කුරුන්දක විහාරයට එල්ල වූ ජාතිවාදී ප්‍රහාරය
Posted on September 13th, 2018

මතුගම සෙනෙවිරුවන් 

      ලංකාවේ පුරා විද්‍යා නීතිය බෙහෙවින්ම ප්‍රබලය. පුරාවිද්‍යා රක්ෂිතයක යම් ඉදි කිරීමක් වෙනස් කිරීමක් කළහොත්  අත්අඩංගුවට ගෙන ඇප නොමැතිව තබා ගැනීමටද එම නීති රීති ප්‍රමාණවත්ය.පුරාවිද්‍යා නීති රීති වලට යටත් වූ පැරණි සංඝාවාස තිබූ ස්ථානවල රැඳී උන් භික්ෂූන් වහන්සේලා වරක් දෙකක් නොව කීප වරක්ම මෙම නීතිය යටතේ අත් අඩංගුවට පත් කොට තිබේ.ඒ  සමහර විට පන්සල් භූමියේ වැසිකිලි වලක් හෑරූ වරදටය. නැතිනම් ගල්ලෙන් සංඝාවාසයක් කළ වරදටය.එහෙත් පුරා වස්තු ඩෝසර් කළ සෙල් ලිපි ග්‍රයින්ඩර කල කිසිවෙක් හට තවමත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නැත. පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය නම් වූ ගෙවල පොලිසියක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තුළ පිහිටවා තිබෙන නමුදු පුරා වස්තු විනාශ කරන්නන්ට එරෙහිව ඔවුන් ගේ නීතිය ඉදිරියට නො එයි. පළාත් බද ඇතැම් පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශ වල  නිලපටි ලද ඇත්තන් පුරා වස්තු විනාශ කරන්නන් ගෙන් යැපෙන්නන් බවට පත් වී  තිබේ.

      මෙවැනි ආයතනයකට දැන් බඩපුරා ජාතිවාදීන් ගෙන් සංග්‍රහ ලැබෙන්නට පටන් ගෙන ඇත.සිංහල ජනතාවට ක්‍රියාත්මක පුරා විද්‍යා නීතිය භික්ෂූන් වහන්සේලාට විරුද්ධ පුරා විද්‍යා නීතිය දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් අරභයා ක්‍රියාත්මක නොවන බව හොද හැටි පෙන්නුම් කෙරේ.මේ සම්බන්ධව තිබෙන අලුත්ම සිද්දිය නම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු පුරා විද්‍යා ස්ථානයක සීමා මායිම් සළකුණු කිරීමට ගිය අවස්ථාවේදී ඇතිවූ කලබගෑනියයි.මෙම කලබලයට මුල් ව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ටී .රවිහරන්ය.කරුඳු මලේ විහාරය නොහොත් කුරුන්දි විහාර පුරා විද්‍යා රක්ෂිතය සංරක්ෂණය උදෙසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ගත් උත්සාහය ආපිට හරවන්නට මේ ජාති වාදියා ට හැකිව තිබේ.දෙමළ ජාතික සන්ධානය දැන් සුලු සිදුවීමක් ඇත්නම් උද්ඝෝෂණ කරන තත්ත්වයට පත්ව ඇති අතර. සිංහලයන් ගේ උරුම භූමි කොල්ල කෑමේ පුරුද්ද ඔවුහු දිගින් දිගටම කර ගෙන යති. ඓතිහාසික පුරවිදයා ස්ථාන වලට පැමිනෙන නිළධාරීනට ද ඔවුහු අඩන්තෙට්ටම් කරති..උතුරු ප්‍ර දේශයේ සිංහලයන් පදිංචි කිරීම නැවැත්වීමට පළාත් සභාව හරහා නීතියක්ද සම්මත කර ගෙන තිබේ.

        ශ්‍රී ලංකා කඩයම් පොත දක්වන පරිදි රුහුණු මායා පිහිටි නම් තුන්සිංහලේ රට නමින් වූ ස්ථාන රාශියක් ඇත. පිහිටි රට යනු සිංහල ශිෂ්ඨාඡාරයේ හදබිමයි එය රජ රට යනුවෙන්ද ව්‍යවහාර වේ. පිහිටි රටේ පැවති කුරුඳු ගමු රට යනු කුරුන්දි රට්ඨ යනුවෙන් දැක්වූ බිම් පෙදෙසයි.     සිංහලයේ පැවති පැරණි හෙළ අටුවා අතර ජනප්‍රිය වූ කුරුන්දට්ඨ කතාවට එම නම ලැබුනේ කුරුන්දික විහාරයේදි ලියන ලද නිසා බව සඳහන් වෙයි. බල්ලාඨ නාග රජු විසින් කරවන ලද මෙම විහාරය කුරුන්දවාශෝක, කුරුන්දපාසක යන දෙනමින්ම මහවංශ පිටපත් වල සඳහන් වෙයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි පවසන පරිදි      කුරුන්දවාශෝක කුරුන්දවාපි අශෝක යන්න අක්‍රමවත් ලෙස කෙටවීමකි. කුරුඳු වැව අසල අශෝක විහාරය ඒ නමින් හැඳුන්වූවා විය හැකිය. කෙසේ හෝ මේ සියල්ලේම කුරුන්ද යන කොටස සුරැකී තිබේ. මුලින් කී සෙල් ලිපියේ කුරන්ගම ගැන සඳහන් වෙයි. වර්ථමාන “කුරුන්දම” යන්න මේ නමේම ව්‍යවහාරයකි. ඒ අනුව සිංහල අට්ඨකතා රචනා කරන ලද යුගයේ එනම් මිහිඳු මාහිමියන් වහන්සේ ගේ ආගමනයෙන් පසු යුගයේ සිටම කුරුන්දගම හා එම විහාරය පැවත ඇත. එම නම අද දක්වාම වෙනස් වී නැත. සිංහල අටුවා සාහිත්‍යයට අනුව මෙම විහාරයේ දී ද එක් අටුවාවක් ලියැවී ඇත. එසේ නම් ක්‍රි.පූ. යුගයේදී මෙම ප්‍රදේශය ජනපදයක් ව දියුණුව පැවති බවත් සිංහල බෞද්ධයන් මෙහි විසූ බවත් පැහැදිලිය. මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියගණනක් වැඩ සිටි බවටද සාධක හමුවෙයි. මනෝරථපූරණියේ සඳහන් වන එක් තෙර නමක් කුරුන්දක වාසී යනුවෙන් විශේෂණය කොට ඇත. උන්වහන්සේ ඵුස්ස්මිත්ත තෙර නමින් අටුවා වල දැක්වෙයි.  (නැගෙනහිර පළාත හා උතුරු පළාත සිංහල බෞද්ධ උරුමය -පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි)     

         පදී රට යනු පදවිය ප්‍රදේශයයි.පදින්නරු යනුවෙන්ද ව්‍යවහාරයකි.එයද ශ්‍රී ලංකා කඩයිම් පොතේ සඳහන් වෙයි.කුරුඳු රට සහ පදී රට අතර ඉපැරණි සිංහල ජනාවාස රාශියක් තිබී ඇත. 2 වන පැරකුම්බා රජු (1236 – 1270) විසින් විනාශ කරන ලද කාලිංඝ මාඝ ගේ එක් බලකොටුවක් කුරුඳු වෙහෙර ආසන්නයේ පැවති බව ඉතිහාස විමර්ශනයෙන් දත හැකිය.. මේ කාලයෙන් පසු මාඝ පරපුරේ  ජාවක චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළ අතර ඔහුගේ කඳවුරක්  ද මෙහි පිහිටුවාගත් බවත්, එහි සිංහලයන් ඔහුගේ වසඟයට ගත් බවද දැක්වෙයි. තන්නිමුරුප්පු වැවෙහි සිට කුමලමුණේ මගෙහි සැතපුම 1.5 ක් පමණ ගිය විට මෙම කඳු වැටිය දර්ශණය වෙයි. මෙය සම්පූර්ණයෙන්ම වනයෙන් වැසුණු ප්‍රදේශයකි. නෙල්ලාරු ඔය හරස්කොට තන්නිමුරුප්පු වැව කරවා ඇත. එය කුරුන්දම්මලේ කන්දට දකුණින් පිහිටා ඇත. මේ කන්දට උතුරු පැත්තෙන් කුරුන්දන්වාපි ( කුරුන්දන්කුළම ) පිහිටයි. මේ වැව් දෙකම පුරාතන නිර්මාණ බවට මේ අවට විසිර පැතිර පවත්නා නටඹුන් සාක්ෂි දරයි. මේ කන්දට පියන්කල්ලු යන නමද ව්‍යවහාර කරයි. එය පියන්ගල යන්න දෙමළට හුරු වූවකි. කන්දේ භූමි ප්‍රමාණය අක්කර 100 කට වඩා වැඩි වනු ඇත.

          මෙවැනි දුරාතීතයක් පවතින කුරුඳු ගමු රටේ කුරුන්ද විහාරය පවතින භූමිය කලක් ඝණ වනයෙන් යටව පැවතිණ. මෙම ස්ථානය පුරා විද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේ 2013 වසරේදීය. එයට ප්‍රථම විශේෂ විද්වතුන් ගේ පරීකෂාවට ලක්ව බොහෝ ලේඛන වල මෙම විහාරය  ගැන දක්වා තිබිණ. ටී රවිහරන් මන්ත්‍රී වරයා ඇතුළ දෙමළ ජාතිවාදීන් විසින් පුරා විද්‍යා නිළධාරීන්ට හරස් කපා බාධා කරන ලද්දේ මෙවැනි ස්ථානයක් සංරක්ෂණය කිරීමට යන අතර වාරයේය.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම ගවේශණය සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පළතේ සියළුම පොලිසී ප්‍රාදෙශීය ලේකම් කාර්යාල මේ පිළිබඳව දැනුම්වත් කර තිබුණි. මෙම ඉඩම දැනට අයත්ව පවතින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එම ආයතන වල නිළධාරීන් ද දැනුම්වත් කිරීමට කටයුතු කළද ටී රවිහරන් මන්ත්‍රී වරයා මුලතිවු දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරපත් කරමින් පවසා ඇත්තේ මෙම විහාරය සංරක්ෂණය කරන මුවාවෙන් සිංහල ජනතාව පදිංචි කරන බවයි. මෙම පෙත්සම ගැන සලකා බලා මුලතිවු දිසා අධිකරණය මගින් දැනට තහනමක් ද පනවා තිබේ. සාමන්‍ය යෙන් ගැසට් කරන ලද පුරවිද්‍යා රකෂිතයක යම් කටයුත්තක කරලීමේදී අදාල බලධාරීන් දැනුමවත් කිරීම ප්‍රමාණවත්ය. විශේෂයෙන් ඉඩම් වෙන් කර මායිම් කණු පිහිටුවීමේදී අවට පුද්ගලික ඉඩම් පවතී නම් ඔවුන්ද දැනුම්වත් කිරීඹ සිදු විය යුතුය. එහෙත් ඝණ කැලෑවට යටව පවතින මේ ස්ථානය ගැන දැනුම්වත් විය යුත්තේ අදාල බලධාරීන් පමණකි. එවැනි අවස්ථාවක මුලතිවු අධිකරණය මෙවැනි තහනම් නියෝයක් ගැනීම පුරා විද්‍යා ආඥා පණත ඉක්මවා යෑමක් වුවත් එහිදී යම් නිරවුල් වීමක්ද වන බවට දැක්විය හැතිය. එනම් වාරණ නියෝගයක් ගෙන දින 14 කින් පසු අදාල පාර්ශවකරුවක් විසින් විරෝධතාවන්ට එරෙහිව කරුණ ගොනු කිරීමට හැකියාව පවතින හෙයිනි. එම නිසා තවත් දින දාහතරකින්  පසු දෙමළ ජාතික සංවිධානයේ ටී . රවිහරන් ඇතුල දෙමළ ජාතිවාදීන් ගේ වස්ත්‍ර ගැලවීමට  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි විය යුතුය.

       උතුර සහ නැනෙහිර යනු දුවිඩ නිජ භූමියක් නොවේ. මේ රටේ පාලකයන් සහ මහජනතාව එය දැන ගත යුතුය.මේ පීළිබඳ ශාස්ත්‍රීය ලෙස කරුණු දැක්වීමට අසූව දශකයේ සිටම මහාචාර්ය විමල විජේසූරිය   මහාචාර්යඅභය ආර්යසිංහ. වැනි විද්වතුන් නිබඳිවම උත්සාහ ගෙන තිබුණි. මෑතකදී මහාචාරය රාජ් සෝම දේව ටික්කම මහින්ද කුමාර පියසිරි සමරකෝන් වැනි විද්වතුන්ද මේ ද්‍රවිඩ නිජ භූමි කතාව සුණු විසුණු කළහ. එහෙත් ශාස්ත්‍රීය මත ඛන්ඩනයකින් පමණක් අද වන විට දෙමළ ජාතිවාදය පැරදවිය නොහැකි තත්වයකට පත්ව ඇත. මහින්ද රාජපක්ෂ යුගයේ ඉන්දීය බලධාරීන් හට කොලේ වසා හෝ උතුරු සහ නැගෙනහිර පෙදෙස් වල සිංහල ජනතාවගේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්නට ගත් උත්සායක් පැවතිණ. එම වෑයම පරිපූර්ණ නොවූ නමුදු ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දේශපාලකයන් අතින් සිදු වූ එම වැරදි කිසිසේත්ම පාවා දීම් නොවීය. එහෙත් වත්මන් රජය පැහැදිලිවම උතුර සහ නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් ට ලියා දෙමින් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොලියවුණු රට දෙකඩ කිරීම භූමියේ අත්හදා බැලීම දිගින් දිගටම සිදු කෙරේ. නෙදුන් කේනි අසල මරතෝඩි නම් ගමේ දෙමළ පවුල් පදිංචි කිරීමේදී මෙරට පුරවැසි බව නැති ඉන්දියානු පුර වැසියන් පදිංචි කරලීමට රජයේ ආශිර්වාදය හිමි වීම එක් නිදර්ශනයකි. කෙසේ වෙතත් මේ ජාතිවාදයේ අවසානය සිංහල ජනතාවට පමණක් නොව දෙමළ ජනතාවටද එතරම් සුභදායි අවසානයක් ඇති කරන්නක් නොවනු ඇත. ඉන්දීය මර උගුලේ හිරවුණු ලංකාව නිදහස් කරගන්නට එවිට හැකි වන්නේ නැත.ලංකාව අධිරාජ්‍යවාදීන් ගේ දඩබිමක් වනු නිසැකය.

මතුගම සෙනෙවිරුවන් 

One Response to “කුරුන්දක විහාරයට එල්ල වූ ජාතිවාදී ප්‍රහාරය”

  1. Randeniyage Says:

    “උතුර සහ නැනෙහිර යනු දුවිඩ නිජ භූමියක් නොවේ. ?”
    But our constitution ( after 13th Amendment) says so.
    No executive president or presidential candidate dares to mention this as they want the votes of parasites in the North.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress