මොළය පසාරු කරගෙන ගිය උණ්ඩ ඉවත් කරන්න ශල්‍යකර්මය කරද්දි සිරුරෙන් ඉවත් වී අවමඟුල දුටු වීර සෙන්පතියා
Posted on September 15th, 2018

 උපුටාගැණීම  මව්බිම

දිනය 1993 මැයි 16දා මුහුදු සුළං නමින් ක්‍රියාන්විතයක් සැලසුම් කරන්නේ වාලච්චේන නාගවන්තිව් දූපතේ සිට සිදුවූ එල්ටීටීඊ ක්‍රියාකාරකම් අවසන් කරන්නටය.

වාලච්චේන මෝය කටින් මුහුදු යන්නට පිටත් වන ධීවර බෝට්ටුවලින් කප්පම් ගැනීම් හා බලෙන් තෙල් බා ගැනීමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තා වීම මෙහෙයුමක් ඇරැඹීමට හේතුව විය.

මේජර් ජෙනරාල් අල්ගම මෙම ප්‍රදේශය භාර සේනාංකයට නායකත්වය දුන්නේය. හමුදා බුද්ධි අංශයට සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකළ කපිතාන්වරයකු වූ මංජුල මනතුංග නැඟෙනහිර කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නට කරළියට පැමිණි නිලධාරියකු විය. ධීවරයන් මෙන් මෙම ප්‍රදේශය තුළ බෝට්ටුවලින් ගොස් තොරතුරු රැස් කරගත් හෙතෙම ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත මුහුදු සුළං මෙහෙයුමක් සැලසුම් කරන්නේය. නාවික හමුදා බෝට්ටු මෙම මෙහෙයුමට ලබා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූයෙන් සිවිල් වැසියන් හට අයත් ධීවර බෝට්ටුවලින් ගොස් මෙහෙයුමක් ඇරැඹීමට සැලසුම් කරන්නේය.

ධීවර බෝට්ටු හයකින් ගොස් කොටි ත්‍රස්තවාදීන්ට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන්නේය.

කපිතාන් මංජුල මනතුංග සමඟ ස්වේච්ඡාවෙන් එහි යෑමට ‍ෙදාළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් විය. විශේෂ බළකාය සතු නිලධාරියකු වූ කපිතාන් මාධව මඩවල, කපිතාන් මංජුල මනතුංග සමඟ යෑමට ඉදිරිපත් වූ අනෙක් නිලධාරියා විය.

හදිසි ප්‍රහාරයකින් බේරීමට මුහුදින් නාවික හමුදා සහායක්වත් නොලැබෙන බව දැන දැනත් මෙම කණ්ඩායම ධීවර බෝට්ටු හයකින් ගොස් කොටි ත්‍රස්තවාදීන්ට පහර දෙන්නේ ධීවරයන් මෙන් වෙස් වළාගෙනය.
එම ඉලක්කය වෙත කඩාවැදී කොටි ත්‍රස්තවාදීන් මරා දමා දෙදෙනකු පණපිටින්ම අල්ලාගෙන කායන්කර්නිවල පිහිටි තවත් කොටි කඳවුරක් සොයා යන්නේ අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්තවාදීන් ලබා දුන් තොරතුරු ඔස්සේය.

එම ප්‍රදේශය වෙත ළඟාවත්ම 50ක පමණ කොටි ත්‍රස්තවාදීන් පිරිසක් කඩාවැදීමත් සමඟ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල විය. හමුදා භට කණ්ඩායමත් ඔවුන් පරයා ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පටන් ගන්නේ කුඩා කණ්ඩායමක් වුවත් සටන අත්නොහරිමිනි. බෝට්ටුවල පැමිණි ධීවරයන් වෙඩි ප්‍රහාර එල්ල වෙද්දී බියට පත්ව බෝට්ටු හසුරුවා ගත නොහැකිව කටයුතු කිරීමත් සමඟ සටන් කිරීම අසීරු බව තේරුම් ගත් කපිතාන් මංජුල මනතුංග තම කණ්ඩායම සමඟ උපක්‍රමශීලීව පසුබැසීමකට සූදානම් විය. සතුරාට ප්‍රහාරයක් එල්ල කරමින් පසුබැසීමකට කටයුතු කරමින් බෝට්ටු මෙහෙයවද්දී එක දිගට වෙඩි වරුසාවක් කපිතාන් මංජුල මනතුංග සිටි බෝට්ටුව වෙත එල්ල වන්නට විය.

“එකපාරටම මගේ බෝට්ටුවට ගහන්න ගත්තා. අපිත් ෆයර් කරගෙනම උපායශීලීව මඳක් පසුබැස්සා. අනිත් බෝට්ටුවලට යන්න දීලා අපේ බෝට්ටුව ගන්නවාත් එක්කම ෆයර් එක වැඩි වුණා. ෂොට් දෙක තුනක්ම කණ ළඟින්ම ගියා. මචං ෆයර් එක ළඟින්ම යනවා ඩවුල් පලයන් කියලා මඩවලට කියලා අනිත් පැත්ත හැරුණා විතරයි ඇඟට ෂොට් එකක් වැදුණා කියලා තේරුණා. එකපාරටම ස්විමින් පූල් එකකට පනිද්දී ඔළුව හිරි වැටෙනවා වගේ දැනුණා. ඔළුව හිරි වැටීගෙන යද්දී මාව බෝට්ටුව ඇතුළට ඇදගෙන වැටුණා. වෙපන් එක අරන් නැඟිටින්න හැදුවා. ඒත් නැඟිට ගන්න බැහැ. මගේ වම් පැත්ත පණ නැහැ කියලා තේරුණා. මම මුණින් අතට වැටිලා ඉද්දී ෆයර් එක අස්සෙම මාව උස්සලා බෝට්ටුවට හේත්තු කළා”

මේ වන විටත් කපිතාන් මංජුල මනතුංගගේ හිස පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් පිටව ගොස් තිබුණේය. සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකි වුවත් ඔහුගේ හිස ප්‍රදේශය හිරි වැටී ගොස් තිබුණේය. බුද්ධි අංශයේ නිලධාරියකු නිසා සිවිල් වැසියකු මෙන් කොණ්ඩය හා රැවුල වවාගෙන තිබුණු නිසා හිසට එල්ල වූ වෙඩි උණ්ඩයෙන් වූ තුවාලය එක්වරම පිටතට නොපෙනිණි.

වතුර එකක් දෙන්න ළමයා කියා වතුර ටිකක් බොන්නට හිස ඔසවද්දී හිසෙන් ලේ ගලන බවට එහි සිටි සැමට තේරුම් ගියේය. ළමයෝ මට අමාරුයි උස්සන්න යැයි කපිතාන් මංජුල මනතුංග එහි සිටි තම සෙබළුන්ට කීවේය.

“අපි ෆයර් එකත් එක්කම එතැනින් ඉවත් වුණා. මගේ වම් අත පැත්ත පැරලයිස් වෙලා තිබුණා. මම සෙට් එකෙන් කතාකරලා වැලිකන්දේ ගැමුණු යුනිට් එකට කතාකරලා කිව්වා. ජෙනරාල් වල්ගම කතාකරලා බය වෙන්න එපා මම චොපර් එකක් එවනවා කිව්වා. ඒ වන විට වෙලාව දවල් 11.30ට විතර ඇති. සිහිය එනවා, යනවා. මට ලොකු විශ්වාසයක් තිබුණා මාව මැරෙන්නේ නැහැ කියලා. මගේ වයිෆ් එතකොට ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. මම කිරි අම්මා දානයක් දෙන්න නිවාඩු එන්න ඉද්දී තමයි මේ ඔප් එකට ගියේ”

මේ වන විටත් හෙලිකොප්ටරය සූදානම් කර තිබුණු අතර කල්කුඩා කඳවුර වෙත මෙම කණ්ඩායම වෙත පැමිණෙන ලෙස දන්වා තිබිණි. මේ වන විට බෝට්ටුව තුළ සිටි නිලධාරියා සෙබළුන් පවා කපිතාන් මංජුල මනතුංගට වූ දෙයින් වික්ෂිප්ත වී සිටියහ.

මාව චොපර් එකට උස්සන් යනවා මතකයි. මට සිහිය එනවා යනවා මතකයි. පොළොන්නරුව හොස්පිටල් එකට මාව අරන් ආවත් එතැන හිටපු ඩොක්ටර්ස්ලා මාව ඔපරේෂන් කරන්න බයවුණා. එතැන ෆොරින් ඩොක්ටර්ස්ලා පවා ඉඳලත් මගේ ඔළුවට වැදුණු ෂොට් එක දැකලා බයවුණා. ඊට පස්සේ ජෙනරාල් වල්ගම ආමි කමාන්ඩර්ට කතාකරලා මට අමාරුයි කියලා. ආමි කමාන්ඩර් හිටියේ ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න. කමාන්ඩර් මගේ නම කිව්ව ගමන් දන්නවා.

මට අමාරුයි කිව්වම කමාන්ඩර් ටි්‍රන්කොවල කොන්ෆරන්ස් එකට ආපු චොපර් එක එවලා මාව කොළඹ එව්වා. පොළොන්නරුවේ හොස්පිට්ල් ඉඳන් මාව ඇම්බියුලන්ස් එකෙන් අරන් එද්දී ඇම්බියුලන්ස් සද්දේ එනවා මතකයි. ගස් එහාට මෙහාට වැනෙනවාත් මට මතකයි. මාව කොළඹට ගෙනත් ජෙනරල් හොස්පිට්ල් එකේ ඔපරේෂන් එකට ගනිද්දී පියවි සිහියෙන් හිටියේ. තියටර් එකේ ලයිට් පත්තුවෙනවා මතකයි.

මාව තියටර් එකේ ඩොක්ටර්ස්ලා වටකරගෙන ඉද්දී මම මගේ මරණය දැක්කා. මම උඩ උඳන් මගේ බොඩි එකට කට්ටිය සැලියුට් ගහනවා දැක්කා. සමහරු මල් වඩම් තියෙනවා දැක්කා. පවුලේ අය අඬනවා, මට යුනිෆෝම් අන්දලා තියෙනවා පවා දැක්කා. තියටර් එකේ ඔපරේෂන් එක කරන අතරතුර මගේ අවසන් කටයුතු කෙරෙන හැටි හොඳින්ම දැක්කා. ඒ සිදුවීම් පෙළ පියවි ඇසින්ම දැකපු විදියටමයි මගේ මතකයේ තියෙන්නේ.

ඒ ගැන කිසිම සැක සංකාවක් නෑ. යුනිෆෝම් අන්දවපු මගේ දේහය, වටවෙලා වැලපෙන පවුලේ ඥාතීන්, සමීප මිතුරන් වගේම හමුදාවේ ජේ‍යෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් මගේ දේහයට සැලියුට් කරමින් ගෞරවාචාර දක්වන හැටි. මගේ අවමඟුල් උළෙල සිදු කෙරෙන හැටි මේ ඔක්කොම සජීවීව දැකපු හැටි තමයි මගේ මතකයේ තියෙන්නේ.

ඒක හරිම පුදුම දෙයක්. තමන්ගේ අවමඟුල පියවි ඇසින් දැකලා අදටත් ජීවත්වෙන එකම කෙනා මමද දන්නේ නෑ කියලා වෙලාවකට මට හිතෙනවා.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මගේ හිස්කබලේ කොටසක් ඉවත් කර බරපතළ සැත්කමක් කරන මොහොතේ මම මගේ සිරුරෙන් ඉවත්ව ගිහින් මගේ අවමඟුල දකිනවා. මේක හරිම පුදුම සිදුවීමක්.
පැය ගණනක සැත්කම ඉවර වෙලා වෛද්‍යවරු කියලා තිබුණේ මාව ජීවත් කරවන එක ගැන 50%ක විශ්වාසයක් විතරයි තියන්න පුළුවන් කියලයි.

මගේ කනේ වම් පැත්තෙන් ගිහිල්ලා දකුණු පැත්තෙන් උණ්ඩයක් පිටවෙලා තිබ්බා. මාළුකාරයෝ වගේ වෙස්වළාගෙන ගිය නිසා අපි හෙල්මට් දාගෙන ගියේ නැහැ.

හෙල්මට් එක දාගෙන ගියා නම් උණ්ඩය ඔළුව ඇතුළේ හිර වෙලා මාව වෙඩි වැදුණු තැනම මැරෙන්න තිබුණා. මට උණ්ඩය වැදුණේ බුලට් එක ස්ලෝ වෙන තැනදී. ඇත්තටම මිරකල් එකක් වගේ මාව බේරෙන්නේ. මගේ මොළයත් කුඩා මොළයත් අතර ගැප් එක වැඩි නිසායි උණ්ඩය මොළේ වදින්නේ නැතිව පිටවෙලා තිබුණේ. ලෝකයේ මිලියනයකට එක් අයකුට විතරක් තමයි මොළයත් කුඩා මොළයත් අතර මේ වගේ පරතරයක් තියෙන්නේ කියලා ඩොක්ටර්ස්ලා සොයාගත්තා. ඒ චාන්ස් එක නිසා ප්‍රාතිහාර්යයකින් වගේ මගේ ජීවිතය බේරුණේ.

මේ විධියට මාස ගණනක් තිස්සේ මට ප්‍රතිකාර කළ වෛද්‍ය මණ්ඩලවල කැපවීම නිසා ඉතා අසීරුවෙන් ජීවිතය රැකගත්තු මම ආපසු ප්‍රකෘති තත්ත්වයට පත්වුණු හැටි හරියටම හීනයක් වගේ. මේජර් ජෙනරාල් මංජුල මනතුංග කියයි.

සියයට සියයක ජීවිත අවදානමක හිඳ යළි ජීවිතය දිනූ ඔහු රට දැය සමය රුදුරු ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීම උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට රණකාමියෙකි. ඒ අභීත රණකාමියාට ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් උපරිම ගෞරවය පුදන්නට වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකයන් කළ මෙහෙවරද ඉතිහාසගත වන්නකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress