය කිරීම පමණි, මා කරන්නේ. අප අතර සිටින එම කලාවේ නිපුණයන් මා කළ දේ ම කළ විට ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීමට ඔබ සැලකිල්ලක් දැක්වූයේ නැත”

ප්‍රේමදාස-ඩඩ්ලි අවුල පටන් ගත්තේ පක්ෂයේ සම ලේකම් වූ ජේ.ආර්.සහ ඩඩ්ලි අතර අවුල විසඳෙන්න ඔන්න මෙන්න කියලා තියා ය. ඒ 1972 මැයි 15 වැනිදා ය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ප්‍රේමදාස ඉල්ලා අස්වුණේ එදා ය. 1972 වකවානුව වන විට ඩඩ්ලිගේ ක්‍රියා කලාපය ගැන පක්ෂයෙ තරුණ පෙරමුණ හිටියේ කලකිරිලා ය. ජේ.ආර්.-ඩඩ්ලි අවුලෙන් පක්ෂය තිබුණේ කැඩෙන්න ඔන්න මෙන්න ය. එජාප කෘත්‍යාධිකාරියට ටටා බායි කියා, කොළඹ පුරවැසි සංවිධානයට එකතු වූ ප්‍රේමදාස තරුණයා වෙනම වැඩපිළිවෙළක් කරගෙන ගියේ ය.

ඩඩ්ලිගෙ මරණයෙන් පසු පක්ෂ නායකත්වය අතට ගත් ජේ.ආර්. එජාපය වෙනස් කරන සටන පටන් ගත්තේ ය. ජේ.ආර්. ඉස්සෙල්ලාම කළේ ප්‍රේමදාස යළි කැඳවන එකය. කොළඹ පුරවැසි සංවිධානය විසුරුවා තමාට එක්වන ලෙසත්, පක්ෂයේ ප්‍රතිරූපය ගොඩනැංවීමට, පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කිරීමට උදවු කරන ලෙසත් ජේ.ආර්. ප්‍රේමදාසට කිව්වේ ය.

‘ජේ.ආර්. සමඟ තමාගේ ඉරණම අෑ¼දාගත් ආර්. ප්‍රේමදාස ස්වකීය දේශපාලන ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කෙළේය. ජේ.ආර්. ගොඩ නැංවීමට බලාපොරොත්තු වූ නව එ.ජා. පක්ෂය තුළ නායකත්ව කාර්ය භාරයක් සඳහා හිමිකම් පෑමට හැකි වන අයුරින් කටයුතු කිරීමට එය හොඳ අවස්ථාවක් විය. සර් ජෝන් කොතලාවල වැන්නකු යටතේ ඔහුට මේ වැනි අවස්ථාවක් කිසිදා ලැබිය හැකිව නොතිබිණ. දෙවැනි තලයේ නායකත්වයට වුව කොළඹ ප්‍රභූ පෙළැන්තියෙන් ඔබ්බට අවධානය යොමු කිරීමට සර් ජෝන් නැඹුරු නොවූ බැවිනි.

ඩඩ්ලි සේනානායක යටතේ වුව මෙතරම් බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් උදා නොවන්නට ඉඩ තිබිණි. ඩඩ්ලි සේනානායක, සර් ජෝන් තරම්ම කුලය, තරාතිරම සහ ගොයිගම ප්‍රභූ පෙළැන්තියේ ප්‍රමුඛත්වය ගැන තැකුවේ නැතත්, ජේ.ආර්. මෙන් නොව, ඔහුද අඩු වත්කම් ඇති, ප්‍රධාන කුල කණ්ඩායම්වලින් අන්‍ය වූ පුද්ගලයන්ට පක්ෂයේ නායකත්වය මට්ටමේ ප්‍රධාන ස්ථාන පැවැරීමට කැමැති නොවීය. එක්සත් ජාතික පක්ෂය නායකත්ව මට්ටමේදී ගොයිගම පක්ෂයක්ව තිබුණු නමුදු ජේ.ආර්. යටතේ එම තත්ත්වයේ පැහැදිලි වෙනසක් ඇති විය. මින් ඉදිරි පරිච්ඡේදවලින් අපට දැකගත හැකි වන පරිදි මේ ප්‍රබුද්ධ ප්‍රතිපත්තිය, ශ්‍රී ලංකා දේශපාලනයේ පරිවර්තනයක් ඇති කිරීමට ජේ.ආර්. ගෙන් ලැබුණු සුවිශේෂ දායකත්වයක් විය. දිවයිනේ කුල ව්‍යුහය වඩාත් හොඳින් නියෝජනය වන අයුරින් පක්ෂය හැඩ ගැස්වීමෙන්, ඡන්ද දායකයන් අතර පක්ෂය ඇද වැටී තිබුණු තත්ත්වයෙන් එය ගොඩ ගැනීමට පමණක් නොව, නවසිය හැත්තෑ ගණන්වල මැද භාගයේ සිට දශකයක් පමණ කාලයක්, ජාතික දේශපාලනයේ ප්‍රබල බලවේගය බවට පත් කිරීමටද ඔහු සමත් විය.’

(ජේ.ආර්. චරිතාපදානය – වෙළුම 2)
අන්තිමට ජේ.ආර්. ප්‍රේමදාසගේ හිසට කිරුළ පැලැන්දුවේ ය. කොළඹ එජාපය ගමට ගෙන ගිය ජේ.ආර්. පොළොවේ පය ගහලා හිටපු ගමේ මිනිහට පයින් ගැහුවේ නැත. ජේ.ආර්. එදා කෙසෙල්වත්තේ තරුණයාගේ කකුලෙන් ඇද්දා නම් එජාපයෙන් ජනපති ප්‍රේමදාස කෙනෙක් බිහි වෙන්නේ නැත.

එදා යූඑන්පී නායකයා ජේ.ආර්. ය, උප නායකයා ප්‍රේමදාස ය. අද යූඑන්පී නායකයා ජේ.ආර්.ගේ බෑනා රනිල් ය, උප නායකයා ප්‍රේමදාසගේ පුතා සජිත් ය. ජේ.ආර්. යූඑන්පී නායකයා වුණේ ප්‍රේමදාසගේ වාසනාවටය. හැබැයි ජේ.ආර්.ගේ බෑනා රනිල් යූඑන්පී නායකයා වුණේ ප්‍රේමදාසගේ පුතා සජිත්ගේ අවාසනාවට ය. ඩඩ්ලිලාගේ කොළඹ සන්නිය ජේ.ආර්.ට තිබුණේ නැත. ඒත් බෑනා රනිල්ට නම් කොළඹ සන්නිය ඉහටම ගහලා ය. ජේ.ආර්.ගෙන් ප්‍රේමදාසට චාන්ස් එක ලැබුණට රනිල්ගෙන් සජිත්ට මේ කපේදී චාන්ස් එකක් ලැබේද කියා කියන්නට දනනේ නැත. ‘රනිල් ඇන්ඩ් ද කොළම්බු රෝයල් ක්ලෑන්ස්’ එතැනට වැඩ කරන්නේ නැත. රනිල්ගෙන් කැපි කැපී හිටිය සජිත් කට අරිද්දී බිංකුණ්ඩෙක් වගේ හැංගුණ රනිල් ආයෙත් සජිත්ගේ කරට අත දාගෙන උප නායකකම දුන්නේ ආදරේකට නොවේ ය. රනිල් සජිත්ව තියන් ඉන්නේ ජාමේ බේරගන්නට ය. ගම බේරගන්නට ය. සජිත් නොහිටින්න රනිල්ගේ ක්ලෑන්ස් එකට ගමට අඩියවත් තියන්න ලැබෙන්නේ නැත.

ඩඩ්ලිලා කොළඹ පෙළැන්තියක් වට කරගෙන යූඑන්පිය අල්ලේ නටවද්දී කොන්ද කෙළින් තියාගෙන එළියට බැහැලා ගේම ඉල්ලන්න තරම් ප්‍රේමදාසට හොඳ හයිය පිට කොන්දක් තිබුණේ ය. ඒ හයිය දැකපු ජේ.ආර්. කළේ වහාම ප්‍රේමදාස ළං කරගෙන පක්ෂයට අනාගතයක් හදා දීම ය. ප්‍රේමදාස එදා අඩි පොළොවේ හප්පද්දී පක්ෂය බදාගෙන හිටපු කොළඹ ප්‍රභූ පෙළැන්තිය හෙල්ලුම් කෑවේ ය. ප්‍රේමදාස කරපු දේ සජිත් නොකරන්නේ මන්දැයි අද යූඑන්පීකාරයෝ කට ඇරගෙන බලා සිටිති. යූඑන්පීකාරයන්ට අද නායකයෙක් ඕනෑ ය. පොල්පිති නායකයන්ගෙන් ඔවුන්ට වැඩක් නැත. පොළොවේ පය ගහලා ඉන්න, ගමේ පය ගහලා ඉන්න සජිත් ප්‍රේමදාසට ආර්. ප්‍රේමදාසගේ හයිය එන්නේ කවදාදැයි යූඑන්පීකාරයෝ බලා සිටිති. සජිත් හරියට ගේමට බැස්සොත් රනිල්ට දුවන්න පැත්තක් හිතා ගන්න බැරි වෙන්නේ ය. රනිල්වාදියකු නොවී ප්‍රේමදාසවාදියකු වෙන හැටි සජිත්ට අමුතුවෙන් කියා දෙන්නට වුවමනා නැත. ඒක එහෙම නොවුණොත් රට්ටු සජිත්ට නොට්ටිගේ පුතා කියා කියන්නට බැරි නැත.

මේඝනාද

One Response to “සජිත් ගේමක් ගහයි ද?”

  1. Christie Says:

    UNP was never a caste based party. People have forgotten Ministers like Keerthiratna.

    Dudley looked after village people. I know this personally because I knew of a boy from Dedigama who attended Ceylon Technical College staying at Woodlands in early sixties.

    Kotalawala or Senanayakes were not dependent on Indian Colonial Parasites.

    J R is a quarter Indian and Premadasa like Themis was dependent on the Indian colonial parasite merchants of the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress