ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විස්සත් එන්නේ එකම තැනකින්:
Posted on September 9th, 2018

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

ජනතා මුදල් සොරා කෑ පුද්ගලයන් අල්ලා පර සක්වල ගසන බවට වහසි බස් දොඩමින් බලයට පත් ආණ්ඩුව වසර තුනකින් පසුව හදිසියේම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ස්ථාපිත කොට දූෂණ, වංචා පිළිබඳ නඩු විභාග පැවැත්වීමට සූදානම් වේ. එම විශේෂ අධිකරණය පළමුවරට මේ මස 24 දින රැස්වීමට නියමිතය. බැලු බැල්මට මෙය ජනතා හිතවාදී, නීතියට අදාළ නෛතික ක්‍රියාමාර්ගයක් සේ පෙනී ගිය ද, මෙය ද ඡන්ද විමසීම් ඉලක්ක කොට සිදු කිරීමට යන තවත් එක් දේශපාලන පලිගැනීමක් බව පැහැදිලිය. එහි ඇති පලිගැනීමේ ස්වභාවය යටපත් කිරීම සඳහා මෙය විධිමත් නෛතික ක්‍රියාමාර්ගයක් සේ පෙන්වීමට උත්සාහ කළ ද ඇත්ත වශයෙන්ම මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීම ද මෙම ආණ්ඩුව පත්වූ දා සිට අනුගමනය කරන නීති විරෝධී ක්‍රියාදාමයේ තවත් පියවරක් පමණකි.

චෝදනාවක් විභාග කිරීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ පොලිස් ස්ථානයක් වෙත කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පහළ උසාවියකින් කරනු ලබන මූලික විභාගයක් පැවැත්වීමය. ඉහළ උසාවියකට අදාළ පරීක‍ෂණය යොමු කෙරෙන්නේ ඉන් පසුවය. එය අපගේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති අතර මෙම ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් නියමයන්ට අනුව සකස් කොට ඇත්තේ චූදිතයන්ගේ මූලික අයිතීන් ආරක‍ෂා වන පරිද්දෙනි.

කෙසේ වෙතත් චෝදනාවේ බරපතළකම අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාගයක් පැවැත්වීමට නෛතික ප්‍රතිපාදන අපගේ පවත්නා නීතියේ තිබේ. ඒ සඳහා විශේෂ මහාධිකරණ පත් කිරීමේ අවශ්‍යතාවක් නැත. පවත්නා නීතිය යටතේ එලෙස ති්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වූ නඩු ලෙස ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, රීටා ජෝන් නඩුව සඳහන් කළ හැකිය. අවසන් වතාවට මෑතක දී පැවැති එවන් නඩු විභාගයක් වන්නේ භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවයි.

මෙහිදී සිදුවන්නේ අදාළ නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුගෙන් ඉල්ලා සිටීමෙන් පසු අගවිනිසුරු විසින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමය. එලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නඩු විභාගයකින් පසු දෙන තීන්දුවට එරෙහිව හිමි වන්නේ එක් අභියාචනා අවස්ථාවක් වන අතර එය විභාග කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

සුවිශේෂී හෝ ඉක්මණින් විභාග කොට අවසන් කළ යුතු නඩු විභාග සම්බන්ධයෙන් අපගේ නීතියේ එවන් ප්‍රතිපාදන තිබිය දී විශේෂ මහාධිකරණ පිහිටුවීමට ආණ්ඩුව තීරණය කරන්නේ දේශපාලන පලිගැනීමේ හා වාසි ලබා ගැනීමේ අරමුණෙන් බව පැහැදිලිය.
මේ විශේෂ මහාධිකරණ මඟින් නඩු විසඳීමට යන්නේ මේ පිළිගත් නීත්‍යානුකූල ක්‍රමයට නොව ඊට පිටින් නීත්‍යානුකූල නොවෙන ක්‍රමයකටය. මෙම විශේෂ මහාධිකරණ සඳහා නඩු යොමු කෙරෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නම් නීති විරෝධී පොලිස් ඒකකය විසින් සිදු වු කළ පරීක‍ෂණ පදනම් කර ගෙනය.

මෙම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නීති්‍යානුකූල නොවෙන ආයතනයක් බව මම මීට පෙරද ස`දහන් කොට ඇත්තෙමි.
පොලිස්පතිවරයා එය පිහිටුවා ඇත්තේ පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය යටතේය. පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය යනු පොලිස් නිවාස ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඇති වගන්තියයි. නීතිපතිවරයා විශේෂ මහාධිකරණ හමුවේ චූදිතයන්ට අධි චෝදනා ගොනු කරන්නේ මෙම නීති විරෝධී පොලිස් ඒකකයේ පරීක‍ෂණ මත පදනම්වය. මෙම විශේෂ මහාධිකරණවල විභාග කළ යුතු නඩු මොනවා දැයි යන්න තීරණය කරන්නේ ද දේශපාලන වාසි ලබා ගත හැකි අනුපිළිවෙළට බව පෙනේ.

එහෙත් අගවිනිසුරුවරයා අනුමත කොට ඇත්තේ විශේෂ මහාධිකරණයෙන් විභාග කිරීමට අපේක‍ෂා කරන නඩු කිහිපයක් යොමු කළ විට අගවිනිසුරු විසින් ඉන් විභාග කළ යුතු නඩුව තීරණය කිරීමේ ක්‍රමයකි. නමුත් එලෙස නඩු කිහිපයක් යොමු කිරීමක් සිදුව නොමැති අතර ඔවුන් විසින් තෝරාගත් නඩුවක් විභාග කිරීමට දින නියම කොට තිබේ.

මේ සියල්ල සිදුවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සූක‍ෂම වැඩපිළිවෙළකට අනුවය. ඔහු මුලින්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇති කළේය. එයට පැමිණිලි ඉදිරිපත් කරන්නේ ඔහුගේ අනුග්‍රහය යටතේ ඇති කමිටුවකිනි. නමුත් ඒ කමිටුව කිසිදිනෙක රැස්වී නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෙතෙක් එෆ්සීඅයිඩී යට පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාවට බවය. එකී පැමිණිලි සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී විමර්ශනයක් සිදු කිරීමෙන් පසු එකී විමර්ශන වාර්තා නීතිපතිවරයාට යොමු කෙරේ. නීතිපතිවරයා ඒවා විශේෂ මහාධිකරණයට යොමු කරනු ලබයි. අගමැතිවරයාගේ නීති්‍යානුකූල නොවන සූක‍ෂම වැඩපිළිවෙළ සිදුවන්නේ මේ අන්දමටය. මේ කරුණු අනුව පෙනී යන්නේ මේ විශේෂ මහාධිකරණ අහම්බයක්, හදිසියේ ඇති කෙරුණු එකක්වත් නොව ඔවුන්ගේ සැලසුමේම කොටසක් බවය. ඒ සැලසුම පටන් ගත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස පිහිටුවමිනි.

මේ ආකාරයට නීතියේ ආධිපත්‍ය කෙලෙසූ ආණ්ඩුවක් බි්‍රතාන්‍ය පාලනය යටතේවත් තිබී නැත. නමුත් මේ අය බලයට පත් වූයේ නීතියේ ආධිපත්‍ය ඇති කරන බවත්, ආරක‍ෂා කරන බවත් පවසමිනි. ඇත්ත වශයෙන්ම, මේ ආණ්ඩුව පත් වෙන විට නීතියේ ආධිපත්‍යට හානියක් වී තිබුණේ නැත. බලයට පැමිණි දවසේ සිටම නීතියේ ආධිපත්‍ය විනාශ කරමින් සිටින්නේ මේ ආණ්ඩුව විසිනි.

නීතියේ ආධිපත්‍යයේ මූලික ගුණාංගයක් වන්නේ බලය ඛෙදීමය. එනම් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලතල ඛෙදීමය. ජනතා පරමාධිපත්‍ය පවතින්නේ ඒ මතය. පාලකයන් කරනු ලබන්නේ ජනතාව වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමය.

යහපාලන ආණ්ඩුව පත් වන විට අප රටේ මෙම පදනමට කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත. මහින්ද රාජපක‍ෂ මහතාගේ පාලනයේ මුල් වසර 05 තුළ මම මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කළෙමි. ඒ කාලයේ මවිසින් දුන් තීන්දු තීරණ සම්බන්ධයෙන් මට කිසිදු බලපෑමක් එල්ල වී නැත.

යහපාලන ආණ්ඩුව පත්වූ දා සිටම නීතියේ ආධිපත්‍ය කෙලෙසු ආකාරය මා මීට පෙර ද විස්තර කර ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වූ වහාම එවකට පාර්ලිමේන්තුවේ බහුතරය තිබූ අගමැතිවරයා ඉවත් කිරීමක් හෝ නොකර සුළුතරයක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළේය.

ඉන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය ලබා දුන්නේද ජනාධිපතිවරයා විසිනි. එය ජනාධිපතිවරයකු නොකළ යුතු කාර්යයකි.
මහින්ද රාජපක‍ෂ ආණ්ඩුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරනු ලැබුවේ ඒ සඳහා වූ පිළිගත් ක්‍රමවේදයට අනුවය. ඇය ඉවත් කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා දුන්නේය. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම විවේචනය කරන වත්මන් පාලකයන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත් කළේ කෙසේද?

තමන් අග විනිසුරු ධුරයෙන් ඉවත් කර ඇති බව මොහාන් පීරිස් මහතා පළමුවෙන් දැන ගත්තේ රූපවාහිනි ප්‍රවෘත්ති මඟිනි. ඔහු ඉවත් කිරීමට කිසිදු පරීක‍ෂණයක්, දෝෂාභියෝගයක් පැවතියේ නැත. ඔහුව ඉවත් කර ඇත්තේ ජනාධිපතිවරයා යැවූ ලිපියක් මඟිනි. මොහාන් පීරිස් මහතාගේ පත් කිරීම බලශ=න්‍ය (භමකක ්බා ඪදසා) යනුවෙන් එහි දක්වා තිබිණි. මෙම ලිපිය ද නීති විරෝධීය. බලශ=න්‍ය යන ප්‍රකාශය කළ හැක්කේ අධිකරණයට පමණි. එය අධිකරණ බලයකි.

වර්තමානයේ කටයුතු සිදු වන ආකාරය ගත් විට උසාවියේ ක්‍රියාකලාපය ගැනත් විශාල ප්‍රශ්නයක් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එරෙහිව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියනුත්, මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා ඇතත් තවමත් තීන්දුවක් ප්‍රකාශ කොට නැත.

එෆ්.සී.අයි.ඩී. එක සුපුරුදු විදියට තම කාර්යයන් කර ගෙන යමින් සිටී. පළාත් පාලන ඡන්දය වසර දෙකක් කල් දැමීමට එරෙහිව පැවරූ නඩුවල තීන්දු ද මෙතෙක් ලබා දී නැත. ජන බලය නිසා ආණ්ඩුවට පළාත් පාලන ඡන්දය තැබීමට සිදු වූ නමුත් නඩුවල තීන්දු දී නැත.
මේ වන විට ආණ්ඩුව පළාත් සභා ඡන්දය ද කල් දමමින් සිටී. ඒ සඳහා ක්‍රම පාදා ගත්තේ කෙසේ ද යන්න හැමදෙනාම දන්නා කාරණයකි. පළාත් සභා ඡන්දය කල් දැමීමට අවශ්‍ය නිසා සියලු පළාත් සභා ඡන්ද එක දිනයක පවත්වන්නට ආණAඩුව මුලින්ම යෝජනා කළේය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වුයේ එසේ කිරීමට ජනමත විචාරණයක් පැවැත් විය යුතු බවය. ඉන් පසු කාන්තා නියෝජනයට මුවා වී කාරක සභා අවස්ථාවේ පිටු 20ක පනතක් ගෙන ඒමට ආණ්ඩුව පියවර ගත්තේය. ජනමත විචාරණයකින් කර ගත යුතු ඡන්ද කල් දමා ගැනීම ඒ හරහා ඉටු කරගෙන තිබේ.

මේ නීති විරෝධී තත්ත්වයට එරෙහිව මම අධිකරණය හමුවට ගියෙමි. දින දෙකක් තර්ක කොට දින තුනක් පිටු 20ක ලිඛිත දේශන ඉදිරිපත් කළෙමි. අවසානයේ මාස 07කට පස්සේ පසුගිය ජුනි මාසයේ මගේ අයැදුම්පත ප්‍රතිෙක‍ෂ්ප කෙරුණේ කිසිදු හේතු දැක්වීමකින් තොරවය. නඩුව පවත්වා ගෙන යන්නට අවසර දීමට කිසිම පදනමක් දක්නට නැත යන්න අධිකරණයේ අදහස වී තිබුණි. ඒ බව කියන්නේ ද මාස 07කට පසුවය. අගවිනිසුරු මේ තීන්දුවට විරුද්ධව තීරණයක පසුවිය. ඛෙදුණු තීන්දුවක් වුවත්, දෙපැත්තෙන් එක පැත්තකින්වත් භේතු ඉදිරිපත් කොට නැත.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් සූදානම් වෙන්නේ යළිත් වරක් ජනාධිපතිවරණයට තරග කිරීමටය. ඔහු පළාත් සභා ඡන්දය කල් දැමීම සිදුවන්නේ ඒ සැලසුමට අනුවය. සම්පන්දන් මහතාව තවදුරටත් විපක‍ෂනායක ධුරයේ රඳවා ගැනීම අවශ්‍ය වන්නේ ද එනිසාය. ජනාධිපතිවරණයට අගමැති තෝරන්නට පුළුවන් වුවද විපක‍ෂනායක තේරීමට නොහැක. මෙතැනදීත් ජනාධිපතිවරයාගේ ගණිතය ගැන දෝෂය පැහැදිලි වේ. 70 සහ 16 අතරින් වැඩි අගය කුමක් ද යන්න තෝරා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැත. ඔහු 2015 දී අගමැතිවරයා පත් කළේ ද මේ අන්දමටය.

20 වැනි සංශෝධනයත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් කියන දෙකම එකම තැනකින් ආරම්භ වී ඇති බව පැහැදිලිය. සුළු වෙනස්කම් ඇතත් වගන්ති සංසන්දනය කළ විට ඒ බව පැහැදිලිවේ. නමුත් මේ අවස්ථාවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන බව ස්ථීරය. එවැන්නක් ගෙන එන බව කියන්නේ දෙමළ ජනතාව රැවටීමට පමණකි. කිසිදු ආණ්ඩුවක් තමන්ගේ පාලනයේ අවසන් භාගයේ ව්‍යවස්ථා ගෙනැවිත් නැත. එවැන්නක් සාර්ථක වන්නේ ද නැත.

සිරිමාවෝ මැතිනිය 1970දී ව්‍යවස්ථාව ගෙන ආවේ ද ෙජ්.ආර්. 1978දී ව්‍යවස්ථාව ගෙන ආවේ ද බලයට පැමිණි ගමන්ය. චන්ද්‍රිකා සිය පළමු පාලන සමයේ අවසන් භාගයේ ගෙන ආ නව ව්‍යවස්ථාව සාර්ථක වූයේ නැත. එක්සත් ජාතික පක‍ෂය පාර්ලිමේන්තුව තුළදීම එයට ගිනි තැබුවේය.

සියලු තත්ත්වයන් සලකා බැලුවිට පෙනී යන්නේ ජනාධිපතිවරයා ඉක්මන් ජනාධිපතිවරණයකට සූදානම් වන බවය. නමුත් ආණ්ඩුවට තරගයක් දෙන්නට සිටින රාජපක‍ෂ කඳවුර තවමත් එවැන්නකට සූදානම් බවක් පෙනෙන්නට නැත. එම කඳවුරේ ජනාධිපති අපේක‍ෂකයා විය හැකි යැයි කියන ගෝඨාභය රාජපක‍ෂ මහතා තවමත් ජනාධිපතිවරණයට තරග කිරීමට තමන්ගේ ඇති නුසුදුසුකම් ඉවත්කරගෙන නැත. ඒ තවමත් ඔහු අපේක‍ෂකයා ලෙස නම් කර නැති නිසා විය හැකිය. මහින්ද රාජපක‍ෂ මහතා කළ යුතු වන්නේ තමන්ගේ පිලේ අපේක‍ෂකයා නම් කර ඔහු ජනාධිපතිවරණයට සූදානම් කරවීමය. එය ප්‍රමාද වන තරමට වාසිය ආණ්ඩුව පැත්තට බැර වන බව අවසන් වශයෙන් කිව යුතුය.

 

One Response to “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විස්සත් එන්නේ එකම තැනකින්:”

  1. Ratanapala Says:

    I fully agree with the former CJ. The Joint Opposition headed by Mahinda Rajapakse should not waste more time to announce the candidate for the next President. This will help the nominee to begin his preparations well in advance. He should have sufficient time to build up his own team. Otherwise, the nominee will become the prisoner of the ‘politics as usual’ lot and will have to contend with doing politics alongside the corrupt and uneducated oldies.

    I also would like to find out from the learned CJ whether it is not possible to bring before justice all those involved in the unlawful or illegal political activities he mentioned above. For example what can be done for bringing in the illegal FCID into existance and for contravening parliamentary procedures in appointing Ranil as Prime Minister while there was an incumbent still in office?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress