නාමල් කුමාරගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
Posted on September 16th, 2018

ඉන්දිකා රාමනායක උපුටාගැණීම ලංකාදීප

මාකදුරේ මදුෂ්  නැමැත්තා  යොදවා  ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන  මහතාට හෝ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතාට අනතුරක්  සිදුකළ හැකි බවට ත‍්‍රස්තවාදී විමර්ශන  ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා මහතා  කළේ යැයි කියන  ප‍්‍රකාශය සම්බන්ධයෙන්  පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පැය 7 ට ආසන්න  කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව  පොලිස් ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සමන්විත පොලිස් කණ්ඩායමක්   පෙරේදා (14) වැනි දා  රාත්‍රීයේ 11.00 ට පමණ  මහතාගේ   වරකාපොළ නිවසට පැමිණ  මෙම ප‍්‍රකාශයට සටහන් කරගෙන තිබු අතර එම ප‍්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ (15) පෙරවරු 6.15 පමණ තෙක් සිදුකර කර තිබුණි.‍

පොලිස් විශේෂ  විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක්  මුලින්ම ඒ මහතාගෙන් නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර  නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා  එම අවස්ථාවේ  නාමල් කුමාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින්  ජනාධිපතිවරයා මෙම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවත් තම පොලිස් කණ්ඩායමක්  ඔහුගේ නිවසට බල පැමිණෙන බවට දැනුම් දී ඇත.

එම දැනුම් දීම මත  විශේෂ  විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයෙන්   පිටත්ව ගොස් ඇති අතර රාති‍්‍රයේ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම එහි පැමිණ  ප‍්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ  හඬපට ඇති  නාමල් කුමාර  මහතාගේ ජංගම දුරකතනය හෙට (17) දින පෙරවරු 9.30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට  දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් කළ  විමසුමකදී නාමල් කුමාර මහතා කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress